පාර්ලිමේන්තු කෑම වේලේ මිලත් ඉහළට

406

රට තුළ ආහාර ද්‍රව්‍යවල දැනට පවතින අධික මිල ගණන් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව සඳහා ආහාර සැපයීම වෙනුවෙන් අය කරන මුදල ද ඉහළ නැංවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සඳහන් කළේය.

මේ අතර වියදම් අවම කිරීම සඳහා මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා ඇතුළු ඊට අදාළ අනෙකුත් රැස්වීම් පිළිබඳ සියලුම වාර්තාවල මෘදු පිටපත් මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කිරීමට ද පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර සැපයීම වෙනුවට අවම පිරිවැයක් දරමින් ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතු කරන මෙන් යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනකුගෙන් යුත් පිරිසක් විසින් මා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබූ අතර සභා ගර්භය තුළදී මෙන්ම ඉන් පිටතදී අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්ධව මා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බවත් මෙම සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන 2022.06.02 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරන ලදි. පාර්ලිමේන්තු භෝජනාගාරවලින් ආහාර සපයා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් නොවන අතර 850 ක් පමණ වූ සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, 350 ක් පමණ වූ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ නිලධාරින්, 150 ක් පමණ වූ ආරක්ෂක නිලධාරීන්, 150 ක් පමණ වූ අනෙකුත් අනුබද්ධිත කාර්ය මණ්ඩලවලට අයත් නිලධාරින් හා 30 ක් පමණ වූ මාධ්‍යවේදීන් ද ඊට ඇතුළත් වේ. එබැවින්, ආහාර සැපයීම සඳහා දරනු ලබන සමස්ත පිරිවැය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ආහාර සැපයීම වෙනුවෙන් දරනු ලබන පිරිවැය ලෙස සැලකීම නිවැරදි හා සාධාරණ නොවන බවටත්, එහිදී කරුණු ඉදිරිපත් වූ බව දන්වනු කැමැත්තෙමි. තවද මෙම කාරණය සම්බන්ධව වැඩිදුරටත් කටයුතු කළ හැකි ගෘහ්‍ය කාරක සභාවේදී ඒ පිළිබඳව සලකා බලා ඉදිරි පියවර ගැනීමට තීරණය වූ බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර භෝජනාගාරවලින් ආහාර සපයා දෙනු ලබන ඉහත සඳහන් කොට ඇති කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා සියලුම වැඩ කරන දිනයන්හිදී පාර්ලිමේන්තු භෝජනාගාරවලින් ආහාර සපයනු ලබන බවත්, එසේ වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ භෝජනාගාරවලින් ආහාර සපයනු ලබන්නේ වාර්ෂික අයවැය පැවැත්වෙන කාලය තුළදී හැර බොහෝවිට එක් මාසයක් තුළ පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. තවද, ඉහත සඳහන් කර ඇති සියලුම කාර්ය මණ්ඩල සඳහා ආහාර සැපයීම වෙනුවෙන් අය කරනු ලබන මුදල ද රට තුළ ආහාර ද්‍රව්‍යවල දැනට පවතින අධික මිල ගණන් සැලකිල්ලට ගෙන ඉහළ නැංවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවත් මෙම සභාවට වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

මේ අතර මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා ඇතුළු ඊට අදාළ අනෙකුත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 ක් වැනි කාලයක් සඳහා පමණක් වන අතර එම දිනවලදී ද මන්ත්‍රීවරුන් 100-125ක ඇස්තමේන්තුගත සංඛ්‍යාවකට පමණක් ආහාර පිළියෙළ කරනු ලබන බවත් මෙහි ලා අවධාරණය කිරීමට කැමැත්තෙමි. වාර්තා මෘදු පිටපත් මාර්ගයෙන් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

රටේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙන්ම, ඇති විය හැකි පාරිසරික ගැටලු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් කථානායකවරයා කීය. තවද මුද්‍රිත කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේදී පවතින දුෂ්කරතාව, එලෙසම දැනට භාවිත කරන ආනයනික සංයුක්ත තැටි වෙළෙඳපොළෙන් සොයාගැනීමට ඇති අපහසුතාව සහ ඒ සඳහා ඉතා අධික මිලක් දැරීමට සිදුවීම, සංයුක්ත තැටි ප්‍රතිචක්‍රීකරණයේදී පරිසරයට මුදා හැරීමේදී ඇතිවන අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ බවද කථානායකවරයා පැවසීය. මේ අනුව මේ සම්බන්ධ කටයුතු කිරීමට නිලධාරියකු පත්කොට අදාළ දිනවලදී සභාගත කරන එකී වාර්තාවල මෘදු පිටපත් මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කිරීමට (ඊමේල්) මෙහිදී තීරණය වී ඇත.

එලෙසම දෛනිකව සභාගත කරන වාර්තා ආදිය ලැප්ටොප් /ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ් හෝ ජංගම දුරකථන මගින් පරිශීලනය කිරීමට හැකිවනු පිණිස මෘදු පිටපත් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂිත වෙබ් ෆෝල්ඩරයකට ඇතුළත් කිරීමට මෙහිදී තීරණය වූ බවද කථානායකවරයා නිවේදනය කළේය. තවද එකී වාර්තාවල දෘඪ පිටපත් කිහිපයක් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන කාරක සභාවල පරිශීලනය කිරීමට හා පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා බවද කථානායකවරයා පැවසීය. ඒ අනුව මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් දැනුවත් කොට එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය. මේ වනවිට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තාක්ෂණික මෙවලම් භාවිත කරන බැවින් සහ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම මගින් තිරසර ඊ-රාජ්‍ය සේවයක් ඇතිකිරීමේ කාලෝචිතභාවය පිළිබඳ සලකා බැලූ කාරක සභාව මෙම තීරණය ගත් බවද කථානායකවරයා නිවේදනය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment