මවගේ මාරයා වීඩියෝ ගේමක් ද?

714

යාපනය, තෙලිප්පලේ ප්‍රදේශයේ නිවසකදී අබිරහස් අන්දමින් මියගොස් සිටි 38 හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මෙම මවගේ මරණයත් සමග අතුරුදන්ව සිටි ඇයගේ 16 හැවිරිදි පුත්‍රයා දින තුනකට පසු පොලිසියට පැමිණ භාර වූ බවත්, පසුව ඔහු අධිකරණ නියෝග මත මානසික වෛද්‍යවරයකු හමුවට යොමු කළ බවත් පොලිසිය කියයි. මෙලෙස මියගොස් තිබුණේ ජෙනී බෙස්ටන් තැනයිනා නමැති මවකි.

මැය, ඇගේ පුත්‍රයා හෝ වෙනත් පුද්ගලයකු විසින් ඝාතනය කළේ ද? එසේත් නොමැති නම් ස්වාභාවික හේතූන් මත සිදුවූ මරණයක් ද? යන්න යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු නොවූ බැවින්, සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා තීරණය කළේය.

මෙම මියගිය දෙදරු මව පදිංචි නිවසේ ඇගේ මව, 18 හැවිරිදි දියණිය හා 16 හැවිරිදි පුතා පදිංචිව සිට ඇත. ඇයගේ සැමියා මැලේසියාවේ රැකියාවක් කරමින් සිටී.

දැනට සිදුකළ විමර්ශන අනුව 16 හැවිරිදි ඇගේ පුතා පාසල් යන අයකු බවත්, ඔහු ජංගම දුරකථනයට, සමාජමාධ්‍යට හා වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වී සිටි අයකු බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි. මෙම තත්ත්වය නිසා මව ජංගම දුරකථනය දරුවාගෙන් ගෙන සිය මවට ලබා දී තිබේ. ඒ නිසා පුතා කෝපයට පත්ව ආවේගශීලීව හැසිරී තිබේ. මේ හේතුවෙන් දරුවා සිය මව ඝාතනය කරන්නට ඇතැයි සැකයක් මතුව ඇතැයි ද පොලිසිය පවසයි.

4 වැනිදා අලුයම් කාලයේදී මෙම මව අබිරහස් අන්දමින් මියගොස් සිටි අතර පසුව මෙම දරුවා පාපැදියෙන් නිවසින් පලා ගොස් තිබිණි.

මේ පිළිබඳව තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයපාල මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසන්න(91846), සකන්දන්(88986), අභිලාෂ්(10087) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment