ඔන්ලයින් කට වහන පනත – භාෂණයේ නිදහසට තර්ජනයක්

261

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විමසිල්ලෙන්

යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි එමගින් ඇතිකරන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විශේෂ උනන්දුවකින් පසුවන අතර ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ එහි අනුබද්ධ මාධ්‍ය සංවිධානවල දැඩි අවධානය යොමුවී තිබේ. එම ආයතනය නිකුත් කර ඇති නිවේදනයක මෙසේද දැක්වේ.

අන්තර්ජාල අතරමැදියන් වන අන්තර්ගත බෙදා ගැනීම් වේදිකා සහ පණිවිඩ යැවීමේ සේවා නියාමනය කිරීම පවතින ව්‍යවස්ථාදායක රාමුව තුළ සැලකිය යුතු රික්තයක් සපුරාලයි. මෙම සේවා සපයන්නන් වෙත අධීක්‍ෂණය සහ වගවීම ලබා දීමෙන් මෙම පරතරය සමනය කරන බව අපගේ විශ්වාසයයි.

මෙම පනත් කෙටුම්පතේ ඇඟවුම් මාධ්‍ය ඇතුළු සියලු සබැඳි වේදිකා භාවිතා කරන්නන්ට බලපෑම් කිරීම ද අතර මැදියන්ගෙන් ඔබ්බට විහිදී ගිය කරුණු කාරණා ඇති බව දක්නට තිබේ. මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළ මාර්ගගත සන්නිවේදනය අවහිර කිරීමට උත්සාහ කරනු ලබන අතර ඒ හා සම්බන්ධ කාරණා සඳහා මූල්‍යකරණ සහ වෙනත් සන්නිවේදනයේ සහය යටපත් කරයි.

වත්මන් පනත් කෙටුම්පතෙහි මාධ්‍ය ප්‍රජාවට හිතකර නොවන ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහසයි. යෝජිත පනත් කෙටුම්පත ‘කරුණු ප්‍රකාශය’ වැනි පුළුල් හා නොපැහැදිලි ආර්ථ දැක්වීමකින් සමන්විත වන අතර එහි නිර්වචනය තීරණ කරන්නේ කවුරුන්ද? යන්න පැහැදිලි නැත. තවද, විධායකය විසින් පත්කරන ලද ඔන්ලයින් ආරක්ෂණ කොමිසමට නිවේදන නිකුත් කිරීමේ බලය සහ ‘අසත්‍ය’ ප්‍රකාශ පැතිරීම නැවැත්වීමේ හැකියාව ඇත. මෙය “අසත්‍ය ප්‍රකාශය’ යන යෙදුම අනිසි ලෙස භාවිතා කිරීම සහ එහි අර්ථ නිරූපණය පිළිබඳ ගැටලුවක් මතු කරවයි. ප්‍රවෘත්ති වාර්තා කිරීම යමෙකුට ‘භයානක හෝ පීඩාකාරී’ ලෙස දැකිය හැකි බැවින්, හිරිහැරයක් ලෙස සැලකිය හැකි, මාධ්‍ය නිදහසට බලපෑම් කළ හැකි කරුණු සන්නිවේදනය කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් අගතියක් සිදුවේ.

සබැඳි අන්තර්ගතය නියාමනය කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම අතර සමතුලිතතාවක් ඇතිකර ගැනීම රට ඉදිරියේ ඇති අභියෝගයකි. එහෙත්, යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් එල්ලවී ඇති බව පැහැදිලිය.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අසත්‍ය තොරතුරු සංසරණයන් සහ වෛරී ප්‍රකාශන නියාමනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පිළිගන්නා අතර, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු වටිනාකම් සහ එහි පරමාර්ථයට හානිදායී නොවන පියවරයන් මගින් මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බව අපි අවධාරණය කරමු. යෝජිත ක්‍ෂණික පනත එහි අන්තර්ගතයේ සහ අරමුණෙහි එවැනි සමතුලිතතාවයක් පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

මාධ්‍ය සංවිධාන සාකච්ඡා කර සකස් කරන ලද ස්වයං නියාමන මූලධර්ම සහ ප්‍රධාන ධාරාවේ සහ අන්තර්ජාල මාධ්‍ය කළමනාකරණය සඳහා සම – නියාමන ආකෘතියක් මත පදනම්ව සම්පාදනය කර ඇති ශ්‍රී ලංකා මාධ්‍ය අධිකාරියේ දළ සටහන මගින් මෙම ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ද ලබා දී ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා අනුබද්ධ මාධ්‍ය සංවිධාන විසින් එම වාර්තා අදාළ අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment