සුපුරුදු වරදාන – වරප්‍රසාද සියල්ල පසෙකලා ජනතාව වෙනුවෙන් පෙළගැස්මක් මේ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

37

අද අප දකින්නේ ආණ්ඩුවේ ප්‍රාතිහාර්යක් නොව නපුරු හීනයක් – මහාචාර්ය ජී. එල්. පීරිස්

සජබ ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභා 6ක් සමග ගිවිසුමකට අත්සන්

සමගි ජන බලවේග රජය තුළ රටේ තාවකාලික බාරකරුවන් ලෙස උපරිම කැපකිරීමෙන් සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසෙකලා ලක්ෂ 220ක් වු සුවහසක් ජනතාවගේ ආර්ථික සමාජයීය දේශපාලන සුබසාධන අයිතිය රැකගැනීමේ ගමනක පෙරමග ගමන්කරුවන් ලෙස ඉදිරිපත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමුවන බවත් කරන්නා වූ සෑම ක්‍රියාදාමයක්ම පොදුජන හිතෛශී පොදුජන කේන්ද්‍රීය පොදුජන සහභාගීත්ව මෙන්ම පොදුජන උන්නතිය තකා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන්නට කටයුතු කරන බවත් සමාජ සමානාත්මතාව හා සාධාරණත්වය යන ප්‍රතිපත්තිවලට මුල්තැන ලබා දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළ මානුෂීය ධනවාදයත් ජනතාවාදී සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසුකරගෙන සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනතාව මත පදනම් වූ සෞභාග්‍යයක් ඇතිකර නැති බැරි ඇති හැකි පරතරය ඉවත් කරන සෞභාග්‍යයක් බිහි කරන බවත් රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳින්නේ පොහොසත් 20%ක් බවත් දුප්පත් 20% භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් නිසා මෙය පිළිගත නොහැකි බවත් සෞභාග්‍යය සැවොම එකතු කර ගත් එකක් විය යුතු බවත් එය සැවොම සමානව බෙදා ගන්නා සෞභාග්‍යයක් විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සැවොම කොටස්කාරයන් වූ වර්ධනයකින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සුපුරුදු වරදාන - වරප්‍රසාද සියල්ල පසෙකලා ජනතාව වෙනුවෙන් පෙළගැස්මක් මේ - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

එමෙන්ම කඩිසර ක්‍රියාශීලී කාර්යශූර රටක් විය යුතු බවත් ජපනා හපනා වූවා සේ අපිත් කාර්යශූර විය යුතු බවත් එම පරමාදර්ශී ආදර්ශවත් මඟ පෙන්වීම ඉහළින්ම සියලුදෙනාට ලබා දිය යුතු බවත් එය නොපිරිහෙලාම ඉටු කරන බවත් රටක නායකත්වය නිසි මඟ පෙන්වීම ලබාදුන් පසු ලක්ෂ 220න් කිසිම අයකුට එම ජාතික වගකීම පැහැර හැරිය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට තුළ දූෂණය වංචාව හොරකම සහමුලින්ම තුරන් කරන බවත්ය.

පළාත් 9 දිස්ත්‍රික් 25ක ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 මෙන්ම ග්‍රාමසේවා වසම් 14,022ක විහිදී ඇති ගම් නගර 53,000ම ජීවත් වන ලක්ෂ 220කගේ ජන ජීවිතවල වගකීම තමා බාර ගන්නා බවත් එම බාරකාරීත්වය පණටත් වඩා ආරක්ෂා කරන බවත් නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදාන වරප්‍රසාදයක් ලබා දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තවද රටේ අවශ්‍යතාවට මුල්තැන ලබා දී අත්මාර්ථකාමීත්වය නොව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමේ උතුම් ජනතා සේවාව උදෙසා පෙළ ගැසෙන බවත් ජාති ආගම් කුල මල ගෝත්‍ර පක්ෂ භේදයකින් තොරව ලක්ෂ 220ටම පරමාදර්ශී ක්‍රියාදාමයක් තුළ රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

අධික බදු බරින්, ජීවන වියදමින් මෙන්ම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6 දෙනකු සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (5 දා) උදේ 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය. එම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යනාදීන් අත්සන් තැබීය.

සුපුරුදු වරදාන - වරප්‍රසාද සියල්ල පසෙකලා ජනතාව වෙනුවෙන් පෙළගැස්මක් මේ - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා :

මේ ආණ්ඩුව අපේ කියන හැඟීමක් රටේ ජනතාවට තියෙන්න ඕනෑ. ඒක තමයි අද නැත්තේ. වර්තමාන නායකත්වය සියයට සියයක්ම ප්‍රතික්ෂේප වූ නායකත්වයක්. දැන් පුරසාරම් දොඩවනවා. ආර්ථික අර්බුදයෙන් මේ රට බේරගත්තා කියලා. මේක නෙවෙයි යථාර්ථය. මේක ප්‍රාතිහාර්යයක් නොවෙයි. මේක නපුරු හීනයක්. දැන් කාලය ඇවිල්ලා අවදිවෙන්න.

මේ රජය සංවේදී නෑ. සේවක අර්ථ සාධක අරමුදල ආක්‍රමණය කිරීම හැර වෙන කිසිම පියවරක් ගෙන නෑ. දැන් අවදි වෙන්න කාලය ඇවිත්.

විපක්‍ෂය කරන්නේ සම්ප්‍රදායිකව ආණ්ඩුව විවේචනය කිරීමයි. සජිත් ප්‍රේමදාස ඉන් බැහැර වී ආණ්ඩුව කළ යුතු මහජන සේවාවන් ඉටුකළා. බලයක් නැතිව සුහුරු පංති කාමර, සක්වල වැඩසටහන, පාසල්වලට බස් රථ ලබාදීම, හුස්ම වැඩසටහන කරනවා. කිසිම බලයක් නැතිව රජය කළ යුතු වැඩ පිළිවෙළ භාරගෙන කිසිම සරණක් නැති ජනතාවට සේවය කළා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා :

රටේ ආර්තිකය කඩාවැටී තිබෙන වෙලාවක මිනිස්සු කල්පනා කරනවා කව්ද රට බේරගන්නේ කියලා. මේ රටේ අතිබහුතරයක් තීන්දු කරලා තිබෙනවා මේ රට බේරගන්න බලවේගය සමගි ජන බලවේගය කියලා. අපිට එකතු වෙන සියලු කණ්ඩායම් එකතුකරගෙන සමගි ජන සංධානය විදියට කටයුතු කරනවා. ඉදිරි මැතිවරණය ජයගැනීමේ ඉලක්කයට යෑමේ දී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පිරිසගේ එකතුවීම විශාල ශක්තියක්.

කමල් බෝගොඩ, සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment