ඔලිම්පික් ශූරි ටොරි දිවි ගමන හැර යාවි

258

ඔලිම්පික් රන් පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූරියක මෙන්ම දුර පැනීමේ ශූරියක වන ටොරී බොවී ෆ්ලොරීඩා හි පිහිටි සිය නිවසේ මියගොස් සිටිය දී සොයා ගෙන ඇත.

ටොරි බොවී ගේ නියෝජිත කිම්බල් හොලන්ඩ් ඒ බව මාධ්‍යයට පවසා තිබුණි.

ටොරි ෆ්ලොරිඩාවේ ඔලර්න්ඩො පිහිටි සිය නිවස තුළ මියගොස් සිටින ආකාරය මුල්වරට හෙළිදරව් කර තිබෙන්නේ ප්‍රාදේශීය ශෙරීෆ් දෙපාර්තමේන්තුව විසිනි.

ටික දිනයක් තිස්සේ ඇය පෙනීමට නොසිටීමත්, ඇයගේ කටහඬ නොඇසීමත් පිළිබඳ අසල්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඇය පිළිබඳව සොයා බලද්දී ඇයගේ නරක් වූ දේහය නිවසේ තිබී හමු වී තිබිණි.

මෙය සිය දිවි හානිකර ගැනීමක් විය හැකි බවට සැක කරන නමුත් මේ වනතුරු මරණයට හේතුව පිළිබඳ නිල ප්‍රකාශයක් විමර්ශන අංශ සිදුකර නැත.

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශ්මිත ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඇය මියයන විට 32 හැවිරිදි වියේ පසුවූවාය.

ටොරි බෝවී 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඇමෙරිකාව වෙනුවෙන් පදක්කම් තුනක් දිනා ගත් ක්‍රීඩිකාවකි. මීටර් 4×100 සහය දිවීමේ රන් පදක්කමත්, මීටර් 100 රිදී පදක්කමත්, මීටර් 200 ලෝකඩ පදක්කමත් ඇය සතු විය. වර්ෂ 2017 ලන්ඩනයේ පැවති ලෝක ශූරතාවලියේදී ඇය මීටර් 100 සහ 4×100 යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගත්තාය. ඇය මීටර් 100 රන් පදක්කම දිනා ගත්තේ අයිවරි කොස්ට්හි මේරි ජොසී තීරණාත්මක අවසානයේ දී පරාජය කරමිනි.

මිසිසිපි හි සැන්ඩිල්හි උපන් බෝවී කුඩා අවධියේ දක්ෂ පැසිපන්දු ක්‍රීඩිකාවකි. බොවී සහභාගි වූ ඇයගේ අවසන් නිල තරගය 2022 ජුනිවලදී පැවැත්විණි. ඇය අවසන් වරට ලෝක වේදිකාවේ පෙනී සිටියේ 2019 දී දෝහා හි පැවති ලෝක ශූරතාවලියේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment