දරුවා නෑවූ බේසමට වැටී පියා මරුට

158

වයස අවුරුදු 03 ක් පමණ වූ දරුවා නාවා නිවස තුළට යවා එම බේසමෙන් දිය නෑ පියෙකු මරණයට පත් වූ සිද්ධියක් බළන්ගොඩ මූලික රෝහලේ (11) පැවති මරණ පරීක්ෂණයක දී අනාවරණය විය.

මෙසේ මිය ගිය ආර්.ජේ.කණකරාජ් (29) නැමැති එක්දරු පියාගේ මරණය පිළිබඳ පැවති පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වූ එස්.සමිලා නැමැති අප මෙසේ සාක්ෂි දුන්නාය.

“මියගොස් සිටින්නේ මගේ සැමියාය. මොහු ගෙය පිටුපස ජල කරාමය ළඟ බේසමක වතුර පුරවා දරුවා නාවා මා වෙත එවා දරුවාට කිරි හදා දෙන්නැයි කීවා. පසුව සැමියා එම බේසමට වතුර පුරවා නාමින් සිටියා. මම ගෙය තුළ සිටින විට සමිලා කියා කතා කලා. නැවතත් විනාඩි පහකින් පමණ යළිත් සමිලා කියා කතා කළා. මම දරුවාට කිරි හදා දී සැමියා සිටි තැනට ඇවිත් බලන විට ඔහුගේ හිස වතුර බේසමේ එබී තිබුණා. මම කතා කළත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නෑ. පසුව ඔහුගේ හිස ඔසවා බලන විට සිහි නැති ගතියකින් සිටියා. මම අසල්වැසි අයගේ උදවු ඇතිව වහාම සැමියා රෝහලට ගෙන ගියා. ඒ වනවිටත් ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.”

පශ්චාත් මරණ පරීක්ෂණය බළංගොඩ මූලික රෝහලේ වෛද්‍ය නීති වෛද්‍ය නිලධාරී කේ.ඒ.ආර්.එම්. රත්නායක මහතා විසින් සිදු කළ අතර සාක්ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ (පො.සැ.60507) මිල්ලගහගොඩ මහතා විසින් සිදු කරන ලදී. සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් බළංගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා විසින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

බළන්ගොඩ එන්.එච්.පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment