සියලු දේ අමතක කර බඩගින්නේ හෝ දරුවන්ට උගන්වන්න – මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි

190

* ගුරුවරුන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය කැපවී සිටිනවා – අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන

කන්නන්ගර ශ‍්‍රීමතාණන් අපට පෙන්වූ සියලූම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබාදීම බැවින් මේ මොහොතේ රටේ ගුරුවරුන්ට ඉතා කරුණාවෙන් කියන්නේ අනිත් සියලූ දේ අමතක කරලා බඩගින්නේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න කියලා යැයි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසූවේ ඊයේට (13දා) යෙදී තිබූ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ 137 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පූජෝපහාර දැක්වීම හා කෞතුකාගාරයක් පිහිටුවීම පිළිබඳ උත්සවයේදීය. එම ගමේම ජන්ම ලාභය ලද, ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය ලූල්බද්දරදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියෝ මෙසේද පැවසූහ.

මම ඉතා ම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ‍්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලූම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබා දීම. එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලූ දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් දේ ඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න. මේ කාර්යය ඉතා ඉක්මනින් සම්පූර්ණ කරගන්න අප කාටත් අවස්ථාව ලැබෙනවා ඇති. මෙවර මේ කටයුත්තට මුල් වෙලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා. බොරළුගොඩ සිංහයාගේ දරුවෝ වැඩක් අතගැහුවොත් ඒ වැඬේ ස්ථිර වශයෙන්ම කරනවා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා :

ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීම සම්බන්ධව ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එමෙන්ම විශ්වවිද්‍යාල තත්ත්වයක් මේ ප‍්‍රදේශයට ද ලබාදීමට අනුස්මරණ සංගමය ඉදිරිපත් කළ යෝජනාව අපි අගය කරනවා.

අගමැතිතුමා කැඳවූ සියලූ ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡුාවේ දී ඉදිරිපත් කෙරුණු විසඳුමට තවත් ශක්තියක් එකතු කරමින් ගුරු විදුහල්පති හිඟ වැටුප් පළමු අදියර මෙවර අය වැයෙන් ලබාදීමටත් ඊළඟ වසරේ අය වැයෙන් එම හිඟයන් සම්පූර්ණ කිරීමටත් තීරණය කළා. අපේ යුතුකම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම යි. මේ දුෂ්කර අවස්ථාවේ ගත් වැදගත් තීරණයක් ඒක. අය වැයෙන් මේ පිළිබඳ විස්තර ඉදිරිපත් කෙරෙනවා. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් රැුකීමට ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ රජය ඒ වෙනුවෙන් කැපවී තිබෙනවා. ඔවුන්ගේ අනාගත දියුණුවට අගමැතිතුමා ඉතා වැදගත් ප‍්‍රතිඥාවක් දුන්නා. ඒ නිසා සියලූදෙනා එකතු වෙලා දරුවන් වෙනුවෙන් අපේ වගකීම ඉටු කරමු.

රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභිකයන් වන යදාමිණී ගුණවර්ධන, අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment