ඉන්දියාව ලෝක බලවතෙක් ලෙසට නැගී එන විට ශ්‍රී ලංකාවට ඉන් අත්වන වාසි

1753

2030 වර්ෂය වන විට ඉන්දියානු ආර්ථිකය ඇමරිකා එක්සත් ජනපදය සහ චීනයට පසුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් වීමට නියමිත බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකරති.

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 6% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති බවත් ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා පුරෝකතනය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තුවලට අනුව, ඉන්දියාව බි්‍රතාන්‍ය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට මේ වන විට පත්ව ඇත. සියවස් ගණනාවක් බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ඉන්දියාව සිය 76 වන නිදහස් දිනය සමරන මොහොතේදී බි්‍රතාන්‍ය ආර්ථිකය අභිබවා යෑමට හැකි වීම සංවර්ධනය සඳහා වූ ඉන්දියාවේ නව ප්‍රවණතා මනා ලෙස ලොවට හෙළි කරන අවස්ථාවක් ලෙසට සැලකිය හැක. වසර 200 කට ආසන්න කාලයක් ඉන්දීය උප මහාද්වීපය තුළ අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කළ බි්‍රතාන්‍යය අභිබවා 2022 මාර්තු අවසානයේ ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වීම සුවිශේෂී කාරණයකි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ජර්මනිය සහ ජපානය අභිබවා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

ඒ අනුව 2030 වර්ෂයේදී ඉන්දියාව ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බව ඛනිජ තෙල් හා ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා මෑතකදී අනාවැකි පළ කර තිබුණි.

2014 සිට මේ දක්වා ඉන්දියාව රටවල් 7 ක් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි වීම එහි ආර්ථිකයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන අතර එම කාලය තුළ අඛණ්ඩව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑමට ඉන්දියාව සමත්වී ඇත.

කොරෝනා ව්‍යසනය සහ යුක්‍රේන අර්බුදය සමයේදී වුවද වාර්ෂික උද්ධමන අනුපාතිකය තනි ඉලක්කමේ සංඛ්‍යාවක පවත්වාගෙන යෑමට ඉන්දියාව සමත් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

යුක්රේන – රුසියානු ගැටුම් හේතුවෙන් ඇති වී පවතින ගෝලීය ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් වන උද්ධමනයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියානු ආර්ථිකයේ හැකියාව අද වන විට වෙන කවරදාටත් වඩා වැඩි බව ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර ද අමනාප නොකරගෙන රුසියාවෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කිරීම ඉන්දියානු ආර්ථිකයට මහත් අස්වැසිල්ලකි. ඉන්දියාවට අවශ්‍ය ඉන්ධන රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කිරීම ආර්ථික අර්බුදයේ බැරෑරුම්කම ඉන්දියානුවන්ගේ මුළුතැන්ගෙට බරපතළ ලෙසට නොදැනෙන කාරණයට හේතුවක් විය හැකිය. එපමණක් ලෝකය හමුවේ ඉන්දියාව අත්කර ගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල සිය අසල්වැසි රාජ්‍යන්ට ද ගලා යෑමේ වැඩපිළිවෙළක් ඉන්දියාව අනුගමනය කරයි.

කොරෝනා එන්නත්කරණයට දැක්වූ දායකත්වය

කොරෝනා වසංගතය අතරතුර ඉන්දියාව ලෝක නායකයකුගේ කාර්ය භාරය ලොවට ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසට සඳහන් කළ හැකිය. එහි එක් පියවරක් ලෙස ‘එන්නත් මිත්‍රත්වය’ යන සංකේතාත්මක නමින් ලොව පුරා රටවල් සියයකට වැඩි ගණනකට ඉන්දියාව විසින් වෛද්‍ය ආධාර සහ එන්නත් ලබා දීමට කටයුතු කරන ලදී.

එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය නම් වූ නව්‍ය සංකල්පයක් හරහා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ අඩු ආදායම්ලාභීන් වෙසෙන රටවලට පහසුවෙන් ලබා ගත හැකි එන්නත් නිපදවීමෙන් ඉන්දියාව සිය ගෝලීය වපසරිය පුළුල් කර ගැනීමට සමත්වී ඇත.

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ඉදිරිපත් වීම

දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගැනීමට ඉදිරිපත් වූ පළමු රට බවට ඉන්දියාව පත් විය.

ශ්‍රී ලංකා රජය පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 51කට අධික විදේශ ණය සඳහා ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත් කළේය. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල් දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 4 කට ආසන්න වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

2022 ජනවාරි මාසයේදී මූල්‍ය අර්බුදය දිග හැරෙන්නට පටන් ගැනීමත් සමග ක්ෂය වූ විදේශ සංචිත ගොඩනඟා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය මුදලක් ප්‍රදානය කරන ලදී. පසුව අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා දුන්නේය. අර්බුදය උත්සන්න වීමත් සමග මෙම ණය පහසුකම පසුව ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා පුළුල් කරන ලදී.

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ඒ සඳහා අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. ඊට අදාළව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ඉන්දියානු අමුල් කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යැවීමත් සමග එම කටයුතු සුබවාදී දිශානතියකට යොමු විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ කඩිනම් වීමක් ඉන් අනතුරුව සිදු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිටි චීනයේ අනම්‍ය ස්වාභාවය ලිහිල් කිරීමට ඉන්දියාවේ තීරණය හේතුවක් විය.

පොලිසියට වාහන ලබා දීම

වාහන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කටයුතු දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් වී තිබුණි. ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම නීතිය හා සාමය පවත්වාගෙන යෑමට බාධාවකි. එම බැරෑරුම් තත්ත්වය තේරුම් ගත් ඉන්දීය රජය මාස කිහිපයකට පෙර වාහන 125 ක් ශ්‍රී ලංකා පොලිසියට ලබා දීමට කටයුතු කරන ලදී.

ඉන්දියාවෙන් නව බස් රථ 500 ක්

ඩොලර් හිඟය නිසා ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට නොහැකි වී ඇති අතර ඒ මගින් ඇති විය හැකි මගී පොදු ප්‍රවාහනයට වන බලපෑම අවම කිරීමට ඉන්දියාව මැදිහත් වී ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදුන් බස් රථ අදියරයෙන් අදියරයට ඩිපෝ වෙත භාරදීම මේ වන විට සිදු වෙමින් පවතී.

පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති සඳහා ඉන්දියාවේ ආයෝජන

බලශක්ති සුරක්ෂිතතාවය අද ශ්‍රී ලංකාවට බරපතළම අභියෝගයක් වී ඇති බවත් එයට විසඳුම් සෙවීමේදී පුළුල් පරාසයක් ආවරණය කරන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු විය යුතු බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා විසින් ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී පවසා සිටියේය. තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකි දැවැන්ත පුනර්ජනනීය බලශක්ති විභවයක් මේ රට සතුව ඇති බවත් එහිදී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙසට ත්‍රිකුණාමලය දියුණු කළ හැකි බවට ජයශංකර් මහතා පැවසීය.

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවසර ලබා දී ඇත. මෙම ව්‍යාපෘති සඳහා අදානි සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 442 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

G20 සංවිධානය හරහා සිදු කරන කාර්ය

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවට මේ වන විට ගෝලීය ඉදිරි දැක්ම සහ එහි ප්‍රධාන උපාය මාර්ග ක්‍රියාත්මක කරන අවස්ථාව හිමි කර ගෙන ඇත. ඒ G20 සංවිධානයේ සභාපති ධුරය 2023 වර්ෂය සඳහා ඉන්දියාවට හිමි වීමත් සමගය.

2023 වර්ෂයේ දී G20 සංවිධානයේ සභාපති ධුරය ඉන්දියාවට හිමි වීමත් සමග ඒ හරහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ පිහිටි රටවල්වලට ප්‍රතිලාභ හිමිකර ගැනීමට නියමිතය. ඉන්දියාවට G20 වැනි ප්‍රබල සංවිධානයක සභාපතිත්වය හිමි වීම දකුණු ආසියානු කලාපයට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එහි ආර්ථික අර්බුදයෙන් මිදීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇති බවට සැකයක් නැත.

දැනටමත් ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% ක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනුයේ G20 සංවිධානයට අයත් රටවල් මගිනි. එවැනි ආර්ථිකයකට හිමිකම් කියන සංවිධානයක නායකත්වය හෙබවීමට ඉන්දියාවට හැකි වීම සුවිශේෂී ජයග්‍රහණයකි. නැගී එන ආර්ථිකයන් අතර නායකත්වයේ භූමිකාවක් ඉටු කිරීම සඳහා ඉන්දියාවේ සභාපති ධුරය හුදු නාමික කාර්යභාරයකින් එහා ගිය සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට විස්වාස කෙරේ.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික සංකල්පය මත ඉන්දියාව සැමවිටම කටයුතු කරන බැවින් ඉන්දියාව ලෝකය හමුවේ අත්කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යන්ට ද ගලා යෑමට ඉඩ සැලසෙන බව අතීත සංසිද්ධි මගින් මනා ලෙස ඔප්පු වේ. ඒ අනුව ලෝක බලවතෙකු ලෙසට ඉන්දියාව විසින් අත්කර ගන්නා ජයග්‍රහණ වල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය සඳහා ද හේතු පාදක වනු නොඅනුමානය.

● ජයන්ත සමරනායක

advertistmentadvertistment
advertistmentadvertistment