සමථ මණ්ඩල මගින් නඩු විසඳීමෙන් ජනතාවගේ මුදල් සහ කාලය ඉතිරිවෙනවා – අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

39

උතුරු – නැගෙනහිර ඉඩම් සමථ මණ්ඩල ඉතාමත් සාර්ථකයි

අධිකරණයන්හි සිදුවන නඩු විභාගවීමේ ප්‍රමාදය වැළැක්වීම සඳහා භාවිතා කරන සමථ මණ්ඩල මගින් නඩු කටයුතු විශාල ප්‍රමාණයක් විසඳීමට හැකිවී ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල (සංශෝධන) පනත පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. ශ්‍රී ලංකාවේ අධිකරණවල පවතින නඩු ප්‍රමාදය වැළැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයෑමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් අතර ඉතාමත් සාර්ථක ක්‍රමවේදය බවට සමථ මණ්ඩල පත්ව ඇත.

1988 අංක 72 සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව 2015 පමණ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති නඩු කටයුතුවලින් සියයට හතළිස් පහක් පමණ ප්‍රමාණයක් විසඳීමට හැකිවිය. සමථ මණ්ඩල ක්‍රමය තුළ කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙ වනවිට නඩු විසදීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

අධිකරණය පිළිබඳ විශ්වාසය අඩුවීමට එක් හේතුවක් ලෙස අධිකරණයන්හි සිදුවන නඩු ප්‍රමාදවීම දැක්විය හැකියි. රුපියල් ලක්ෂ පහකට අඩු මූල්‍යමය නඩු කටයුතු විසදීමට සමථ මණ්ඩලවලට ලබාදී තිබූ බලය වර්තමානය වන විට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබේ. ඒ හරහා මූල්‍යමය ගැටළු සමථකරණය කිරීමට ඇති හැකියාව ව්‍යාප්තවී තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ඉතා විශාල වශයෙන් ඉඩම් ආරවුල් පවතින බැවින් ඒ සඳහා එම පළාත් දෙක සඳහා වෙනම ඉඩම් සමථ මණ්ඩල ක්‍රමය හඳුන්වා දී තිබූ අතර එය ඉතාමත් සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. එම පළාත් දෙකෙන් පිට තවත් දිස්ත්‍රික්ක 16ක් සඳහා මෙම ඉඩම් සමථ ක්‍රමය හඳුන්වා දීම කළා. එයත් ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ තුළින් අධිකරණවල නඩු විභාගවීමට නියමිතව තිබූ ආරවුල් විශාල ප්‍රමාණයක් සමථයට පත්කර ගැනීමට හැකිවූවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment