ඉරාන – ශ්‍රී ලංකා මිතුදමින් ‘උමා දිය ජනනි’ ජනතා අයිතියට

164

සෞභාග්‍යයක ප්‍රාර්ථනා පෙරදැරිව ඌව වෙල්ලස්සෙන් රටට උරුම වූ උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඉරාන – ශ්‍රී ලංකා රාජ්‍ය නායක දෙපළගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) දහවල් උත්සවශ්‍රීයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම ජාතික මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ඉරාන ජනරජයට අයත් ගුවන් යානයකින් ඊයේ (24දා) පෙරවරු 10.50ට පමණ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට ළඟාවූ අතර ප්‍රබල රටක රාජ්‍ය නායකයකු මත්තල ගුවන්තොටුපළෙන් මෙරටට ළඟා වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත විය.

ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි ඉරාන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සාම්ප්‍රදායිකව පිළිගත් අතර අනතුරුව හෙළ චාරිත්‍රානුකූලව බුලත් හුරුල්ලක් පිරිනමා කුඩා දරුවකු විසින් ඉරාන ජනාධිපතිවරයා පිළිගත්තේය. එහිදී බුලත් හුරුල්ල දෝතට ගෙන කුඩා දරුවාගේ නළල සිප වැලඳ ගනිමින් ඔහුගේ තොරතුරු විමසූ ඉරාන නායකයා ඉක්බිතිව ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය සහෝදරත්වය පළ කළේය.
අනතුරුව ඉරාන ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පැවති අතර රතු පලස මතින් ගුවන්යානයේ සිට විශේෂ අමුත්තන්ගේ පර්යන්තය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා එහිදී විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් යෙදීය.

ඉකුත් දින කිහිපය තුළ ඇති වූ මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉරානය දෙසට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන අවස්ථාවක ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය කාගේත් අවධානයට යොමු වී තිබිණි.

ඉරාන ජනාධිපතිවරයා සමග එරට ඉහළපෙළේ ඇමැතිවරු කිහිපදෙනකු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට මෙරට මැති ඇමැතිවරු රැසක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

මත්තල ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණු අතර ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශය විසින් ද ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන අයුරු දැකගත හැකි විය.

මත්තල ගුවන්තොටුපළේ සිට උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා දහවල් 12.00ට පමණ කරඳගොල්ල ප්‍රදේශයට ළඟා වූ ඉරාන ජනාධිපතිවරයා එහිදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.

අනතුරුව දෙරටේ ජනාධිපතිවරු එක්ව ව්‍යාපෘතියේ සමරු ඵලකය නිරාවරණය කළේ, එම අවස්ථාවට එක්ව සිටි මහාසංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේය.
සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇරඹි අතර ඒ සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් සමග මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලනඥයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වර්ෂයේදී ආරම්භ වූ උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 24ක් දුරට විහිදී ඇත.
පුහුල්ඔය ජලාශයේ සිට භූගත නළ මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර ඩයබරා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙන යනු ලබයි.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක්කෙරේ. උමාඔය ව්‍යාපෘතිය තුළින් බණ්ඩාරවෙල, බදුල්ල, මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා බදුල්ල හා මොනරාගල ප්‍රදේශවලට කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම සිදුකරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලිනය 514ක් වැය වූ අතර ඉන් ඩොලර් මිලියන 50ක් සපයනු ලැබුවේ ඉරානය විසිනි.
2015 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතව තිබුණත් මහජන විරෝධතා හා වෙනත් දේශපාලනික භේද මත මෙහි ඉදිකිරීම් පමා විය. මේ අතර ඉරාන ජනාධිපතිවරයා වෙත රාජ්‍ය ගෞරවය පිරිනැමීම සඳහා ඊයේ (24දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී විචිත්‍රවත් උත්සවයක් සංවිධාන කර තිබුණි.

එහිදී ඉරාන රාජ්‍ය නායකයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර පැවැත් වූ අතර දෙරටේ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටි, මෙම උත්සවය හෙළ සංස්කෘතික අංග රැසකින් වර්ණවත් වී තිබුණි. දෙරටේ ජාතික ගී වාදනය කරමින් අන්‍යොන්‍ය සුහදත්වය වර්ධනය කිරීමේ හමුවක් වූ මෙම උත්සවය පැවති අවස්ථාවේ ගාලුමුවදොර අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණු අතර විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක විය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment