කෝටි 188ක් කැලේ හිරවෙලා

71

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා කැලෑවලින් හා පෞද්ගලික දැව ප්‍රවාහනයෙන් හිඟ ආදායම් වශයෙන් ලැබිය යුතු මුදල ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වැනිදා වන විට රුපියල් එකසිය අසූ අටකෝටි පනස් එක්ලක්ෂ අසූදහස් තුන්සිය හෑත්තෑ දෙක (1,885,180,372) දක්වා ඉහළ ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

2021 වර්ෂයේ දී පැවැති රුපියල් එකසිය හතළිස් නම කෝටි දාසය ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැත්තෑතුනක් (1,491,611,273) වූ හිඟ ආදායම 2022 වර්ෂයේ දී රුපියල් තිස්නමකෝටි තිස්පන්ලක්ෂ හැටනමදහස් අනූනමයක් (393,569,099) දක්වා ඉහළ ගොස් තිබුණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන්නේ කැලෑවලින් හා පෞද්ගලික දැව ප්‍රවාහනයෙන් ලැබෙන ආදායම වේ. මෙකී ආදායම් නිවැරදිව ඇස්තමේන්තු කිරීම, හිඟ ආදායම් ගණනය කිරීම සහ අය කර ගැනීම සඳහා සඵලදායි අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කොට නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ හේතුවෙන් අදාළ පාර්ශ්වයන් විසින් රාජ්‍ය ආදායමට මුදල් බැර කිරීම පැහැර හරිනු ලබන බව නිරීක්ෂණය වන බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ පුරස්කාර ක්‍රමවේදය මත ලැබෙන මෙම ආදායම නිෂ්පාදිත ඒකක මත ගණනය කිරීමෙන් පසුව අය කර ගන්නා බැවින් නිරන්තරයෙන් හිඟ ආදායම් ඇති වන බවය.

ඊළඟ වර්ෂයේ දී ගිවිසුම්ගත වීමේදී සියලුම හිඟ ආදායම් අය කර ගැනීමෙන් පසුව ගිවිසුම්ගත වන බව ද ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කර ඇත.

එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment