මෙවර සිංහල අවුරුද්ද ගැන අප සතුටු විය යුත්තේ ඇයි?

876

මෙවර සිංහල අවුරුද්ද වැලේ වැල් නැති නන්නත්තාර අටුවක් බවට පත්වන බව විපක්ෂයේ වැඩිදෙනාගේ මතය විය. වගකිව යුතු විපක්ෂයක් එබන්දක් කියන විට මේ රටේ මිනිස්සු බියපත් වෙති. ඔවුන් හිතන්නේ අපේ දේශපාලනඥයන් රටේ ආර්ථිකය පිළිබඳ පුදුම දැනුමක් ඇති මාර කට්ටියක් බවය. එහෙත් මහජනතාවද නොසිතූ පරිදි සිංහල අවුරුද්ද වඩාත් සරුවිය. අඩුපාඩුවකට තිබුණේ වෙනදා පත්තුවන රතිඤ්ඤා ප්‍රමාණය බාගෙට බාගයක් පහළ බැසීම පමණි. පසුගිය කාලයේදී රතිඤ්ඤා මිල ඉතා වේගයෙන් ඉහළ ගියේය. මේවා පත්තු කිරීමෙන් ඇතිවන ශබ්ද පූජාව සත පහකට වැඩක් නැති බව අවබෝධ කරදීම සඳහා විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වී තිබිණ. එසේම රතිඤ්ඤා පත්තු කිරීමෙන් පරිසරයේ සිටින සතුන් බලවත්සේ බියපත්වීම නිසා රතිඤ්ඤා වලට එරෙහිව වෙනම ව්‍යාපාරයක්ද ගොඩනැගී තිබිණ. මේ සියලු දේ වලට අමතරව මෙවර අවුරුදු නැකත් වලද ලොකු අවුලක් තිබිණ. රාජ්‍ය නැකැත් කමිටුවේ සිංහල අලුත් අවුරුද්ද මහා රෑ එළඹි අතර විකල්ප නැකැත් කමිටුවක මතයට අනුව සිංහල අලුත් අවුරුද්ද එළඹුණේ උදේ වරුවේය. මේ නැකැත් වලින් සත පහකට වැඩක් නැත. ලංකාවේ තිබෙන සුබ නැකැත් වලට මේ රටේ ජනයා වැඩකරන තරමට මේ රට කිරි පැණි වලින් නොව පෙට්‍රල් සහ ඩීසල් වලින් උතුරන මට්ටමක් හටගත යුතුය. මෙහිදී වැදගත් යමක් කියමු. සිංහල රජ කාලයේදී කන්ද උඩරට රාජධානියේ රජතුමා සිංහල අවුරුදු සමරන ලද්දේ මාර්තු 27, 28, 29 හෝ ඒ ආසන්න දිනයකදීය. ඒ දිනය රජතුමාට සෙට් කර දෙන්නේ නැකැත් බලන්නන් විසිනි. මේ බව රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතේද සඳහන් වේ. මාර්තු මාසයේ තිබූ සිංහල අවුරුද්ද අප්‍රේල් මාසයට මාරු වුණේ කෙසේ දැයි කිසිදු නැකැත් රාළ කෙනෙක් අදටත් පර්යේෂණයට ලක්කර නැත.

මෙවර සිංහල අවුරුද්දේ විශේෂ ලක්ෂණයක් තිබේ. එනම් ගමට හා නගරයට මුදල් පොම්පවී තිබීමය. කොරෝනාව නිසා සිංහල අවුරුදු උළෙල දෙකක් මකබෑ විය. ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුදු උළෙල ආර්ථික අර්බුදය නිසා මකබෑ විය. මේ අවුරුදු තුනේම හටගත් වියවුල්වල පසු කම්පන හේතුවෙන් ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද ද එපමණ ජය වුණේ නැත. ගිය අවුරුද්දේ කැවුමක මිල රුපියල් 70 කි. මේ අවුරුද්දේ බොහෝ වෙළෙන්දෝ කැවුමක් රුපියල් 50 ට අලෙවි කළහ. මෙයින් හැඟෙන්නේ අපට නොදැනුනාට ආර්ථිකය තුළ කුමක් හෝ විපර්යාසයක් සිදුවී ඇති බවය. සිංහල අවුරුද්දට පෙර සිටම ඩොලරය පහත බසින්නට පටන් ගත්තේය. රුපියල් 330 ට තිබූ ඩොලරය මේ වන විට බ්ලැක් මාර්කට් එකේ රුපියල් 280කි. අර්ථ ශාස්ත්‍රඥයන් පුරෝකතනය කර ඇති ආකාරයට ලෝක ආර්ථික තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුනොත් තව මාස පහක් තුළදී ඩොලරය රුපියල් 250 ට බහිනවා ඇත. මෙතැනදී ඩොලරයේ අගය තවදුරටත් අඩුවීම වළක්වාලීම සඳහා බලහත්කාරයෙන් ඩොලරයේ රුපියල් 250 අගය පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ. මෙය මෙසේ සිදුවුවහොත් ලංකා ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් බවට පත්වනවා ඇත. වෙනදා හැම ආණ්ඩුවක්ම උත්සහ කළේ ඩොලරයේ මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා බලය යෙදවීමය. මෙවර බලය යෙදවීමට සිදුවන්නේ ඩොලරයේ මිල පහත යෑම වළක්වාගනු පිණිසය. මෙවර සිංහල අවුරුද්දේදී මේ රටේ රාජ්‍ය සේවකයන් අතට අමතර මුදලක් ද ලැබී තිබිණ. ඒ පසුගිය දිනවල වැඩිකරන ලද වැටුප ඇරියස් එකත් සමග ඔවුන් වෙත ලැබීමය. රාජ්‍ය සේවකයෝ විසිපන් ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් මේ රටේ සිටිති. එක රාජ්‍ය සේවකයෙක් එක පවුලක් සේ සලකන්නේ නම් පෙරකී ඇරියස් එක කෝටියකට වැඩි ජනගහනයක් මගින් භුක්ති විඳින ලදී. මෙතන ඇති ප්‍රශ්නය නම් එවැනි වරප්‍රසාදයක් පෞද්ගලික අංශයට නොතිබීමය. මේ රටේ පෞද්ගලික අංශයේ භාණ්ඩ නිෂ්පාදනය සහ සේවා කටයුතු අදටත් සිදුවන්නේ ඉතා අමාරුවෙනි. පසුගිය කාලයේදී යේමනයේ හූති ගරිල්ලන් විසින් ක්‍රියාත්මක කෙරුණු ත්‍රස්තවාදී මෙහෙයුම් හේතුවෙන් නාවික ගමනාගමනය අඩාල වීම නිසා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ලංකාව ඇතුළු රටවල් ගණනාවකටම බැරිවිය. එසේම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තිබෙන යුද්ධය නිසා අමුද්‍රව්‍ය නිෂ්පාදනයට බලපෑම් ඇති විය. යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය හේතුවෙන් අමුද්‍රව්‍ය ආනයනයට බාධක ඇතිවිය. මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර අලුත් යුද්ධයක් හටගෙන ඇත. මෙයට තුන් දිනකට පෙර ඉරානයෙන් ගුවන්ගත වූ මිසයිල සහ ඩ්‍රෝන ඊශ්‍රායලයේ ලොකුම ගුවන් තොටුපළකට කඩා වැදී එතැන බිමට සමතලා කළේය. මේ තත්ත්වය වැඩි දියුණු වුවහොත් ලබන අවුරුද්දේ අවුරුදු කනවා වෙනුවට අවුරුද්දට සිදුවන්නේ අප කා දැමීමටය. එබැවින් මෙවර සිංහල අවුරුද්ද මේ තරමින් හෝ භුක්ති විඳීමට ලැබීම ගැන අප සතුටු විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment