දේශීය ආදායම් කොමසාරිස්ට නිතිපතා තොරතුරු දෙන්න – සියලුම බැංකු මුල්‍ය ආයතන සහ රජයේ ආයතනවලට මුදල් ඇමැති නියම කරයි

120

සියලුම බැංකු, මූල්‍ය ආයතන සහ රජයේ ආයතන විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය තොරතුරු නිතිපතා සැපයිය යුතු බවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා නියම කර ඇත. මේ අනුව 2024.03.21 දිනැතිව මුදල් ඇමැතිවරයා විසින් නිකුත් කළ අංක 2376/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවශ්‍ය තොරතුරු මොනවාද යන්න සඳහන් කර තිබේ. මේ යටතේ තොරතුරු සැපයීම ආරම්භ කරනු ලබන දිනය 2024.07.01 දින බවට ද දැනුම් දී ඇත.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත නිතිපතා ලබා දිය යුතු තොරතුරු මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නියම කර ඇත.

රජයේ ආයතන ඇතුළු තැනැත්තන් විසින් ගැසට් නිවේදනයේ පළමු උපලේඛනය මගින් නියම කර ඇති තොරතුරු එහි දෙවන උපලේඛනයෙහි සඳහන් කොන්දේසිවලට යටත්ව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අන්තර්ජාලගත වේදිකාවක් මගින් හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් මගින් හෝ ලබා දිය යුතු බවට නියම කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අන්තර්ජාල සබඳතාව හෝ තොරතුරු ලබාදෙන ක්‍රමය පසුව දැනුම් දෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එකී ගැසට් නිවේදනයට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල්, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, භාණ්ඩ, වැඩ, හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත් ලබා දීම භාරව සිටින ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන් විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් සහ කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති විසින් අදාළ තොරතුරු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත සැපයිය යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment