නිර්වින්දනය නොවී ඇත්ත හෙළි කරන්න

677

ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කීපදෙනකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම රෝගීන් මියගොස් ඇත්තේ ඔවුන් ශල්‍යකර්මයට භාජනය කිරීමේදී නිර්වින්දනය සඳහා දෙනු ලබන ඖෂධය විෂවීම නිසා බවට සැකකරන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

අක්‍ෂි ශල්‍යකර්මයක් අතරතුරදී කොළඹ අක්‍ෂි රෝහලේදී කාන්තාවක මියයෑම සහ පේරාදෙණිය ළමා රෝහලේදී දරුවකු මියයෑම නිර්වින්දන ඖෂධයක ප්‍රතිපලයක් දැයි සැක සහිත බැවින් ඒ පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙය බරපතළ තත්ත්වයකි. එනිසා සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් වහා සොයා බලා රටට ඇත්ත හෙළි කළ යුතුය. විශේෂයෙන් ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ගේ හිතසුව පිණිස මේ පිළිබඳව පමා නොවී කරුණු කාරණා වාර්තා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කරන යෝජනාව අපිදු අනුමත කරන්නෙමු.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ඉහත සිද්ධිය පිළිබඳව ඇත්ත රටට හෙළි නොකොළොත් රෝහල්වල සිදුවන සාමාන්‍ය මරණ පවා බාල ඖෂධ හෝ කල් ඉකුත් වූ ඖෂධ නිසා සිදුවන බවට සැකයක් ඉපදිය හැකි බවයි.

රට තුළට ලියාපදිංචි නොමැති ඖෂධ පැමිණීමත්, ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාර පරීක්‍ෂණවලින් තොරව ඖෂධ නිකුත් කිරීමත්, ගෙන්වන ලද සමහර ඖෂධ බාල බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගෙන තිබීමත් නිසා මෙම තත්ත්වය වඩා ගැටලු සහගත වන බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලබන්නේ මේ ගැන ජනාධිපතිවරයාගේ පවා අවධානය යොමුවිය යුතු බවයි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින තවත් අර්බුදයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර තිබිණි. එහිදී ඔහු පෙන්වා දුන්නේ කුලියාපිටිය හා ගල්ගමුව ඇතුළු රෝහල් කීපයක රුධිර කාන්දුකරණය (ඩයලසීස්) පිළිබඳව ප්‍රශ්න ඇති බවයි. මෙම තත්ත්වය නිසා වකුගඩු රෝගීන් අසරණව සිටින බව ඔහු කියා සිටී. මෙම තත්ත්වය උග්‍රවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයේ ඇති ගැටලුවක් නිසා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රුධිරය මාරු කරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණ ද යම් ගැටලුවක් නිසා එය අතරමග නතරවී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ නිසා වකුගඩු රෝගීන් අන්ත අසරණව සිටින බව ද කියා සිටී.

අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් මුදලක් වෙන් කරන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, තත්ත්වය එසේ තිබියදී ඇතැම් වකුගඩු රෝගීන්ට ලේ මාරු කිරීම සඳහා උපකරණ පිටින් ගෙන්වීමට පැවසීම යුක්ති සහගත නොවන බව ද කියා සිටී.

මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලබන මෙම කාරණය පක්ෂ පාට භේදයකින් තොරව සියලු පාර්ශ්වවල අවධානයට ලක්විය යුතුය.

වකුගඩු රෝගීන් යනු අප රටේ බොහෝ අසරණ වන පිරිසකි. තමාගේ වැරදි සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත නිසා සමහරු වකුගඩු රෝගීන් බවට පත්වන අතර බොහෝ වකුගඩු රෝගීන් බිහිවන්නේ අප සමාජයේ කාලයක් තිස්සේ ගත් වැරැදි තීන්දු නිසාය. විශේෂයෙන් උතුරු මැද පළාතෙන් විශාල වකුගඩු රෝගීන් ප්‍රමාණයක් හමුවනුයේ කෘෂි රසායනික ද්‍රව්‍යවල අහිතකර ප්‍රතිඵලයක් වශයෙනි. කාලයක් තිස්සේ සමාජයේ මේ පිළිබඳව කතාබහ කළ ද එම තත්ත්වයට අදට ද විසඳුම් ලැබී නැත.

කාලයක් තිස්සේම අප රට හැඳින්වූයේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසනි. අද ද අප රටට නිශ්චිත ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීමට නොහැකිව ඇත. ඊට හේතු වී ඇත්තේ දැක්මක් සහිතව දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් යටතේ අප ඉදිරියට නොගිය නිසාවෙනි. අනෙක් අතට වංචාව, දූෂණය ඉහවහා ගිය නිසා අප රට නන්නත්තාර විය. මෙලෙස රටේ බොහෝ නරක දේ සිදුවුවත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සෑම කාලයකදීම යම් පිබිදීමක් ඇති විය. එනිසා අතමිට සරු නැති ජනතාවගේ එකම පිහිට බවට පත්වූයේ නිදහස් සෞඛ්‍ය සේවයයි. එහෙත් මෑතකාලීනව ඖෂධ මාෆියාකරුවන්ගේ ග්‍රහණයට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නතුවූ නිසා අපට නරක ප්‍රතිඵල අත්විඳින්නට සිදුව ඇත. ඉහතින් අප සඳහන් කළ කාරණා දෙකටම මෙම තත්ත්වය බලපා ඇති බව සැක කළ හැකිය. එනිසා රටට ගැළපෙන ලෙස සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟාසිටුවීම නිලධාරීන්ගේ යුතුකමය.

රෝගීන්ගේ ජීවිත උකසට තබා කටයුතු කිරීමට කාට හෝ ඉඩ නොදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment