සිනමාකරුවෙකුට අභියෝගය තමාට තමාමයි – බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා වූ ප්‍රසන්න විතානගේ

229

1996 දී මුල්වරට ඇරඹුණු “ බූසාන්” අන්තර්ජාතික සිනමා උළෙලේ එවර විශේෂ ජූරි සම්මානය “අනන්ත රාත්‍රිය” චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දිනාගත් ප්‍රථම අවස්ථාව වූ අතර ඊට වසර 28කට පසුව නැවතත් දකුණු කොරියාවේ දී එම සම්මාන උළෙලේ ම ආසියානු සිනමාවේ මුල් පෙළේ සිනමාකරුවෙකු ලෙස, දෙරටක් නියෝජනය කරමින් තරග වැද “2023 බූසාන් අන්තර් ජාතික ජීසොක් සම්මානය දිනාගන්නට ප්‍රසන්න විතානගේ මෙවර ද වාසනාවන්ත විය. ඒ ඔහු විසින් බහුවිධ භාෂාවන්ගෙන් අධ්‍යක්ෂණය කරන ලද “පැරඩයිස්”චිත්‍රපටය වෙනුවෙනි. මේ දිනාගත් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව දැනගන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මෙවර “දිවයින සිනමා කලා වෙනුවෙන් සුහද කතාබහකට සම්බන්ධ කර ගත්තේ මෙලෙසිනි.

2023 බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ, හොඳම චිත්‍රපටය ලෙස ඔබ අධ්‍යක්ෂණය කළ “පැරඩයිස්” චිත්‍රපටය තේරී පත්වුණා. ඒ ගැන කෙටියෙන් විග්‍රහයක් කළොත්?

2023 බුසාන් චිත්‍රපට උළෙල මෙවර පැවැත්වුණේ 28 වැනි වතාවටයි. එහි තරගකාරී නොවන සහ තරගකාරී යන අංශ ගණනාවක් තියෙනවා. 2022 ඉඳලා එම උළෙල විසින් උළෙලේ සම්ප්‍රාප්තකවරයෙක් වන කිම් ජීසොක් වෙනුවෙන්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ආසියාවේ විවෘත කළා තරගකාරී අංශයක්. එම උළෙලේ එය ඩොලර් දස දහසක් ඒ කියන්නේ, ලංකාවේ මුදලින් ලක්ෂ තිස් තුනක සම්මානයක්. එම නියෝජනයෙන් තෝරාගත් චිත්‍රපට 2 කට සම්මාන පිරිනැමුණා. ඉන් එකක් තමයි “පැරඩයිස්”චිත්‍රපටයට හිමිවුණේ. ජපානය,කොරියාව,පිලිපීනය, තායිලන්තය,ඉන්දුනීසියාව,බංග්ලාදේශය වැනි තවත් රටවල් ගණනාවක්ම මෙවර මේ කිම් ජීසොක් අංශය නියෝජනය කළා. එහිදී “පැරඩයිස්” චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කළා. මොකද මේ චිත්‍රපටය සිංහල චිත්‍රපටයක් නෙවෙයි. එය මලයාලම්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන බහුවිධ භාෂාවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඉතින් අන්න ඒ සම්මානය තමයි අපිට හිමිවුණේ.

සිනමාකරුවෙකුට අභියෝගය තමාට තමාමයි - බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා වූ ප්‍රසන්න විතානගේ

“පැරඩයිස්” චිත්‍රපටයට ජයගන්නට පුළුවන්වීම පිළිබඳව මොනවගේ, සතුටක් ද, ආඩම්බරයක් ද තියෙන්නේ?

ඔව්, 1996 මගේ දෙවැනි චිත්‍රපටය එහි එවකට තිබුණ නව ප්‍රවණතා කියන අංශයේ තමයි තිරගත වුණේ. මොකද බූසාන් චිත්‍රපට උළෙල මුල් යුගයේ දී 2022 වගේ වෙනකන් තරගකාරී අංශයෙන් තිබුණේ. පළමු වෙනි චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටය නිර්මාතෘවරුන් වෙනුවෙන් එතැන දී “අනන්ත රාත්‍රිය” චිත්‍රපටය සමඟ පළමු වෙනි “බූසාන්” චිත්‍රපට උළෙලට මම සහභාගි වුණා 1996 දී. අවුරුදු 28 කට පස්සේ තමයි මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකරුවන් ගේ අංශය යටතේ, හොඳම චිත්‍රපටයට මට සම්මානය හිමි වුණේ. ඒක සුවිශේෂී දෙයක්. අවුරුදු විසි අටක් තිස්සේ මම නැවත නැවත බූසාන් චිත්‍රපට උළෙලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම “බූසාන්” චිත්‍රපට උළෙල කියන්නේ, ආසියාවේ ප්‍රමුඛතම චිත්‍රපට උලෙළයි. ඒ වගේම “බූසාන්” චිත්‍රපට උළෙල, උළෙලක් ම පමණක් නෙවෙයි, එහි සිනමා අධ්‍යක්ෂණ academy එකක් තියෙනවා. ඒ වගේම Asian Project Market කියලා තමන්ගේ සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදකවරුන් සොයා ගැනීමට, අනුග්‍රහ ලබාගැනීමට වේදිකාවක් ආසියානු සිනමාකරුවන්ට සකස් කරල දීල තියෙනවා. එවැනි තැනක විශේෂයෙන්ම මේ වගේ කාලෙක,ලෝක සිනමාව නැඟිටින්න හදන මොහොතක කිසියම් වූ දායකත්වයක් දක්වන්නට ලැබීම මට ඉතා සතුටක්.

චිත්‍රපටය සාර්ථක කරගන්නට සහාය වූ පිරිසත් සිහිපත් කරමු?

“පැරඩයිස්” සාර්ථක කරගන්න මූල්‍ය දායකත්වය දැක්වූයේ, කේරළයේ නිව්ටන් චිත්‍රපට සමාගමයි. ඒ වගේම මේ චිත්‍රපටය ලෝකයට ඉදිරිපත් කරන්නේ, සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම් මහත්මාගේ මැඩ්‍රාස් ටෝකීස් කියන චිත්‍රපට සමාගමයි. චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා,කේරළ සිනමාවේ ජනප්‍රියම නළු නිළි යුවළක් නිළියක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන්. ශ්‍රී ලංකාවෙන් මහේන්ද්‍ර පෙරේරා සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු තවත් නළු නිළියන් රැසක්ම සහභාගි වුණා. වනරාජිව් රවී කැමරාකරණයෙන් ද,ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද,දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ටි්‍රලන් ශාස්ත්‍රී විධායක නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදුන්නා. ඉතින් මේ සියලුදෙනා ඒ අයගේ උපරිමයෙන් චිත්‍රපටයට සහාය දැක්වූවා වගේම මෙහි සම්පූර්ණ රූගත කිරීම ශ්‍රී ලංකාවේ සිදුකෙරුණා. පසු නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ දී සිදුවුණා.

සිනමාකරුවෙකුට අභියෝගය තමාට තමාමයි - බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා වූ ප්‍රසන්න විතානගේ

“බූසාන්” චිත්‍රපට උළෙලේ දී තවත් රටවල් ගණනාවක් සමගින් තරග වදින කොට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙක් විදිහට එම අවස්ථාවේ මොනවගේ අභියෝගයක්ද තිබුණේ?

හැම වෙලාවෙම සිනමාකරුවකුට තියෙන අභියෝගය තමාට තමාමයි. වෙනත් අය දිහා බලන්න නරකයි. තමාගේ අතේ කතා වස්තුවක් තියෙනවා නම් තමන් ඒ චරිත මෙහෙයවනවා නම් ඒ චරිත ගොඩ නඟමින්, ඒ චරිතවල මනෝභාවයන්වලට ඇතුළු වෙලා,ඒවා අභ්‍යන්තරයටම ගිහිල්ලා කොහොමද මතු කරන්නේ කියන එක තමයි අභියෝගය වන්නේ. චිත්‍රපට උළෙලට ගිහිල්ලා අනෙකුත් නිර්මාණ එක්ක තියන තරගය කොහොමද කියලා මම බැලුවේ නෑ. නමුත් ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යක්ෂවරුන් සමූහයක් විවිධ උළෙලවල්වල දී සම්මානයට ලක් වූ,ඒ රටවල ප්‍රමුඛ පෙළේ චිත්‍රපටත් මේ උළෙලේ තිබුණා.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment