මෛත්‍රී සීඅයිඩීයට දුන් ප්‍රකාශය නීතිපතිට

440

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ඊයේ පෙරවරු 9.50ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීම අවසන් වූවේ සවස 4.30ටයි.

හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ඒ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා යොදවා තිබිණි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් පිළිබඳව තමා දන්නා බවත් අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව රහසිගත තොරතුරු හෙළි කළ හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත්දා මහනුවර දළදා මාලිගාවේදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

එම ප්‍රකාශයෙන් පසුව විවිධ පාර්ශ්වයන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවටයි. මහජන ආරක්‍ෂාව භාර ඇමැති ටිරාන් අලස් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නේ ඉන් අනතුරුවය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ මංගල දෙහිදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඒ මහතාට දැනුම් දීමක් කර තිබිණි. එම දැනුම් දීමට අනුව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත හිටපු ජනාධිපතිවරයා පැමිණි අතර ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹිණි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු ආධාරකරුවෝ රැසක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව සිටියහ.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබේ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment