ලක්මාල් කඩිනමින් රෝහල් ගත කළානම් ඔහුගේ ජීවිතය බේරගන්න තිබුණා

267

‘අකල් මරණයට පත්වූ ශිෂ්‍යයා නීරෝගි පුද්ගලයෙක්’
සරසවි පාලන නිලධාරින්ගේ මැදිහත්වීම සෑහීමකට පත්වනු බැහැ
පරිපාලනයේ නොසැලකිල්ල නිසායි මරණය සිදුවුණේ – විශ්වවිද්‍යාල සිසුහු කියති
දහස් ගණනක් සිසුන් ඉන්න තැනක ප්‍රවාහන පහසුකම් නෑ
ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමි
කැලණි සරසවියේ සිසුවාගේ මරණය:

කැලණි විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරයේ නේවාසිකව සිටි කලා අංශයේ 4 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියයෑම සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ පරිපාලනය වගකිව යුතු යැයි පවසමින් කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 25 වැනිදා දහවල් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

මෙලෙස මියගොස් තිබුණේ මොනරාගල කරමැටිය, බෝගහපැලැස්ස, බඩල්කුඹුර, ලිපිනයේ පදිංචි එච්.එම්.නිරෝශන ලක්මාල් නැමති ශිෂ්‍යයෙකි.

(ශිෂ්‍ය අංකය ්‍යී/2018/0583) මෙම ශිෂ්‍යයාට පසුගිය ඉරිදා රාත්‍රී 10.00ට පමණ හදිසියේම මීමැස්මොර රෝගය සෑදී ක්ලාන්ත වීම හේතුවෙන් අනෙක් සිසුන් නේවාසිකාගාරයේ පරිපාලන නිලධාරියාව දුරකථන ඇමතුමකින් දැනුවත් කර වාහනයක් හෝ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද එම අවස්ථාවේ දී ඔහු දුරකථනයට පිළිතුරු නොදීම නිසා උත්සාහය අසාර්ථක වී ඇති අතර අවසානයේ සිසුන් රෝගියා ත්‍රීරෝද රථයක නංවාගෙන කිරිබත්ගොඩ රෝහලට රැගෙන යන අතරතුර දී විශ්වවිද්‍යාලයෙන් එවූ වෑන් රථයට අතර මඟ දී රෝගී සිසුවා නංවාගෙන ඇත.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වනවිට ද ශිෂ්‍යයා මියගොස් ඇති බවයි. එමෙන්ම මෙම රෝගියා කඩිනමින් රෝහල් ගත කළේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබූ බවද වෛද්‍යවරයා පෙන්වාදී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය

සංගමයේ සභාපති තිස්සපුර සිරි සුමේධ හිමියන් ගෙන් විමසූ අතර උන්වහන්සේ මෙසේ පැවසීය.

මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අකල් මරණයට ගොදුරු උනා 24 ඉරිදා රෑ.

මේ සිසුවා ගේ හදිසි මරණය අහපු සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හයදෙනෙක් විතර කම්පනයට ලක්වෙලා ක්ලාන්ත වුණා. අපිට ඒ අයවත් රෝහල් ගත කරන්න වුණා ඒ රෑම. එක වෑන් එකකින් කිරිබත්ගොඩ රෝහලට රෝගීන්ව ප්‍රවාහනය කළේ. මේක සාමාන්‍ය වෑන් එකක්. ගිලන් රථයක තියෙන ක්ෂණික ප්‍රතිකාර වෑන් රථයක නැහැනේ. ඇයි මේ තරන් සිසුන් පිරිසක් ඉන්න විශ්වවිද්‍යාලයකට ගිලන් රථයක් ලබානොදෙන්නෙ. මේවා ලංකාවේ උසස් අධ්‍යාපන අංශ භාර පිරිසගේ අවධානයට යොමු විය යුතු නොවේද?

ශිෂ්‍ය කටයුතු භාර කසුන් ප්‍රනාන්දු ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නෙක දි දෙන දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්නෙ නෑ. විශ්වවිද්‍යාල පරිපාලනයෙන් මේ අසනීප වුණු ශිෂ්‍යයා රෝහල් ගත කරන්න ප්‍රවාහන පහසුකම් දුන්නා නම් වටිනා ජීවිතයක් බේරාගන්න තිබුණා.

අද අපි පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරියේ උද්ඝෝෂණයක් කරලා ඊට පස්සෙ පරිපාලනය එක්ක සාකච්ඡා කළා. අඩුපාඩු පෙන්වා දුන්නා. මේ විශ්වවිද්‍යාලය වගේ ළමයි දහස් ගණනක් ඉන්න තැනකට ගිලන් රථයක් අත්‍යවශ්‍ය බව මීට වසර ගාණකට කලින් ඉඳලා අපි පෙන්වා දීලා තියෙනවා ඉල්ලීම් කරලා තියෙනවා. අකල් මරණයට පත් වුණු ශිෂ්‍යයා නීරෝගි පුද්ගලයෙක්. ක්ලාන්ත ගතිය ආපු මොහොතේම රෝහල් ගත කළා නම් අදටත් ඔහු ජීවතුන් අතර. බලධාරීන් ගේ නොසැලකිල්ල නිසයි මේ වගේ අකල්මරණ සිද්ධ වෙන්නේ යැයි තිස්සපුර සුමේධ හිමියෝ පැවසීය.

කෙසේ නමුත් සිසුන් පවසන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සෞඛ්‍ය පහසුකම් නේවාසිකාගාර ගැටලු මහපොළ ශිෂ්‍යාධාර වැනි අත්‍යවශ්‍ය කරුණුවල දී පරිපාලන නිලධාරීන් ගේ මැදිහත්වීම පිළිබඳව කිසිසේත් සතුටු විය නොහැකි බවයි.

මියගිය නිරෝශන ලක්මාල් ශිෂ්‍යයා ගේ මරණ පරීක්ෂණය කැලණිය පොල්හේන හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment