ජනපතිට වෙඩි තියන්න ෆේස්බුක් එකෙන් ගිනි අවියක් ඉල්ලූ චූන් පාන් රිමාන්ඩ්

176

“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන් වෙළෙන්දා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කළේය.

එප්පාවල පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබූ එම තරුණයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04දා) අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

එම සැකකරු එම වැකිය අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසුදිනම එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කිලිනොච්චිය යුද හමුදා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළෙකු ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 120 ක් රැගෙන පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මෙම සිද්ධීන් දෙක අතර සම්බන්ධතාවයක් තිබේ දැයි අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බව තම අධිකරණයට පෙනී නොයන බවත් තම අධිකරණය ප්‍රමාණවත් සාක්‍ෂි අනාවරණය වීමකින් තොරව එවැනි තීන්දු තීරණ නොදෙන බවත් පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ විමර්ශන සිදුකරන්නේ නම් තම අධිකරණය සෑහීමට පත්වන බව කියා සිටියේය.

ත්‍රිරෝද රථයකින් ප්‍රදේශ පුරා ගොස් පාන් බනිස් අලෙවි කිරීම ජීවන වෘත්තිය ලෙස කරන එම තරුණයා ගොවිතැන් කටයුතු සිදුකරමින් දෑතේ විරියෙන් අනාගතය ගොඩනගා ගන්නට විරිය දරන අයකු මිස ත්‍රස්තවාදියකු හෝ අපරාධකරුවකු නොවන බවත් කොලුකමට හිතට ආ සිතුවිල්ලක් අන්තර්ජාලයට මුදාහළ පමණින් ඔහුගේ අනාගතය අඳුරු නොකළ යුතු බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment