සවුදි ගිය හිරුෂිකා මාස තුනකට පෙර මිය ගිහින්

1235

ග්‍රාම සේවක නිවසට දන්වයි

සැමියා ඊයේ සවස් වන තුරුත් විදේශසේවා නියුත්ති කාර්යාංශයේ

සවුදි රියාත් නගරයේ සේවයට ගිය කාන්තාවක මාස තුනකට පෙර මිය ගොස් ඇති බව පසුගිය 17 වැනිදා ග්‍රාමසේවක නිලධාරියා දන්වා ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ හොරණ, මදුරාවල, අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව හිරුෂිකා සඳමාලි 32 හැවිරිදි සිව් දරු මවකි. විදේශ රැකියාවක් සඳහා සවුදි රාජ්‍යයට ගොස් සිටියදී මීට මාස තුනකට පෙර ඇය මිය ගොස් ඇති බවට පසුගිය 17 දා ග්‍රාමසේවක මහතා විසින් මෙම කාන්තාවගේ ඥාතීන්ට දන්වා ඇත. පවුලේ ඇති අගහිඟකම් නිසා ඇය මරදානේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් නීත්‍යනුකුලව ලියාපදිංචි වී 2021.2.6 දින විදේශ රැකියාවක් සඳහා සවුදි රාජ්‍යය වෙත පිටත්වී ගොස් ඇත. අවුරුද්දයි මාස හතක් පමණ රියාත් නගරයේ පිහිටි නිවසක සාත්තු සේවිකාවක වශයෙන් සේවය කර ඇති ඇය පසුගිය ජනවාරි මස 18 වැනිදා සිට නිවසට මේ දක්වා කතා කර නැත. අනෙකුත් මාසවලත් මේ ආකාරයෙන් වරින් වර කතා කර ඇති නිසා නිවැසියන් මේ ගැන සැක සිතා නැත.

ග්‍රාමසේවක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුරකථන අංකය ඔවුන්ට ලබාදී ඒ පිළිබඳව විමසන මෙන් පවසා ඔහු පිටව ගොස් ඇත. පසුදින මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් දුරකථන අංකයට කතා කොට විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තොරතුරු විමසන මෙන් ඔවුන් පවසා ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කිරීමේදී දැන ගැනීමට හැකි වී ඇත්තේ සිය බිරිඳ දැනට මාස 3කට පෙර මියගොස් ඇති පුවත ඔවුන්ට ද මීට දින දෙකකට පෙර දී ලැබුණු බවයි.

පසුව මරදානේ පිහිටි ඇය විදේශගත වූ විදේශ රැකියා ආයතනයට කතා කිරීමේදී ඔවුන් ද පවසා ඇත්තේ කිසිවක් නොදන්නා බව සහ මේ සිදුවීම මාධ්‍යයට හෙළි නොකරන ලෙසයි.

අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් ඊයේ (19 දා) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිය පසු පවසා ඇත්තේ මෙය ඔවුන්ටද සැකකටයුතු සිද්ධියක් බවයි. විදේශ ගමන් බලපත්‍රයද වෙනස් කර ඇති බව සහ දේහය ලංකාවට ගෙන ඒම පිළිබඳව ගැටලුවක් ඇති බව සඳහන් කර ඇත.

ඊයේ සවස්වන තුරුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වෙත කිසිදු වාර්තාවක් ලබා නැත.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment