දුර්වල පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස කඩුලු 10කින් පරදී

328

සාර්ථක ආරම්භයක් ලබා ගත්තද මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් ලෝක ශූර ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අපොහොසත් වූ සත්කාරක ශ්‍රී ලංකාව දෙරට අතර ක්‍රියාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඊයේ (07 වැනිදා) කඩුලු 10ක දරුණු පරාජයක් ලැබීය. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සංචාරක කණ්ඩායමට හැකියාව ලැබිණි.

පිතිකරුවන්ට යෝග්‍ය ආර්. ප්‍රේමදාස පිටියේදී ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා ගිය ප්‍රබල ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 14කදී කිසිදු කඩුල්ලක් නොදැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. ඒරන් ෆින්ච් නොදැවී ලකුණු 61ක් සහ ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජය ටැඹ කරා ගෙන යෑමට සමත් වූහ.
කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියානු නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පිති ප්‍රහාරය දියත් කළ සත්කාරක කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් එක් කිරීමට දනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක සමත් විය.

පන්දුවාර 4යි පන්දු 2ක් පුරා දිග හැරුණු එම සම්බන්ධතාවයට තිත තැබූ ජෝස් හසල්වුඩ් දනුෂ්ක ගුණතිලක ලකුණු 26කට පිටියෙන් ඉවත් කළේය. පන්දු 15ක් පුරා දිග හැරණු එම ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ චරිත් අසලංක පැතුම් නිස්සංක සමග සාර්ථක ලකුණු සම්බන්ධතාවක් දියත් කරමින් ලකුණු 61ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළේය.
පැතුම් නිස්සංක ලකුණු 36ක් ලබා සිටියදී ස්ටාර්ක්ගේ යෝකර් පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේය. ඒ අනුව ලකුණු 100දී ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 8ම ලකුණු 28ක් තුළදී දවාලීමට සමත් වූහ.

පන්දු 5ක් තුළ 1 ලකුණක් පමණක් වාර්තා කළ කුසල් මෙන්ඩිස්ගේ දෑවීයෑමෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා මැදපෙළ බිඳ වැටීම හේතුවෙන් පන්දුවාර 19යි එක්පන්දුවක් තුළදී ශ්‍රී ලංකා ඉනිම මුලු ලකුණු 128කට සීමා වී ගියේය. ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ බිංදුවට දැවී යෑම් 3ක් සටහන් වෙද්දී එක් ලකුණකට දැවී යෑම් හතරක් සටහන් විය. ඒ හැරුණුකොට චරිත් අසලංක ලකුණු 38ක් සහ වනිදු හසරංග ලකුණු 17 බැගින් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරි පන්දු යවන්නා බවට පත් වූ ජේස් හසල්වුඩ් ලකුණු 16කට කඩුලු 4ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 26කට කඩුලු 3ක් බිඳ දැමීය.
 

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 128යි (දනුෂ්ක ගුණතිලක 26, පැතුම් නිස්සංක 36, චරිත් අසලංක 38, වනිදු හසරංග 17, ජෝස් හසල්ඩුඩ් 16/4, මිචෙල් ස්ටාර්ක් 26/3)
ඔස්ටේ්‍රලියාව පන්දුවාර 14කදී ලකුණු 134යි (ඩේවිඩ් වෝනර් නොදැවී 70, ඒරන් ෆින්ච් නොදැවී 61)

කසුන් රණවීර – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේ සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment