විදෙස් සංචාරකයන් යනු අපේ රටට එන අමුත්තන්ය. ඒ අමුත්තන් අපේ රටට පැමිණීම නිසා රටට විදේශ විනිමය ලැබේ. ඔවුන් පොහොසත් සංචාරකයන් වුවත් දුප්පත් සංචාරකයන් වුවත් ප්‍රශ්නයක් නැත. රටට එන සෑම වර්ගයකම සංචාරකයන් නිසා අඩු වැඩි වශයෙන් රටට විදේශ විනිමය ලැබේ. මේ නිසා වැඩියෙන් වියදම් කරන ධනවත් සංචාරකයන් පමණක් රටට ගෙන්වාගත යුතු බවට ඇතැම් අය තුළ ඇති මතය නිවැරදි එකක් නොවේ. මේ නිසා අප රටට පැමිණෙන සෑම සංචාරකයෙක්ම අප සැලකිය යුතු වන්නේ අපේ රට පිළිබඳ කිසියම් පණිවිඩයක් ලෝකයට ගෙන යන තානාපතිවරයෙක් වශයෙනි. මේ නිසා විදෙස් සංචාරකයා මේ රටට පැමිණ ලොකු හෝටලයක නැවතී සිටියත්, පොඩි හෝටලයක නැවතී සිටියත් එසේම සංචාරක සත්කාරක නිවහනක (හෝම් ස්ටේ එකක) නැවතී සිටියත් ඒ කිසිවෙක් අපට නොතකා හැරිය නොහැකිය. එසේම විදේශ සංචාරකයා තරු හෝටලයකින් ආහාර ගත්තත්, සයිවර් කඩේකින් තෝසේ වඩේ කා ප්ලේන්ටි බීවත් එසේම පාරේ තිබෙන කඩේකින් කොත්තු කෑවත් ප්‍රශ්නයක් නැත. එය ඔවුන්ගේ කැමැත්තය. ඔවුන් පාරේ ඇවිද යමින් පොඩි තැනකින් යම් දෙයක් කන්නේ බොන්නේ රට පිළිබඳ යම් අත්දැකීමක් විඳ ගැනීමට විය හැකිය. එසේම එම අත්දැකීම වීඩියෝවක් කර මුහුණ පොතට සහ යූටියුබ් නාලිකාවකට ඇතුළු සමාජ මාධ්‍යයට මුදාහැරීමට ද විය හැකිය.

ඩොලර් ගේනකොට මෙහෙම කරන එක හරිද?

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් අපේ රටේ දී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ ඕනෑ තරම් වීඩියෝ අප දැක ඇත. අතීතයේ දී නම් එතරම් සමාජ මාධ්‍ය ප්‍රචලිතව නොතිබුණු බැවින් විදේශ සංචාරකයා මෙරට දී මුහුණ දෙන අත්දැකීම ඔහු හෝ ඔහු දන්නා හඳුනන සුළු පිරිසක් වෙත පමණක් සන්නිවේදනය වූවා විය හැකිය. එහෙත් දැන් තත්ත්වය එසේ නොවේ. තාක්ෂණය ඉතාමත් දියුණුය. සමාජ මාධ්‍ය ජාලා ඇතැම් විට ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය පවා අභිබවා යමින් පෙරට පැමිණ ඇත. මේ නිසා අපේ රටට එන කවර වර්ගයක වුවත් ඒ සෑම විදේශ සංචාරකයෙක්ම රටට විදේශ විනිමය උපයා දෙන රට පිළිබඳ යම් පණිවිඩයක් ලෝකයට ගෙනයන සම්පතක් ලෙස අප තේරුම් ගත යුතු වේ. එසේ තේරුම් නොගැනීමේ විපාක වශයෙන් අපේ රට පිළිබඳ ඉතා අහිතකර පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයට ගොස් තිබෙන බව අප කාටත් රහසක් නොවේ. අපේ රට ආගන්තුක සත්කාරය අතින් ලෝකයේ ඉහළින්ම තිබෙන රටක් බවට අපට හොඳ කීර්තියක් තිබේ. එහෙත් මෙවැනි අහිතකර සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් හරහා අප රටට සහ ජනයාට ලැබෙන ප්‍රතිරූපය ඉතා නරක එකක් විය හැකිය. මේ නිසා සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුට මෙන්ම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහුට ද අප කියන්නේ මහ ඉහළින් සංචාරක ප්‍රවර්ධනය විදේශ රටවල පමණක් කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා අප රට තුළ ද කිරීමට කාර්යභාරයක් තිබේ.

විදෙස් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නිසා මෙරටට යම් සංචාරකයන් පිරිසක් ආකර්ෂණය වී මෙරටට පැමිණියත් ඔවුන් මෙරට සංචාරයේ දී අත්විඳින්නේ අහිතකර අත්දැකීමක් නම් හිරිහැරයක් හෝ පීඩාවක් නම් තත්ත්වය කුමක් ද? ඔවුන් නැවත මෙරටට පැමිණෙනු ඇති ද? එසේම ඔවුන් නැවත ඔවුන්ගේ රටට ගොස් අප රට ගැන කියනු ඇත්තේ කුමක් ද? මේ නිසා යම් විදෙස් සංචාරකයකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි මොහොතේ සිට නැවත මෙරටින් පිටව යන මොහොත දක්වාම සිටින්නේ මේ රටේය. මෙරට ජනතාව සමගය. මේ නිසා ඔවුන් අත්විඳින අපේ ආගන්තුක සත්කාරය අනුව ඔවුන් නැවත මෙරටට පැමිණීම ද තීරණය වනු ඇත. එසේම ඔවුන් මෙරටින් පිටව ගොස් මෙරට දී විඳි අත්දැකීම තම රටේ දන්නා හඳුනන අයට කියා සිටිය හැකිය. එසේම ඔවුන් එම සංචාරක අත්දැකීම් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කළ හැකිය. එසේම යූටියුබ් නාලිකා ඇතුළු වෙනත් සමාජ මාධ්‍යකට වීඩියෝවක් වශයෙන් මුදාහැරිය හැකිය. ඒ නිසා අපේ රටට එන මේ අමුත්තන්ට අප හොඳින් සැලකිය යුතුය. ඔබේ නිවසට ඔබේ ආරාධනයෙන් එන අමුත්තෙක්ට ඔබ හොඳින් සැලකුවේ නැත්නම් සහ ඔවුන්ට නිවසට එන්න කියා ඔබ හිරිහැර සහ කරදර කළහොත් සිදුවන්නේ කුමක්ද? ඔහු නැවත ඔබ නිවසට පැමිණෙනු ඇති ද? මේ දෙයම මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් ගැන ද එක ලෙසම අදාළය.

මේ නිසා විදේශ සංචාරකයාට මෙරට දී අප ලබා දෙන්නේ අප්‍රසන්න අත්දැකීමක් නම් එය ඔහුට මොහොතකින් සමාජ මාධ්‍යයට මුදාහැර අප රට පිළිබඳ ලෝකයටම යම් අහිතකර පණිවිඩයක් ලබා දිය හැකිය. එසේම සංචාරකයන්ට අප ලබා දෙන්නේ ප්‍රසන්න අත්දැකීමක් නම් එය ද ඔහුට හෝ ඇයට මොහොතකින් සමාජ මාධ්‍යයට මුදාහැර අප රට පිළිබඳ ලෝකයටම යහපත් හෝ සුබදායී පණිවිඩයක් ද ලබා දිය හැකිය. මේ නිසා මෙරට සංචාරක බලධාරීන් මේ කරුණ ගැන එතරම් අවධානයට ලක් කර ඇති බවක් අපට නොපෙනුනත් මේ ගැන රටේ පුරවැසියන් ලෙස අප සැලකිය යුතුමය.

මේ කාලයේ රට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ද විදේශ විනිමය හිඟයයි. අප ගෙවීම් අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම ද තවමත් ආරම්භ කර නැත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර අප එම ණය නැවත ගෙවන අවස්ථාව වන විට අපට මීට වඩා වැඩි විදේශ විනිමයක් අවශ්‍ය වේ. අප තවමත් වාහන ගෙන්වන්නේ ද නැත. එහෙත් අපට හැමදාම වාහන ආනයන තහනම පවත්වාගෙන යෑමට ද හැකියාවක් නැත. ඒ නිසා විදේශ ණය ගෙවීමට, වාහන නැවත ආනයනය කිරීමට අපේ කර්මාන්ත සහ ව්‍යාපාර යනාදියට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අප රට විසින් වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයාගත යුතුමය. එහිදී අපනයන ආදායම් වර්ධනය කරගත යුතුමය. විදේශ සංචාරක ඉපයුම් ද වැඩිකරගත යුතුමය. අනිත් සෑම විදේශ විනිමය ඉපයුම් මාර්ගයකින්ම වැඩි විදේශ විනිමය ඉපයුමක් ලබා ගැනීම සඳහා අපට නිසි සැලසුම් සහ උපායමාර්ග ද තිබිය යුතුය.

රට මුහුණ දුන් විදේශ විනිමය අර්බුදය නිසා මේ රටේ ජනයා මුහුණ දුන් දුක් ගැහැට සහ වධ වේදනා ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. තෙල් ලීටරයක් ගැනීමට, එසේම ගෑස් සිලින්ඩරයක් ගැනීමට පැය ගණන්, දවස් ගණන් පෝලිම්වල දුක් වින්දා අපට මතකය. ඒ දෙය සිදු වූයේ අප රට මුහුණ දුන් උග්‍ර විදේශ විනිමය හිඟය නිසාය. එසේම අප ගෙන තිබූ ණය වාරික සහ පොලී මුදල් කලට වෙලාවට ගෙවාගෙන යෑමට ප්‍රමාණවත් විදේශ විනිමයක් අපේ විදේශ සංචිතය තුළ නොතිබුණු නිසාය. ඒ නිසා තවමත් අප මුහුණු දී සිටින විදේශ විනිමය අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ දී සංචාරක ව්‍යාපාරයට කළ හැකි මෙහෙය සුළු පටු නොවේ. 2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයන් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඒ අනුව මේ වසරේ (2024) මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවල සඳහන් වේ. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පැමිණ ඇති සංචාරකයන්ගෙන් සියයට 17 ක් ඉන්දීය සංචාරකයන් වන අතර එම සංඛ්‍යාව 14,207 කි. මීට අමතරව එම කාලයේ දී එක්සත් රාජධානියෙන් සංචාරකයන් 9,095 ක් ද, රුසියාවෙන් 8,508ක් සහ ජර්මනියෙන් 6,489ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත. මෙසේ මේ වන විට අපේ සංචාරක පැමිණීම්වල වර්ධනයක් තිබුණත් අප නම් සිතන්නේ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් විදේශ විනිමය උපයා ගැනීමට මීට වඩා විශාල විභවතාවක් රට සතුව පවතින බවයි. ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වැඩපිළිවෙළක් හෝ ජනතා කේන්ද්‍රීය සංචාරක කර්මාන්තයක් ගොඩනැඟීමේ අවධානයක් තවමත් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් දියත්ව ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා වහාම මේ අඩුපාඩුව නිවැරදි කර ගනිමින් මේ රටේ ජනතාව කේන්ද්‍ර කරගත් සහ ඔවුන්ට සංචාරක කර්මාන්තයේ වැඩි ප්‍රතිලාභ ද අත්කර දෙන මෙරටට වැඩි එකතු කළ අගයක් ලැබෙන සංචාරක ව්‍යාපාරයක අවශ්‍යතාව ප්‍රබල ලෙස තිබේ. කොටින්ම සංචාරක ආර්ථිකයකට රට සූදානම් කළ යුතුව ඇත. ඒ සඳහා සංචාරක ව්‍යාපාරය ගැන මේ රටේ ජනයා ඇතුළු සංචාරක කර්මාන්තයේ සියලුම පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි.

මේ සියලුම දේවල් අප සටහන් කිරීමට හේතු වූයේ පසුගිය දිනවල මෙරට දී විදෙස් සංචාරකයන් දෙදෙනකුට අත්විඳීමට සිදු වූ අකාරුණික සිදුවීම් දෙකක් නිසාය. එකක් නම් කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියයි. එම සංචාරකයා බෙල්ජියානු ජාතිකයකු බවට මාධ්‍ය වාර්තා කර තිබූ අතර අදාළ සංචාරක මඟ පෙන්වන්නා එහි මිල විමසූ විට මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ. මිල වැඩි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නාට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇත. පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළෙඳසලෙන් පිටව ගොස් ඇති අතර, එම සිදුවීම තම ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ. පසුව ඔහු එම වෙළෙඳසල ඉදිරිපිට රැඳී සිටිමින් මහමග ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් උළුඳු වඩේ එකක මිල විමසා ඇති අතර, එහි සාමාන්‍ය මිල රුපියල් 150 ක් පමණ වන බව ඇය විසින් එම සංචාරකයාට දැනුම් දී තිබේ.

එම බෙල්ජියම් ජාතිකයා එය ද සිය ජංගම දුරකථනයේ පටිගත කොට එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝව සංසරණය වන්නට විය. එය මෙරට බොහෝ දෙනෙක් ශෙයාර් කර තිබිණි. එසේම එම සිදුවීම අදාළ වීඩියෝ දර්ශන ද සහිතව ප්‍රධාන විද්‍යුත් නාලිකාවක් මගින්ද විකාශය විය. මේ නිසා සැනෙකින් මෙම සිදුවීම රට හමුවේ අනාවරණය විය. එය නිරීක්ෂණය වීමෙන් පසු මොරගල්ල සංචාරක පොලිසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සංචාරක මඟ පෙන්වන්නා පසුගිය අප්‍රේල් 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු එම වෙළෙඳසල අවට සිටින අයෙකු බවය. ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළෙඳසල වෙත පැමිණෙන විදේශිකයන් රවටා මුදල් ලබාගන්නා අයෙකු බවට අනාවරණය වී ඇති බව පොලිසිය මාධ්‍යයට පවසා තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් අප්‍රේල් 19 වැනිදා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මොරගල්ල සංචාරක පොලිසිය පැමිණ වෙළෙඳසල් හිමියාගෙන් ද මෙම සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ඔහුට ද දැඩි ලෙස අවවාද කළ බව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. තම කඩේ බඩු අධික මිලට සංචාරක මඟපෙන්වන්නන් මගින් සංචාරකයන්ට අලෙවි කිරීමට එම වෙළෙඳසල් හිමියාද ඉඩ නොදිය යුතුව තිබිණි. කෙසේ හෝ එය සිදුව තිබේ. මේ සිද්ධියෙන් එම වෙළෙඳසල් හිමියා මෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයාට ද පාඩමක් ඉගෙන ගැනීමට හැකිව තිබේ. කෙසේ හෝ මේ සිදුවීම ගැන වහාම නීතිය ක්‍රියාත්මක වීම ගැන නම් අපට සතුටු විය හැකිය. මේ ගැන එම විදේශ සංචාරකයා ද සතුටට පත්ව සිටිනවා විය හැකිය. වෙනත් රටවල අප සංචාරය කරන විට විදෙස් සංචාරකයන්ට සහ දේශීය පාරිභෝගිකයන්ට කියා මිල ගණන් දෙකක් ක්‍රියාත්මක නොවන බව මේ ලියුම්කරු දන්නා දෙයකි. එම රටවල පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන්නේ කාටත් එකම මිලකටය. ඒ නිසා සුද්දෙක් දුටු විට ඒ සුද්දාව සුද්ද කරන්නට යෑම නොකළ යුතුය. එයින් සිදුවනුයේ තමාටත් හානියකි. රටටත් කැළලකි.

අපගේ අවධානයට ලක් වූ දෙවන සිදුවීම නම් විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ස්ටී්‍රට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී කොත්තු රොටියක් මිලදී ගැනීමට සූදානම් වීමේ දී සිදු වූ සිද්ධියයි. එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී එම වෙළෙඳසල් හිමියා එහි මිල රුපියල් 1900ක් බව පවසා ඇත. ඒ අවස්ථාවේදී එම විදේශිකයා කොත්තු රොටිය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසල් හිමියා ඔහුට බැන තර්ජනය කර පලවා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. මෙම සිද්ධියට අදාළ වීඩියෝව ද පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රබලව සංසරණය විය. එම වීඩියෝව පදනම් කරගෙන විමර්ශන අරඹා කෙසෙල්වත්ත පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආපනශාලා හිමියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත. එසේම සෑම ඉරු දිනකම කෙසෙල්වත්ත පොලිසියේ පෙනී සිටින ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර තිබේ. කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය. විදේශිකයකුට බැණ තර්ජනයක් කර අඩන්තේට්ටම් කිරීම සිදුකර ඇති සැකකරු, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන ක්‍රියාදාමයක නිරතව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා වී ඇත. සැකකරු වෙනුවෙන් ද නීතිඥවරු කරුණු දක්වා ඇත. ඒ නිසා ඉදිරි දිනෙක මේ ගැන තීන්දුවක් ලැබෙනු ඇත. කෙසේ වෙතත් අදාළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් දැක ඇත. සිදු වූ දේ එහි ඇත. ඕනෑම විදේශිකයකුට යමක් මිලදී ගැනීමට පෙර මිල ගණන් විමසා මිල අධික බව හැඟෙනවා නම් එම භාණ්ඩය හෝ ආහාර ද්‍රව්‍යය හෝ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමට අයිතිය තිබේ. එසේ කියා අපහාසාත්මකව එම සංචාරකයන්ට පලයන් කියා එළවා දමන්නට කටයුතු කිරීම නම් සුදුසු දෙයක් නොවේ. එසේම මේ ගැන නීතිය ක්‍රියාත්මක වීම ගැන අදාළ විදේශිකයා තමන් මෙවන් දෙයක් බලාපොරොත්තු නොවූ බවත්, අදාළ කාරණාවෙන් සැකකරු නිදහස් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවටත් සිය අන්තර්ජාල ගිණුමක සටහන් කර ඇති බව ද වාර්තා වේ. ඔහුගේ එම කාරුණිකභාවයට අප ස්තුතිවන්ත විය යුතුය.

කෙසේ හෝ මෙවැනි සිදුවීම් ගැන වහාම පොලිසිය ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ඉතාම අගය කළ යුතු දෙයකි. මේ ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා ද මේ ලියුම්කරුට දැනුම් දීමක් කළේය. එහෙත් මෙසේ වාර්තා නොවෙන විදෙස් සංචාරකයන්ට මෙරට දී කරදර, හිරිහැර වෙන තවත් සිදුවීම් ඕනෑ තරම් සිදුවෙනවා විය හැකිය. එවැනි සිදුවීම් හැකිතාක් අවම කරගත යුතු අතර මේ රට විදෙස් සංචාරකයන්ට නිදහසේ සංචාරය කළ හැකි රටක් බවට තවදුරටත් අප පත්කරගත යුතුව ඇත. එසේම අනිත් අතට මෙරටට එන විදෙස් සංචාරකයන්ට ඉතාම ඉහළ ආගන්තුක සත්කාරයෙන් ඉතා මිත්‍රශීලීව සලකන ශ්‍රී ලාංකික පිරිස් ද බොහෝය. එවැනි වීඩියෝ ද විදෙස් සංචාරකයන් විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති අයුරු ද අප දැක ඇත. මේ නිසා මෙරට පුරවැසියන් ලෙස අපේ රටට එන විදේශීය අමුත්තන් දෙස යහපත් ආකල්පයකින් බැලිය යුතු අතර එම සංචාරකයන්ට ලෝකයේ සංචාරය කිරීමට තවත් රටවල් ඕනෑ තරම් ඇති බව ද අප අමතක නොකළ යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment