රටේ බරවා 30යි පිටින් 37යි

110

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරවා මර්දන ව්‍යාපාරය මඟින් 2023 සිදුකරන ලද රුධිර පටල පරීක්‍ෂාවන් තුළින් දිවයින පුරා හඳුනාගත් බරවා රෝගීන්ගේ සංඛ්‍යාව තිහකි.

දිවයිනට පැමිණ සේවය කරන සංක්‍රමික ශ්‍රමිකයන් අතුරින් බරවා රෝගය හදුනාගත් සංඛ්‍යාව තිස්හතක් වන බැව් වාර්තාවේ.

2023 වර්ෂයේ ජනවාරි පළමු දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා බරවා මර්දන ව්‍යාපාරය මඟින් කරන ලද රුධිර පටල පරීක්‍ෂණවලදී මෙරට දිස්ත්‍රික්ක අටක් අතුරින් බරවා රෝගීන් තිස් දෙනකු හඳුනාගෙන ඇත. මුළු දිවයිනේ පන්ලක්‍ෂ හතළිස් හතරදහස් තුන්සිය තිස් නවයක පිරිසක් රුධිර පටල පරීක්‍ෂාවට ලක්කර ඇතැයි බරවා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 46,809 හා පුත්තලම දිස්ත්‍රික්කයේ 21,957 ක පිරිසක් අතුරින් රෝගීන් 04 දෙනකදු, ගාල්ල දිස්ත්‍රික්කයේ 92, 973 ක් අතුරින් රෝගීන් 12 දෙනකුද මාතර දිස්ත්‍රික්කයේ 94,702 ක පිරිසක් අතුරින් 03 දෙනකුද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 19,130 ක් දෙනා අතුරින් බරවා රෝගීන් 03 දෙනකුද හඳුනාගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ 85,213 ක් දෙනකු අතුරින් රෝගීන් 03 දෙනකුද හදුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ 82,845 ක් දෙනා අතුරින් කිසිදු රෝගියකු පිළිබඳ වාර්තා නොවීම සුවිශේෂී සිද්ධියකි. කළුතර දිස්ත්‍රික්කයේ 1,00,710 ක් දෙනා අතුරින් 05 දෙනකු රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

සංක්‍රමික ශ්‍රමිකයන් 1646 ක් දෙනා අතුරින් බරවා රෝගීන් 37 දෙනෙකු පිළිබඳ වාර්තා වේ. දැනට බරවා රෝගීන් හඳුනාගෙන ඇති මුහුදුබඩ තීරය ආශ්‍රිතව පිහිටි දිස්ත්‍රික්ක 08 කි. ඒවා ජනගහනය බහුල දිස්ත්‍රික්ක ලෙසද හඳුනාගෙන ඇත. මෙවැනි ජනාකීර්ණ ප්‍රදේශවල කානු අවහිරතා නිසා අපද්‍රව්‍ය සහිත ජලය එක්රැස් වීමෙන් මදුරු ගහනය වැඩිවී ඇත. පුත්තලම, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක වල ජලාශයන්හි ජලජ පැළෑටි මුල්වල ඔක්සිජන් ලබමින් “මැනිසෝනියා” නම් මදුරුවා බහුලව වර්ධනය වේ. සෙසු ප්‍රදේශවල කානු පද්ධති ආශ්‍රිතව “කියුලෙක්ස්” මදුරුවා වර්ධනය වන බවද බරවා මර්දන ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment