විපක්‍ෂය කියන්නේ බොරු භාණ්ඩ 623 කට ආනයන තහනමක් නෑ…. විදේශ විනිමය අර්බුදයකට රට මුහුණදීලා

88

රටට ආනයනය කරන භාණ්ඩ වර්ග 623 ක් ආනයනය තහනම් කිරීමට රජය විසින් කටයුතු කර ඇති බවක් හැඟවෙන ඉතා වැරැුදි සහගත මතවාදයක් සමාජගත කිරීමට විපක්ෂය මේ දිනවල උත්සාහ දරන බව වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම භාණ්ඩ වර්ග 623 ලංකාවට ආනයනය කිරීම කිසි ලෙසකින් තහනම් කිරීමක් හෝ ඒ කිසිම භාණ්ඩයක් සඳහා අය කරන බදු ප‍්‍රතිශතය වැඩි කිරීමක්ද කර නැති බැවින් එම භාණ්ඩවල මිල ඉහළ යෑමට හෝ එම භාණ්ඩ ආනයනය කිරීමට අපහසු වන තත්ත්වයක් උදා නොවන බව තමා ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමස්ත ලෝකයටම බලපා තිබෙන හදිසි තත්ත්වය තුළ මෙරට ආර්ථිකය පවත්වා ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති ක‍්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් විපක්ෂය ගෙනයන අසත්‍ය ප‍්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයේ වැරැදි විදේශ විනිමය කළමනාකරණ ප‍්‍රතිපත්තියත්, පාස්කු ප‍්‍රහාරයත්, කොවිඞ්-19 වසංගතයත් යන හේතූන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස ඉතාම දැවැන්ත ලෙස විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා, එසේ මුහුණ දී සිටින අවස්ථාවකදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය පාලනය කිරීම, ණයවර ලිපි කාසි ආන්තිකය ඉහළ නැංවීමේ උපක‍්‍රමයක් භාවිතා කර තිබෙන බවත්, මේ පිළිබඳව වැරැුදි අර්ථකතනයක් දැක්වීමට උත්සාහ කරන බවත් පැවැසීය.

සිදුවී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බංකුව විසින් සමස්ත බැංකු ක‍්‍රමය පාලනය කිරීමේදී ණය පාලන උපකරණ භාවිතා කිරීමක් බවත්, මේ භාණ්ඩ වර්ග 623 සඳහා ණයවර ලිපි නිකුත් කරන විට ණයවර ලිපිය නිකුත් කරන මුළු වටිනාකම තැන්පතු වශයෙන් තැබීමෙන් පසු ණයවර ලිපි බැංකුවලින් නිකුත් කෙරෙනු ඇති බවත් පැවසූ ඇමැතිවරයා අවශ්‍යයෙන්ම මෙය ණය පාලන උපකරණයක් බවත්, මෙහිදී සිදුවන්නේ මෙයට පෙර සියයට 25 ක මුදල් තැන්පත් කර භාණ්ඩ වර්ග 623 ආනයන කළා නම් දැන් ඒ වෙනුවට සියයට සීයක් මුදල් තැන්පත් කිරීමෙන් පසු එම භාණ්ඩ ආනයනයට හැකියාව ලැබෙන බවත් පැවැසීය.

මෙමගින් සිදුවන්නේ එම භාණ්ඩ ආනයනය කිරීමට යන ණය ප‍්‍රමාණය එම අංශයට ගලා යෑම අධෛර්යමත් කිරීම බවත්, ඒ තුළින් ගෙවුම් ශේෂය මත වන පීඩනය අඩු කිරීමත්, රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට අදාළ වන ක‍්‍රියාමර්ගයක් ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම දූරදර්ශී ක‍්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment