කන්දක් උස යැයි කියන්නේ නම් තවත් උස කඳු දැක තිබිය යුතුයි. ගඟක් දිගයි පළලයි කියන්නේ නම් එවන් දිගු පුළුල් ගංගා තව රැසක් දැක තිබීම අවශ්‍යයි.

අපේ ජීවිතයෙහි හමුවූ පුද්ගලයන් අතර අමතක නොවන මිනිසුන් ඇත්තේ කීපදෙනකු පමණි. ‘අත්තහිත පරහිත පුද්ගලයෝම ශ්‍රේෂ්ඨ වෙති.’ තමන් වැර වෑයමින් දියුණු පමුණු වෙමින් වටිනාකම් සහිත කෙනකු බවට පත්වී, අන්‍යයන්ගේ රටේ තොටේ ජන සමාජයෙහි අභිවෘද්ධියට පරෝපකාරයෙහි යෙදෙන ගුණ නැණින් මෙත් කුලුණින් සපිරි විනයගරුක සංවේදී මිනිසුන්ම බුහුමන් ලබති.

වසර 33ක් එක්වනම ලංකාදීප පුවත්පතේ කර්තෘත්වය හොබවන සිරි රණසිංහ මහතා එබඳු සුධීමතෙකි. දශක තුනකට අධික කාලයක් අඛණ්ඩව එකම පත්‍රයක නායකත්වය දැරීම විරල සිද්ධියකි. මහා පත්‍රකලාවේදීන් කීපදෙනෙක් අප රටෙහි පහළ වූහ. මෙහි නිදසුන් කොට දක්වනුයේ හිතට එන පරිදි සිංහල බසින් පුවත්පත් කළ කීපදෙනකු පමණි. බටුවන්තුඩාවේ පඬිතුමා, හේමපාල මුනිදාස, පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ, මහානාම දිසානායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩී. බී. ධනපාල, මීමන ප්‍රේමතිලක, එඩ්මන් රණසිංහ, බී. ඒ. සිරිවර්ධන, දයාසේන ගුණසිංහ වැනි කීර්තිමත් චරිත අපට සිහිපත් වෙයි. මෙහිදී එක දිගටම ප්‍රමුඛ පත්‍රයක කතුකම් කිරීමේ භාග්‍යය ලද්දේ සිරි රණසිංහ මහතාය. මෙහිදී ඔහු ඇගයෙන්නේ එම කරුණ නිසාම නොවේ. සිරි රණසිංහයෝ විද්‍යෝදය සම්ප්‍රදායයෙහි සදාශ්‍රය ලැබූ වියතකු වෙති. ‘විජ්ජා උප්පත්තං සෙට්ඨා’ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආදර්ශ රූපය වෙයි. එහි තේරුම වන්නේ ප්‍රඥාවේ ඉහළට නැඟීම ශ්‍රේෂ්ඨය යන්නය. පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමිපාණන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයක් බවට පත් කළේ 1959 දීය. එම විද්‍යාස්ථානයේ උගෙනීමට සිරි රණසිංහයන් පැමිණියේ 1962 දීය. සෝරත නාහිමිපාණෝ 1963 අපවත් වූහ. පලන්නොරුවේ විමලධම්ම, පරවාහැර වජිරඤාණ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය යන නාහිමිවරු ඉන් ඉක්බිතිව විශ්වවිද්‍යාලයට නායකත්වය දුන්හ. ඉන්දියානු සහ ලාංකික ඉතිහාසය, ආර්ථික විද්‍යාව අනිවාර්ය බෞද්ධ සංස්කෘතිය, සිංහල භාෂාව, සාහිත්‍යය හදාරමින් සිරි රණසිංහ මහතා උපාධිධරයකු වූයේ එම කාලවකවානුවේදීය. ඉදානීන්තනය වන විට මෙරටෙහි සුවිශාල සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික පරිවර්තනයක් සිදුවී ඇති බැව් අපි දනිමු. කුඩා කල පටන් ලද ගුරු මාපිය ඇසුර, විදුදයෙහි පරිසරය රට දැය සමය පුරවැසියා කෙරෙහි බලපැවැත්වෙන ගුණ නුවණ පිරිපුන් මිනිසත්කම සිරි රණසිංහ සිරිතෙහි පළට වන නියත දහමකි. ඉන් ඵල ප්‍රයෝජන ලද්දෝ බොහෝ වෙති. ප්‍රාචීන ප්‍රතිචීන ගිහි පැවිදි පඬිවරුන්ගේ ඇසුර ද මුලින් ලැබූ අධ්‍යාපනික දැනුම, අවබෝධය පෝෂණය ඔහු කෙරෙහි මැනවින් බලපා තිබේ. ක්‍රෝධ නොකිරීම ආරෝග්‍යය, ඉඳුරන් දමනය, ජනප්‍රියත්වය නිර්ලෝභීකම, පරිත්‍යාගය ඉවසීම බියෙන් සෝකයෙන් මිදීම ප්‍රඥාවන්තයාගේ ලක්‍ෂණ ය. විදුදයේ ගුරුවරුන් සිසුන්ට මඟපෙන්වූයේ එබඳු පුරවැසියන් වීමටය. විලෝපවාදීන් නොවීමටය.

දකුණු සිරිලක මාතර දෙයියන්දර නෙරලම්පිටිය ගමේදී 1940 දෙසැම්බර් 20 දා ඉපැදුණු සිරි රණසිංහගේ දෙගුරුන් වූයේ එවකට ගම්මුලාදෑනියකු වූ රත්නායක රණසිංහ සහ හින්නිහාමි රණසිංහ දෙපළය. ගමේ පාසලෙන් උගත් ඔහුගේ ජීවන ගමනේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වූයේ හියුබට් කරුණාරත්න විදුහල්පතිවරයායි. ඉක්බිතිව සඳලංකාව, අම්පාර, නුවරඑළිය ගැමි නාගරික පාසල්හි අධ්‍යාපනය කළ හෙතෙම විද්‍යෝදයට පැමිණ උසස් අධ්‍යාපනය ලැබීය. ධර්මපාල වෙත්තසිංහ ඩී. ඇෆ්. කාරියකරවන යන මහත්වරු ඔහුට පුවත්පත් කලාවේ ගුරු වූහ. ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස 1965 දී ඔහු ලේක්හවුසියට එක්වෙයි. රංජිත් විජයවර්ධන මහතා ඔහුට පහන් ටැඹක් විය. ඔහුගේ ආධුනික පරිවාස කාලයේ ලක්‍ෂ්මන් ජයවර්ධන, විමල් වීරසේකර සිරිපාල කඳුමුල්ල, සිරි ගම්හේවා වැනි දසදෙනෙක් හමුවූහ. දිනමිණ, ජනතා, සිළුමිණ පුවත්පත් සම්භාෂණයේදී බන්දුල පී. සරච්චන්ද්‍ර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, එන්. ජී. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, කේ. එස්. පෙරේරා, ඇල්බට් වැලිවිට සමකාලීන සගයෝ වූහ. 1971 දී ඔහු විවාහ වූයේ ලක්‍ෂ්මී චන්ද්‍රිකා සමගය. මනුජා රණසිංහ ඔවුන්ගේ එකම දියණියයි. බෑනා නිලාන් සිල්වාය. එකම මිනිබිරිය අමායා සිල්වා කැනඩාවේ උසස් අධ්‍යාපනය ලබන්නීය.

ලේක්හවුසියෙන් ඉවත් වූ පසු සිරිමල් ෆොන්සේකා ඔහුට දිවයින පුවත්පතට එන්නැයි ඇරියුම් කළේය.

එන්. සුබසිංහ මහතා, සිරි රණසිංහ විජය පුවත්පත් ආයතනයට සම්බන්ධ කර ගත්තේ 1986 අප්‍රේල් 01 දාය. ලක්‍ෂ්මන් ජයවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල, පර්සි ජයමාන්න වැනි හිතවතුන් එහිදී මුණගැසිණ. සිරිකත සහ තරුණයා වාර ප්‍රකාශන සඳහා ගුණවර්ධන මහතා සමග ලිපි පිටු සකසා දිගු ගමනක් ඇරඹූ ඔහු ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් කළ ඉල්ලීමත් සමග 1989 ජනවාරි 01 දා සිට ඉරිදා ලංකාදීපයේ කතුවරයා බවට පත්විය. 1991 සැප්තැම්බර් 10 දා සිට දිනපතා ලංකාදීපයේ කතුකම් කිරීම ඇරඹූ ඔහු පුවත්පතේ පසුබිමේ සිට සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය. මගේ රට, අපේ රට, අපේ බස රැසට වැඩ කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණකි. සිංහල භාෂා සාහිත්‍යයේ, සංස්කෘතියේ දියුණුවට පැවැත්මට ඉමහත් ලැදිකමක් දක්වන රණසිංහ මහතා අන්තවාදී මානව කේන්ද්‍රණවාදියකු නොවේ. මූලධර්මවාදියකු නොවේ. සියවස් දෙකක සමාජ පරිණාමය ඇසුරේ ඔහු ලද අත්දැකීම් පන්නරය මගින් මේ රටේ වෙනස්කම් පරිහානිය, අගාධය මෙන්ම ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් කිරීමේ ස්වප්න වැඩසටහන් ව්‍යාපෘතිවල මනා සන්නිවේදකයකුගේ භූමිකාව ඔහු විසින් ඉටු කැරුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ කලක් සේවය කළ හෙතෙම සාම්ප්‍රදායිකත්වයත් නවීනත්වයත් අතර අරගලය මැනවින් අත්දුටුවේය. සහනුභූතිය කරුණාව මෛත්‍රිය දූෂණයෙන් වංචාවෙන් විලෝපනය වූ ලාංකික ජනසමාජයේ ඔහුගේ ලෝකය ගම රට මිනිසුන් පබස්සර ජීවිතයකට යොමු කිරීමට අත්වැලක් සැපයූවකි. පාර තොට මංමාවත් ද පුස්තකාල ද හදමින් ඔහු නිහඬව විශාල සේවයක් කළ සත්පුරුෂයෙකි. මිහින්තලේ ආයතනික ආලෝක පූජාවට ඔහු සක්‍රීයව දායක වූයේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යෝදය ප්‍රදීප ඇතුළු විවිධ සම්මාන ඇගයීම් දිනා ඇති ඔහු වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයකු වශයෙන් සේවය කරයි.

උපන් ගම වූ මාතර දෙයියන්දර ජාතික පාසලක් බවට පත් කිරීම, ග්‍රාමීය රෝහල දියුණු කිරීමට දායක වීම, පුරාණ විහාරයේ අභිවෘද්ධියට කටයුතු කිරීම, ගමට ඉන්ධන සැපයුම් ලබාගැනීමට පහසුකම් ඇතිකිරීම, පාසල් ගොඩනැඟිලි, පුස්තකාල, මංමාවත් සැකසීම වැනි මහජන ප්‍රජා සත්කාර, සමාජ සේවා ඔහු විසින් කරන ලද්දේ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙමිනි. උසස් රසිකත්වයක් පෘථුල දැනුමක් අවබෝධයක් සහිත පිරිපුන් බුද්ධිමතකු, පුවත්පත් කතුවරයකු වූ හෙතෙම ගුණ නුවණින් සපිරි සංවේදී මිනිසකු බැව් අපි දැන හඳුනා සිටිමු. දෙසැම්බර් 20දා ඔහුගේ උපන් දිනයේදී ඇගැයුම් ලබන සිරි රණසිංහ වියතුන්ට දිගාසිරි පතන්නෙමු.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment