ත‍්‍රස්තයන්ට එරෙහි උකුසු ඇස

215

අයි. එස්. අයි. එස්. සාමාජිකයකු ලෙස සැලකෙන ශී‍්‍ර ලාංකිකයකු නවසීලන්තයේදී ලින්මෝල් සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී හයදෙනකුට පිහි ප‍්‍රහාර එල්ල කර ඇත. පිහි ප‍්‍රහාර එල්ල කළ තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව නවසීලන්ත අගමැතිනි ජැසෙන්ඩා ආඞ්න් මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළාය.

 මෙම පිහි ප‍්‍රහාරය එල්ල වීමත් සමග ලින්මෝල් සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වූ නවසීලන්ත පොලිස් නිලධාරීන් විසින් මෙම ත‍්‍රස්තවාදියාට වෙඩි තබා මරා දමා තිබේ. මෙම ප‍්‍රහාරය තම රටේ සාමයට තර්ජනයක් බවත් නවසීලන්ත අගමැතිවරිය ප‍්‍රකාශ කළ අතර ත‍්‍රස්තවාදයට කිසිදු ඉඩක් නොතබන බවද ඇය දැඩිව ප‍්‍රකාශ කළාය.

 අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ කොරෝනා වෛරසය දෙසය. මුළු ලෝකයම විවිධ කි‍්‍රයාමාර්ග ඔස්සේ කොරෝනා වසංගතය පැරදවීමට සටන් කරද්දී මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වීම අතිශය කනගාටුදායකය. ත‍්‍රස්තයාට තැනක් නොතැනක් හෝ මිනිස් ජීවිතයක වටිනාකම දැනෙන්නේම නැත. තම අන්තවාදී අරමුණ ඉටුකර ගැනීම සඳහා ම්ලේච්ඡු කි‍්‍රයාවල නිරත වන ත‍්‍රස්තයන්ට වෙඩි තබා මරා දැමීම හැර වෙනත් විසඳුමක් නැත. ශී‍්‍ර ලංකාවෙන් ඊට දිය හැකි හොඳම උදාහරණය ප‍්‍රභාකරන්ය. සිල්ගත් උවැසි උවැසියන් පමණක් නොව කිරිකැටියන් ඇතුළු අහිංසක පුරවැසියන් මරා දැමූ ප‍්‍රභාකරන් මරා නොදැමුවේ නම් අදටත් අපට ජීවිතය ගත කිරීමට සිදුවනුයේ ප‍්‍රභාකරන් භීතියට යටත්වය.

 ප‍්‍රභාකරන්ගේ ම්ලේච්ඡු යුද්ධය නතර වී අප රටේ සාමය රජවෙද්දී පාස්කුදා එල්ල වූ සහරාන්ලාගේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අප රට යළිත් සසල විය. මෙම ප‍්‍රහාරයේ ඉලක්කය කතෝලික බැතිමතුන් වුවද ඉන් ඇති වූ කම්පනය මුළු සමාජයටම දැනෙන්නට විය. රටේ ජාතික ආරක්‍ෂාව දුර්වල වී තිබූ අවස්ථාවක එල්ලවූ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ට මෙතෙක් දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ කණස්සල්ල පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබිණි. අදත් කාදිනල්තුමන් ප‍්‍රමුඛ කතෝලික ප‍්‍රජාව බලා සිටිනුයේ පාස්කු ප‍්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනෙන තුරුය.

 ශී‍්‍ර ලංකාවේ සිටින වතිකානුයේ අපෝස්තලික තානාපති බ‍්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් හා විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අතර හමුවක් ඉකුත් 31 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. එහිදී ජී. එල්. පීරිස් අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබූයේ පාස්කු ප‍්‍රහාරයේ වගකිව යුත්තන් සියලූ දෙනා නීතිය හමුවට ගෙන ඒමට රජය උපරිමයෙන් කැපවෙන බවයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තකි. පාස්කු ප‍්‍රහාරයත් සමග රට තුළ ඇවිලීමට ගිය ගින්න නිවා දැමීමට හැකි වූයේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඒ අවස්ථාවේදී මැදිහත් වූ නිසාවෙනි. කාදිනල්තුමන්ගේ ශාන්ත ස්වරය කතෝලික ජනතාවගේ සිත් නිවා දැමුවේය.

 කාදිනල්තුමන් ප‍්‍රමුඛ කතෝලික ජනතාව ප‍්‍රහාරයේ වේදනාව සහ කම්පනය විඳ ගනිමින් පාස්කුදා ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු බලා සිටින බව නොරහසකි. ඒ සඳහා උපරිමයෙන් කැපවී අදාළ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එනු ඇතැයි කතෝලික ජනතාව පමණක් නොව ත‍්‍රස්තවාදීන් හෙළාදකින සියලූ පුරවැසියෝ අපේක්‍ෂා කරති.

 අප කලින් සඳහන් කළ නවසීලන්තයේදී සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට ශී‍්‍ර ලාංකේය සම්භවයක් ඇති අයකු සම්බන්ධ වීම ගැන නවසීලන්තය පමණක් නොව අප රටද වඩා විචක්ෂණශීලීව අධ්‍යයනය කළ යුතුව ඇත. විශේෂයෙන් රටකට එරෙහිව සිදුවිය හැකි ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව අප කල්තියා නිගමනය කිරීමට තරම් අපේ බුද්ධි අංශ

 පෙළගැස්විය යුතුය. විශේෂයෙන් අප රටින් එපිට වෙනත් රටවලදී සිදුවන ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පවා සියුම්ව අධ්‍යනය කළ යුත්තේ එනිසාවෙනි. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කනා මැදිරි එළියටත් බයයි කියන න්‍යායෙන් මේ දෙස බැලිය යුතුය. අප රටට යම් විපතක් වීමට පෙර එය වළක්වා ගැනීමේ උකුසු ඇස නොඅඩුව අප තබාගත යුතුය. අප නවසීලන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරය දෙස බැලිය යුත්තේ ඒ ඇසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment