ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තයන් සමග සබඳතා පැවැත්වූ ජෙරාඩ් අල්ලන්න TID දැලක්

413

ඔත්තුවට ලක්ෂ 20ක්
ඉන්දියාවේදී ඇල්ලූ සිව්දෙනාගේ නම් පාස්කු කොමිෂන් වාර්තාවේ තිබුණත් සැලකීමක් දක්වා නෑ

කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ගොස් සිටියදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකික සිව්දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

මෙම සැකකරු පිළිබඳව තොරතුරු ලබාදෙන පුද්ගලයකුට රුපියල් විසිලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජෙරාඩ් නමැත්තා, ඉන්දීය පොලිස් අත්අඩංගුවේ පසුවන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සැකකරුවන් සමග දිගින් දිගටම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත. මෙම සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත් සමග පදිංචි ස්ථානය අතහැර පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු තිබේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0718591753 අධ්‍යක්ෂවරයාට හෝ 0718591774 ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයාට ත්‍යාග මුදල පිරිනමන අතර ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර විදේශගතවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට ඉකුත් 23දා පැමිණි 34 හැවිරිදි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබුණි. ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සිව්දෙනාගෙන් එක් අයකු සමග දුරකථනයෙන් සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හෙළිවී තිබේ. ඔහු කම්කරු (නාට්ටාමි) රැකියාවේ නිරත අයකු වන අතර ඔහුට නැවත අද (27දා) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදුකරන බවත් කටුනායකදී අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සහ ඔහුගෙන් ලබාගන්නා තොරතුරුත් විමර්ශන තොරතුරුත් මත තවත් සැකකරුවන් අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරන බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ට පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොමිෂන් සභා වාර්තාවේ, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිව්දෙනාගේ නම් ඇතුළත්ව තිබෙන බවටත්, ඔවුන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ එතරම් අවධානයක් යොමුකර නොතිබූ බවටත් චෝදනා එල්ල වී ඇත. ඉන්දියාවේදී මෙම සිව්දෙනා අත්අඩංගුවට පත්වීමෙන් පසු ජනාධිපති කොමිසමේ නම් ඇතුළත් වී තිබෙන පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානය යොමුකර ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය භාරයේ සිටින සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ලබාගන්නා තොරතුරු මත ඔවුන්ගේ අනුගාමිකයන් තවත් මෙරට සිටී ද යන්න සොයාබැලීම සඳහා තොරතුරක් ලැබෙන තෙක් මෙරට ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බව ද එම ආරක්ෂක ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment