දුලබ කවිකමක පිරුණු හැගුමක් ‘තාත්තාවත් බුදු වුණා වේ’

154

කවිය සහ අවිය එකිනෙකට වෙනස් නොගැළපෙන ක්‍ෂේත්‍ර දෙකකි. එහෙත් කවිය ද අවියකි. එය මහරු අවියක් වන්නේ සාහිත්‍ය කලාවේදී හසුරුවන්නාගේ දක්ෂතාවය අනුවය.

මිනිස් චිත්ත සන්තානය අවදි කරවන, හැඟීම් දැනීම් පුබුදු කරවන සාහිත්‍යයේ බරැති අවියක් වන ‘කවිය’ එලෙසින්ම ජාතික සටනක් පුබුදු කරවන්නට අතීතයේ යොදා ගත්තෝ ටිබැට් ජාතික එස්. මහින්ද හිමියෝය. එබැවින් සිංහල භාෂා සාහිත්‍යය සුපෝෂණය කළ එක් උල්පතක් වන්නාවූ ‘සිංහල කවිය’ අපටම අනන්‍ය වූ උරුමයකි.

සීගිරි කුරුටු ගී ලියැවුණු, කවි සිළුමිණෙන් ඥානා ලෝකය ලැබූ, සංදේශ කාව්‍ය ලියැවුණු අතීත රජ දවස ද, අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබූ යුගවලදී ද ක්‍රම ක්‍රමයෙන් පෝෂණය ලැබූ ‘සිංහල කවිය’ කොළඹ යුගයේ පළමු හා දෙවන පරම්පරාවල කවි කිවිඳියන් අතින් ඉදිරිගාමී සාහිත්‍යාංගයක් බවට පත්වූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

ඉන් අනතුරුව එළැඹි යුගවලදී පේරාදෙණිය විශ්වවිiාලය (පේරාදෙණිය ගුරු කුලය) මුල්කරගෙන අඩිතාලම වැටුණු නූතන යුගයේ කාව්‍ය භාවිතයේ සමාරම්භයට එළිසමයෙන්, විරිතෙන්, තානමෙන්, සාම්ප්‍රදායික චන්දස් සිවු පදයෙන් බැහැරවූ ‘නිදහස් කවිය’ හේතු විය. එය ගද්‍යයටත් පද්‍යයටත් ගීතයටත් අතර බිහිවූ නැවුම් ඉසව්වක් බව එවකට විචාරක මතය විය.

එතෙක් අප ජන සමාජයේ පැවැති කවි කලාවේ සාම්ප්‍රදායික ආකෘතිවලින් බැහැරව ගිය ජී. බී. සේනානායක, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය සිරි ගුණසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර, මහාචාර්ය විමල් දිසානායක, කේ. ඩී. පැන්ටලියන්, ආචාර්ය සරත් අමුණුගම, කේ. ජයතිලක වැනි සාහිත්‍යවේදීහු බොහෝ දෙනකු අතින් කවියට නිස`දැස් ආරේ නිදහස් ශෛලියක් උරම විය. එයට ශාස්ත්‍රීය තලයේදී ඔවුන් ලැබූ බටහිර සාහිත්‍ය ආභාසය ද හේතු විය.

ජන කවියෙන් ද ශාස්ත්‍රීය හැදෑරීම්වලින් ද පෝෂණය ලැබ එම නව කව් ආරේ උපරිම ඵලය නෙළා දුන් සිංහල සාහිත්‍ය වංශයේ නව මඟක් තැනූ කවියාණන් වූයේ මහගමසේකර නම්වූ ප්‍රබුද්ධයාණන් බව සටහන් කළ යුතුමය.

බොහෝ විට හේනේ පැලේ, කරත්තයේ, කුඹුරේ හෝ හන්දියේ පොළේ පැරණි තාලේ කවි කොළ කියවූ පොදු ජනතාවට බුද්ධි ගෝචර නොවුව ද මෙම නව කවි සම්ප්‍රදාය මිනිස් ජීවිතය පිළිබඳව පරිසරය හා ලෝකය පිළිබඳව, මානව ගුණ ධර්ම පිළිබඳව, ආගමික මතවාද පිළිබඳව ශාස්ත්‍රීය මට්ටමෙන් නව බුද්ධිමය දෘෂ්ටිවාදයක් දල්වාලීමට හේතු විය.

එදා මේ නව කවි සම්ප්‍රදාය ඇරඹීම හේතුවෙන් පැරණි කොළඹ කවීන්ගේ මධුර මනෝහර නිර්මාණ ධාරාවෙන් මෝහනය වී සිටි රසික සමූහයා ඉමහත් කම්පනයට ද කම්පාවට ද පත්වූ බව 1940-50 දශකවල පළමු වාර්තාවලින් අපට හමුවේ.

එතැන් පටන් නව යුගයකට පිවිසි අපේ කවිය මොනිකා රුවන් පතිරණ, රත්න ශ්‍රී විජේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු වැනි කවි කිවිඳියන්ගේ සිට මහින්ද ප්‍රසාද් මස්දුඹුල දක්වා ද, තවත් තරුණ කවි කිවිඳියන් සිය ගණනක් අතින් ද පෝෂණය ලබා ඉදිරිගාමී නිර්මාණ අප හට දායා ද වීම බෙහෙවින් අගය කළ යුතු කාර්යයකි. එය එසේ වන්නේ ආර්ථික පීඩනයෙන් හෙම්බත්වූ සාහිත්‍යයෙන් කලාවෙන් මුළුමනින්ම බැහැරවූ කෘත්‍රිම බුද්ධියෙන් සියල්ල සර්ව සම්පූර්ණ වෙතැයි සිතා සිටින තරුණ පරපුරක් බිහි වෙමින් තිබෙන අභියෝගාත්මක සමාජ තත්ත්වයක් හමුවේ වීමත් සිහිපත් කළ යුතුය.

මෙලෙස අපේ නූතන කවියේ ගමන් මඟ සටහනක් ලෙස තබන්නට සිතුණේ ලාංකේය කවි කෙත පෝෂණය කරන්නට තම කාලය ශ්‍රමය වැය කරන නව පරපුරේ අංකුර කවියකුගේ නිර්මාණ වෑයමක් අප අතට පත්වූ මොහොතේය.

‘මතක බණ’ කාව්‍ය සංග්‍රහයෙන් පළමුව ක්‍ෂේත්‍රයට පිවිසි අශාන් රවිශාද් නම් වූ මේ තරුණ කවියා දෙවැනුව අප හමුවට පැමිණියේ ‘අම්මෙ පොඩ්ඩක් බහිනවද?’ කාව්‍ය සංග්‍රහය රචනා කරමිනි. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘තාත්තාවත් බුදු වුණාවේ’ නමින් පසුගියදා එළිදක්වනු ලැබුවේ හෙයියන්තුඩුව ශාන්-ශාද් ප්‍රකාශනයක් වශයෙනි. එහි පෙරවදන සපයන රන්දික රාජපක්‍ෂ මෙසේ පවසයි.

“අශාන් රවිශාද් කවියාව මේ මොහොත වන විට අංකුර කවියෙක් ලෙස හැඳින්වීමට මා සිත ඉඩ නොදෙයි. ඔහුගේ කාව්‍ය ස්වභාවයේ පරිණාම පරාසය තුළින්ම ඔහු කවියේ පරිණත බවට ආසන්න වෙමින් සිටින අතර කාව්‍ය ස්වභාවයන් තුළ සංතෘප්ත වීමට වෙර දරමින් සිටින බව මෙහිලා ඇති කවිවලින් ඔබට ද පසක් වනු ඇත. ඇතැම් විට එය මෙකී සාධක දෙකිහිම සම්මිශ්‍රණයක් වීමට ඉඩ ඇත. “එබැවින් මම ඔහුව මධ්‍යස්ථ පරිණත කවියෙක් ලෙස මෙතැන් පටන් හඳුන්වමි. මෙකී කවියාගේ කාව්‍ය වූ කුලී සමාජයේ පීඩිත පන්තිය තුළ පවතින මානව ගුණයන් සතුවන මෙතුවක් අප්‍රකාශිතව පැවැති භාවමය ස්වභාවයක් නිසඟ භාව ප්‍රකාශනයයි.”

“භාව ස්වභාවයන්ගේ ස්වකීය සත්‍ය ස්වරූපයන් ගැන වැඩි විමසිල්ලක් දක්වන ඔහු සම්මත කාව්‍ය රීති හා භාෂාණ රීති එහා මෙහා කරමින් කාව්‍යයේ ජීව ගුණය රැක ගැනීමට උත්සාහ කිරීම අගය කළ යුතුය. වත්මනෙහි නූතන කවිය අතීත කාව්‍ය රචනාවල ස්වකීය අනන්‍ය ස්වරූපවලින් බැහැරව රචනා වුවද, මෙම කවියාගේ කාව්‍ය තුළ ඇතැම් තැන්හි පැරණි කාව්‍ය රසය ද නොඅඩුව ඇත.”

තනිකමට කැමැති නම් පොතකට බැඳෙන්න
හැකිවේවි හැමදාම සෙනෙහස විඳින්න
නුඹ තවත් ආසනම් ප්‍රේමයේ බැඳෙන්න
අකුරු ටික කවි කරන කවියෙකු බඳින්න

ඒ අශාන් රවිශාද්ගේ ‘තාත්තාවත් බුදු වුණාවේ’ කාව්‍ය සංග්‍රහයේ සඳහන් තවත් අපූරු කවියකි. අශාන් වැනි තරුණයින් බොහෝ දෙනකු අද කවි පද ගොන්නට තෝරාගෙන ඇති මාධ්‍ය වී ඇත්තේ මුහුණුපොත (ෆේස් බුක්) යි. කවි කිවිඳියන් වැඩි පිරිසක් ඒ වටා ගොනු වෙමින් සිටිය ද එහි ලියැවෙන කවිවල ගුණාත්මක බවෙහි යම් අඩුවක් පෙනෙන බව විචාරකයින්ගේ මතයකි. මේ පිළිබඳව මෑතකදී අදහස් දක්වා තිබූ පූජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසීය.

“එක පැත්තකින් මේක හොඳ ප්‍රවණතාවක්. අනෙක් පැත්තෙන් කවියේ වස්තු විෂය යම් තරමකට හෑල්ලුවීමක් වෙමින් තිබෙනවා. අපි කියනවා කවියක රුව ගුණ දෙකම තිබිය යුතුයි කියලා. දැන් දැන් කවියේ ගුණාත්මක පිරිහීමකුත් දකින්න පුළුවන්. ඒත් පොදුවේ ගත් විට කවියේ ව්‍යාප්තියට නූතන සමාජ මාධ්‍යයේ ඇති අවකාශය ඉතා වැදගත්.”

නුඹේ මතකය ඉකි ගගහාවිත් සොහොන පාමුල මැකුණා
මටත් යන්නට තිබුණා කියලා හැම වෙලාවෙම හිතුණා
මතක් වෙන හැම වාරයක් තුළ මගේ ඇස් අග තෙමුණා
යන්න ඕනෑ නමුත් අම්මේ නොයා ඉන්නට තිබුණා

(තාත්තාවත් බුදු වුණාවේ – 64 පිටුව)

සමාජ මාධ්‍ය අවකාශයේදී කවියේ ගුණාත්මක බව පිරිහීමේ අභියෝගයට සාර්ථක පිළිතුරක් දුන් කවියකු ලෙස අශාන් රවිශාද්ව හැඳින්විය හැක්කේ විවිධත්වයෙන් පිරි කාව්‍ය නිර්මාණ රැසක් තම නවතම නිර්මාණ කාර්යය ඔස්සේ පාඨක ප්‍රජාව හමුවට රැගෙන එන්නට ඔහු සමත්ව ඇති බැවිනි.

“මතක ඔක්කොම ආයෙ ආයෙත් මාත් එක්කම බැර වුණාවේ
පෙට්ටියේ උඩ ඇණවලින්වත් ආත්මය මගෙ හිර වුණාවේ
වැටෙන්නට පෙර තාත්තා උඹෙ රජෙක් වාගෙයි සිහි වුණාවේ
අම්මා මැරුණා කමක් නෑ බන් තාත්තාවත් බුදු වුණාවේ”

24 පිටුව

විශිෂ්ට ඇමරිකානු කවියකු වූ රොබට් ෆ්‍රොස්ට් විසින් කාව්‍යයෙහි සනාතන අගය විෂද කරමින් ලියූ පරම ප්‍රශස්ත විචාර ලිපියක් පරිවර්තනය කළ ප්‍රවීණ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතා එහි හරය මෙසේ දක්වයි. “කාව්‍යයක්සිය වරක් කියවන්න. එහි නැවුම් බව සදා රැක ගන්නේ ලෝහයක් එහි සුවඳ රැක ගන්නාක් මෙනි. චමත්කාරය දනවමින් වරක් ඉන් ප්‍රකාශයට පත් වුණු අරුත කිසිදා එයින් අතුරුදන්ව නොයනු ඇත.”

තවද එතුමන් විසින් ‘ආග්නේය පුරාණය’ නමැති ඉපැරණි ග්‍රන්ථයෙන් පරිවර්තනය කළ ශ්ලෝකයක් සටහන් කරමින් මුහුකුරා ගිය කවියන්ට මෙන්ම අශාන් රවිශාද් වැනි අංකුර කවියන්ට ද එකසේ පලදායක වෙතැයි සිතමින් ‘තාත්තාවත් බුදු වුණාවේ’ කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් ලියැවුණු සටහන මෙසේ නිමා කරමු.

“මිනිසත් බව ලොව දුලබය
විදුණැන එහි අති දුලබය
කවිකම මේ ලොව දුලබය
කවි නැණ එහි අති දුලබය”

(නරත්වං දුර්ලභං ලෝකේ – විද්‍යා තත්‍ර සුදුර්ලභා
කවිත්වං දුර්ලභං ලෝකේ – ශක්තිස්තනු සුදුර්ලභා)

  • ආග්නේය පුරාණය

සටහන – සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment