අරුන්දික ඇමැතිකමෙන් දොට්ට දැමූ රාගම පළහිලව්ව

711

අමාත්‍යාංශයේ වාහන මැර ප‍්‍රහාරයකට ගියේ කොහොමද?

තරුණ මදයෙන් මත්වී ධනයෙන් සහ බලයෙන් හිස උදුම්මවා ගත් දඩාවතේ යමින් පිස්සු කෙළින වුන් දුටු කළ අපේ පැරැන්නන් එවන් වුන්ට කීවේ නොසන්ඩාලයන් කියාය. රතු ඉර පැන්න විට නම් ඇතැම්හු එවැන්නන් හැඳින්වීමට නොට්ටිගේ පුතාලා කීහ.

මේ කියන නොට්ටිගේ පුතා යනු කවරෙක්ද? අපේ ජනවහර අනුව එසේ හැඳින්වූයේ අප්පා කළ දේ නොකරන එකාවය. එහෙත් මෙහිදී අප්පා කවුරුන්ද යන්න නම් ප‍්‍රශ්නාර්ථයක් විය. ඒ අනුව නොට්ටිගේ පුතා හැඳින්වීමට අකුරු පහක් ඇති වචන දෙකක් අප දන්නා අසභ්‍ය වහරේද ඇත.

එහෙත් ඒවා මෙහිදී සටහන් කිරීමට නම් නොහැකිය. එනිසා අප සිදු වන්නේ එය දන්නෝ දනිති කියා නිහඬ වන්නටය. කෙසේ වෙතත් අපට මේ අන්දමට හිටි හැටියේ නොසන්ඩාලයන් සහ නොට්ටිගේ පුතාලා සිහි වූයේ කුමක් නිසාදැයි දැන් ඇතැමකුට ගැටලූවක් විය හැකිය.

එක්තරා නොසන්ඩාලයන් පිරිසක් ඉකුත් පළමු වැනිදා මතින් මත් වී හෝ නොමැතිව රාගම පිහිටි කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට මහ රෑ බලහත්කාරයෙන් ඇතුළුවී එහි සිටි වෛද්‍ය සිසුන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම අපට එවැන්නක් සිහියට ඒමට හේතුව විය. මේ ප‍්‍රහාරය එල්ල කළ වුන්ට අපි දෙවරක් නොසිතාම නොසන්ඩාලයන් යැයි කියන්නෙමු. මන්ද ඒ ප‍්‍රහාරය එල්ල කෙරුවෝ නොසන්ඩාලයන් නොවුණේ නම් මහ රෑ එකට දෙකට නිවෙස්වලින් බැහැරව දඩාවතේ ගොස් මෙවන් දේ සිදු නොකරන්නාහ. යහපත් ලෙස හැදී වැඩෙන දරුවෝ එසේ නොකරති. එනිසා මේ ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට කඩා වැදුණු වුන්ට නොට්ටිගේ පුතාලා යැයි කීමද සාධාරණය.

දැනට අනාවරණය වී තිබෙන පරිදි මේ ප‍්‍රහාරය සඳහා සුඛෝපභෝගී මෝටර් රථද ඇතුළුව රථ කිහිපයකින් පැමිණි පහළවක පමණ මැර පිරිසක් මෙසේ රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට ඇතුළු වී ඇත. එසේ පැමිණි රථ අතරේ පොල් සංවර්ධන මණ්ඩලයට අයත් මෝටර් රථයක්ද විය. පොල් සංවර්ධන මණ්ඩලය යනු රාජ්‍ය ඇමැති අරන්දික ප‍්‍රනාන්දුට අයත් අමාත්‍යාංශය යටතේ තිබෙන්නකි. මුලදී බබාලන්තයේ සිට පැමිණියාක් මෙන් හැසිරුණද මෙම සිද්ධිය නිසාම ඉල්ලා අස්වන්නට සිදුවීම නිසා දැන් අරුන්දික ප‍්‍රනාන්දු යනු රාජ්‍ය ඇමැතිද නොවේ.

මෙසේ පැමිණි පිරිස අතර සිටි ප‍්‍රධානම චරිත දෙක ලෙස හඳුනාගෙන ඇත්තේ මේ රටේ වෛද්‍ය යුවළකගේ පුත‍්‍රයකු වූ එම සිද්ධියෙන් පසු දැනට මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින රාගම වෛද්‍ය පීඨයේම අධ්‍යාපනය හදාරණ තෙවැනි වසරේ සිසුවකු සහ හිටපු රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දුගේ පුත් අවින්ද රන්දිල ප‍්‍රනාන්දුය.

ඉහත කී තෙවැනි වසරේ වෛද්‍ය සිසුවා මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවකු ලෙස මේ වන විට පොලිස් අත්අඩංගුවටද පත්ව සිටින්නෙකි.

දැන ගැනීමට ඇති පරිදි හොකී පිති සහ නංචක්කු වැනි මිනිසකුට මරණය ගෙන දිය හැකි මොට අවි සමඟ වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ මෙම පිරිසේ ඉලක්කය මහ භයානක එකක් වී තිබී ඇත. ඒ වන විට නේවාසිකාගාරයේ රැඳී සිටි වෛද්‍ය සිසුන් කිහිප දෙනකු උපක‍්‍රමශීලීව ඔවුන් පැමිණි වාහනවලට දමාගෙන පැහැරගෙන යෑම ඔවුන්ගේ උත්සාහය වූ බව ඒ මොහොතේ එහි සිටියෝ පවසන්නාහ. එසේ පැහැරගෙන ගොස් අතපය කැඩෙන තුරු පහරදී පැහැරගත් සිසුන් මහමඟ දමා යෑමට ඔවුන් සැළසුම් කළාද විය හැකිය.

එහෙත් පිරිස නේවාසිකාගාරයට කඩා වැදීමෙන් පසු ඔවුන්ගේ ග‍්‍රහණයට හසුවූ පළමු සිසුවා කෙසේ හෝ මේ නොසන්ඩාලයන්ගෙන් මිදී පැන ගොස් කෑගසමින් සිද්ධිය අනෙක් සිසුන්ට දැනුම්දීම නිසා ඒ කතාව වෙනස් විය. එසේ නොවුණේ නම් පැහැරගත් සිසුන්ට පහරදී මහමඟ දමා යෑම පසුදා වන විට රටම කම්පනයට පත් කළ පුවත බවට පත්වීමටද ඉඩක් තිබිණි.

එහෙත් පළමුව මොවුන්ට හසුවූ සිසුවා ගැළවී ගොස් කෑගැසීමත් සමඟ නේවාසිකාගාරයේ සිටි අනෙක් සිසුහු සියලූ දෙනා වහා අවදි වී ඉදිරියට ආහ. එහිදී නොසන්ඩාලයන්ට සිදුවූයේ එල්ල විය හැකි ප‍්‍රතිප‍්‍රහාරය සිහිවී පසුබසින්නටය. එසේ පසුබසින අතරවාරයේ රැගෙන ආ හොකී පිති මෙන්ම නංචක්කු වැනි දෙයින් එල්ල කළ ප‍්‍රහාර හේතුවෙන් ගැටුමට මැදිවූ සිසුන් තිදෙනකු තුවාල ලැබීය. එසේම නොසන්ඩාලයන් සමඟ එකට එක්ව තමන් අධ්‍යාපනය හදාරණ වෛද්‍ය පීඨයේම සහෝදර සිසුන්ට පහර දෙන්නට ආ තුන්වැනි වසරේ ශිෂ්‍ය නොසන්ඩාලයාටද තුවාල සිදුවිය. මෙසේ පිරිස පසු බැස යන අතරේ ප‍්‍රහාරයට පැමිණි පොල් සංවර්ධන මණ්ඩලයට අයත් මෝටර් රථය සහ එක් අයකු අල්ලා ගන්නට නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් සමත් වූ අතර රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දුගේ කතාව එළියට පැමිණියේ එහිදීය.

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරය තුළ මේ කියන දිනයේ අලූයම මෙවන් ගැටුමක් ඇතිවූයේ කුමක් නිසාද? සාමාන්‍යයෙන් මෙරට වෛද්‍ය පීඨවලට තේරී උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සියලූ දරුවන්ගේ මව්පියෝ රටේ වෛද්‍යවරුන් නොවෙති. වෛද්‍යවරුන් ලෙස රටට සේවයක් කරන දෙමාපියන්ගේ දරුවන් මෙන්ම සාමාන්‍ය පවුල්වල දරුවෝද උසස් පෙළ ඉහළින් සමත්ව උසස් අධ්‍යාපනය සඳහා වෛද්‍ය පීඨවලට පැමිණෙති.

ඒ අනුව වෛද්‍ය පීඨවලට ඇතුළු වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කනිෂ්ට සිසුන්ට අධ්‍යාපනයට සහයෝගය ලබා දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. රාගම වෛද්‍ය පීඨයටද එය පොදුවිය. එහෙත් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මේ ප‍්‍රහාරයේ මහ මොළකරුවා යැයි කියන තෙවැනි වසරේ සිසුවාට එසේ ජ්‍යෙෂ්ඨයන් පාඩම් කියා දීම වහකදුරු මෙන් වී තිබී ඇත. ඔහුගේ දෙමාපියන් වෛද්‍යවරුන් වීම සහ අරුන්දික ප‍්‍රනාන්දුගේ පුතා ගජ මිතුරකු වීම නිසා ඒ සිසුවා අධිමාන්නයක සිටීම එයට හේතු වූවාද විය හැකිය. එනිසා ඔහු අවස්ථා කිහිපයකදී ජ්‍යෙෂ්ඨ සිසුන් සමඟ ගැටුම් පවා ඇතිකරගෙන තිබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ පිරිස් පවසන්නාහ. මෙම සිද්ධියෙන් පසු නිවේදනයක් නිකුත් කළ එම සංගමය පෙන්වා දුන්නේ අදාළ සිසුවා රාගම හන්දියට පැමිණ හැකිනම් තමන්ට මුහුණ දෙන ලෙස ඇතැම් අවස්ථාවල ජ්‍යෙෂ්ඨ සිසුන්ට අභියෝග පවා කර ඇති බවකි.

ඔහු එසේ කළේ නම් ඔහුව මනෝවෛද්‍යවරයකු හමුවට ගෙන යෑම කඩිනමින් සිදුකළ යුත්තක් බව වෛද්‍යවරුන් වන ඔහුගේ දෙමාපියන්ට අමුතුවෙන් පෙන්වා දියයුතු නොවන බව අපේ වැටහීමය. තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් දිනවල රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ සිසුන් සහ තෙවැනි වසරේ සිසුන් අතර මතභේදයක් හටගෙන තිබී ඇත. පසුව එය සමථයට පත්ව ඇත්තේ ආචාර්යවරුන්ගේද මැදිහත්වීමෙනි.

වෛද්‍යවරුන් දෙදෙනකුට දාව උපන් රාගම වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඉහත කී නොසන්ඩාල චණ්ඩියා සිය දේශපාලන හිතවත්කම්ද යොදාගෙන මැර පිරිසක් සමඟ එක්ව පැමිණ මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ එසේ සමථයකට පත්ව තිබූ සිදුවීමක් මුල්කරගෙනය. එහෙත් මෙම සිද්ධියේදී මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන ඔහුගේ මව නම් කීවේ තම පුත‍්‍රයා නවක වදයට විරුද්ධ වීම නිසා මෙවනි තත්ත්වයක් ඇතිවූ බවය. එය නම් හරිම අපූරු ප‍්‍රකාශයකි. විශේෂඥ වෛද්‍යවරියක වූ ඇගේ දැනුම පිළිබඳ වැටහීමක් අපට නැත. එහෙත් අප දන්නා පරිදි නම් විශ්වවිද්‍යාලවල නවක වධය පිළිබඳ ගැටලූ ඇති වන්නේ පළමු වසරේදීය. වර්තමාන නවක වධය යනු මෙරට විශ්වවිද්‍යාලවලින් අතුගා දැමිය යුතු එකක් බවට විවාදයක් නැත.

එහෙත් විශ්වවිද්‍යාලයක සිව්වන වසරේ සහ තෙවැනි වසරේ සිසුන් අතර නවක වධය පිළිබඳ ගැටලූ මතුවීමට කිසිසේත්ම හේතුවක් නැත. මන්ද විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසු දරුවන් නවක වධයට මුහුණ දෙන්නේ එසේ ඇතුළු වන මුල් අවස්ථාවේදීය. එසේම එකී දොස්තර නෝනා කියන පරිදි ඇගේ පුතා නවක වධයට විරුද්ධ වූවකු යැයි විශ්වාස කිරීමටද මෙහිදී අපට නොහැකිය. හොකී පිති, කි‍්‍රකට් පිති සහ නංචක්කු වැනි මාරක අවිද රැගෙන තමන්ගේම සහෝදර සිසුන්ට පහර දීම සඳහා අමන රැලක් සමඟ එක්ව නිශාචරයකු සේ මහා රෑ සැරිසරණ නරුම සිත් ඇත්තකු එලෙස නවක වධයට විරුද්ධ වූවා යැයි කෙසේ විශ්වාස කරන්නද?

මෙකී ශිෂ්‍යයා රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතරව සිටියකු ද නොවේ. එනිසා මේ අන්දමට රාති‍්‍රයේ නේවාසිකාගාර භූමියට ඇතුළු වීමට ඔහුට කිසිදු අයිතියක් නැත.එසේම හිටපු රාජ්‍ය ඇමැති අරුන්දිකගේ පුතා සහ අනෙක් පිරිස දැනගැනීමට ඇති පරිදි කිසිදු විශ්වවිද්‍යාලයක සිසුන්ද නොවෙති. එනිසා ඔවුනට රාති‍්‍රයේ තබා දහවලේ වැස්සකටවත් විශ්වවිද්‍යාල නේවාසිකාගාර භූමියකට ඇතුළු වීමට අවසර හිමි නොවේ.

ඒ අනුව බලන කල මොවුන් කර ඇත්තේ බරපතළ නීති විරෝධී කි‍්‍රයාවකි. ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා නම් මෙම සිද්ධියට පසුදාම මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැහැදිලි කළේය. අජිත් රෝහණ මහතා කී පරිදි නීති විරෝධීව රංචු ගැසෙමින් අයුතු ජන රාශියක සමාජිකයන් වීම, පොදු දේපල අයතා භාවිතය සහ නීති විරෝධී ලෙස වෛද්‍ය පීඨ නේවාසිකාගාර භූමියට අනිසිව ඇතුළු වීම ආදී වශයෙන් මෙම සිද්ධියට සම්බන්ධ වූවන්ට චෝදනා එල්ල වන බවකි.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ඔහු එසේ රටට යථාර්ථය පෙන්වා දෙද්දී මෙම සිද්ධිය හමුවේ හොඳ පොලිස් රැඟිල්ල රැඟුවේ රාගම පොලිසියය. ඒ මෙම සිද්ධියේ පැමිණිලි පාර්ශ්වයද විත්තිය විත්ති පාර්ශ්වයක් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙනි. රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට එල්ල වූ මෙම නොසන්ඩාල මැර ප‍්‍රහාරයෙන් නේවාසිකාගාරයේ සිසුන් තිදෙනකු තුවාල ලැබීය. පසුව රාගම රෝහලෙන් ප‍්‍රතිකාර ලැබ මඳ සුවයක් ලද ඔවුහු අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට සහභාගි වීමට වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියහ.

එසේ පැමිණ සිටියදී අධිකරණ භූමියේදී එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය කි‍්‍රයා කළේය. එකී අත්අඩංගුවට ගැනීමේ පදනම කුමක්දැයි අපට නම් නොවැටහෙන්නකි. එම සිසුන් තිදෙනා අධිකරණයට පැමිණියේ අධිකරණ කටයුතුවලට සහාය වන්නටය. එහෙත් පොලිසිය කළේ වාහනයක හුළං ඇරියා වැනි දෙකයි පනහේ චෝදනාවක් එල්ල කර එම සිසුන් තිදෙනා පොලිසියට කුදලං යෑමය.

එහිදී නැගපිය ‘හු.. පුතා ජීප් එකට’ කියමින් රාගම පොලිසියේ එක්තරා පොලිස් නිලධාරියකු සුපිරි පොලිස් අත්අඩංගුවට ගැනීමක් සිදු කරන අයුරුද දක්නට ලැබුණු වීඩියෝවකින් අපට පැහැදිලි විය. මෙම සිද්ධියේදී පොලිසිය භාර ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා නම් කීවේ අපක්‍ෂපාතී විමර්ශනයක් සිදු කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවය.

ඇමැතිවරයා රටට එසේ ප‍්‍රකාශ කරද්දී රාගම පොලිසිය එම සිසුන් තිදෙනා සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගනිමින් පැමිණිල්ලත් විත්තියක් කර ඇමැතිවරයාගේ මුහුණේ දැලි ගෑවා පමණක් නොව එක රටක් එක නීතියක් යන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයටද අත දිගහැර අතුල් පහරක් එල්ල කළේ විශ්මිත අන්දමටය.

එක් අතකින් රාගම පොලිසියේ නිලධාරීන් එසේ කටයුතු කළේ රස්සාව බේරා ගැනීම පිණිස වෙන කරන්නට දෙයක් නැතිව අසරණ වීම නිසා විය හැකිය. මේ රටේ දේශපාලනය හැමදාමත් තිබුණේ එතැනය.

කවුරු රට ඉදිරියට පැමිණ කුමක් කීවත් මෙම සිද්ධියේදී රට කරවන තැන සිටින දෙසිය විසිපහේ කුලකයේ එක් චරිතයක් වූ අරුන්දික ප‍්‍රනාන්දුගේ පුතාද මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. සිද්ධියේ සැකකරුවකු වූ ඔහුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේද රැගෙන ඒමකින් නොව වඩම්මවාගෙන ඒමකින්ය. ඒ අනුව බලන කල ඇමැති වීරසේකර අපක්‍ෂපාතී පරීෂණ සිදු කරන්නේ යැයි රටට කීවාට රාගම පොලිසියේ ඕඅයිසී ට කතා කළ කවුරුන් හෝ අරුන්දිකගේ පුතා ගොඩයන අන්දමට වැඬේ කරපන් යැයි කීවාද විය හැකිය.

මඳකිපිච්ච තනි අලි ලෙස හැසිරෙන මෙවන් නොසන්ඩාල දේශපාලන පුත‍්‍රයන් හමුවේ හැමදාමත් පොලිසියට සිදු වූයේ අසරණ වන්නටය. එය අතීතයේදීද සිදුවූවකි. එනිසා මෙහිදී අපට කියන්නට තිබෙන්නේ රාගම පොලිසිය හරිම පවු කියාය. හිටපු රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දුගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු ඇතුළු නොසන්ඩාල මැර පිරිසක් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එල්ල කළ මෙම ප‍්‍රහාරයත් සමඟ නින්දෙන් ඇහැරුණාක් මෙන් මාධ්‍ය ඉදිරියට පැමිණි අරුන්දික නම් කීවේ සිදු වූ කිසිවක් පිළිබඳ තමන් කිසිවක්ම නොදන්නේ යැයි යන්නය. එවැනි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙන බව තමන් දැන ගත්තේ පසුදා බවද ඔහු කියන්නට විය. මෙම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් තිබෙන බව ඔප්පු කළහොත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවද කී හෙතම පසුව ඇමැතිකමෙන් ඉල්ලා අස්විය. ඒ තාවකාලිකවය.

මෙවන් දේශපාලන නොට්ටිගේ පුතාලා අතීතයේදී ද මේ රටේ සිටි බවට අපේ මතකයේ ඇත. ඒ අතර සිටි සමහර පුතාලා ලෙස විජේසේකර පුතාලා සහ දිසානායක පුතාලා පෙන්වා දිය හැකිය. මේ පුතාලා බොහොමයක් කරළියේ සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගයන් සහ මහින්ද රාජපක්‍ෂයන් රට කරවූ සමයේදී බවද අපට මතකය. මේ අතරින් කප් එක දිනූ පුතා වූයේ හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වාය. එකල මාලක සිල්වා නිහඬව සිටියා නම් එසේ සිටියේ හිරු අවරට ගොස් අඳුර වැටෙන මොහොත උදාවනතුරුය. නිශාචරයකු සේ අඳුරත් සමඟ එළියට එන ඔහු එකල කළ කෙළි බොහෝ වූහ.

නයිට් ක්ලබ් ගානේ ගිය හේ ටැබා ගසමින් ටැබා බෙදමින් වලි සාගරයක් දමා ගත්තේය. ඇතැම් අවස්ථාවල ආරක්‍ෂක අංශ සාමාජිකයන් සන්තකයේ තිබූ ගිනි අවි පවා උදුරාගත් ඔහු විටෙක ගහගත්තේ පොලිසිය සමඟය. අද අරුන්දික ප‍්‍රනාන්දුගේ පුතා පරිදිම එදා මාලක සිල්වාද තමන් මර්වින් සිල්වාගේ පුතා බව රටටම ඔප්පු කර පෙන්වා දුන්නේ එසේය. මාලක සිල්වා එදා එසේ රඟන කල්හි රටේ ආරක්‍ෂක ලේකම්වරයා වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂය. මේ අතරේ දිනක් නෙක රැඟුම් රඟමින් සිටි මාලක සිල්වාට කොළඹ පුරහල අසල තිබූ සුපිරි රෙදිපිළි වෙළෙඳ ආයතනයක් ආසන්නයේදී බඩකට පුරා සබ්බුවක් ලැබුණේ රටම පුදුමයට පත් කරමිනි.

ඒ ප‍්‍රහාරයත් සමඟ මර්වින් සිල්වාට ඇඬුනේය. අතපය කඩා ගත් මාලක සිල්වා නතර වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ද කොහෙදැයි යාන්තමට අපේ මතකයේ ඇත. කෙසේ වෙතත් ඉන් පසුව නම් තාත්තයි පුතයි දෙදෙනාම සොයා ගැනීමටවත් නොමැති තරමට නිහඬ විය.

මර්වින් සිල්වාට සිදුවූයේ ලැබී තිබූ ඇමැති ධුරයේ වැඩ කරන අතරේ බෙල්ල කැපෙන්නට නොදී තම පුතා බේරා ගන්නටය. අද මේ රටේ ජනාධිපතිවරයා වන්නේ එදා ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂයන්ය.

මේ මොහොත වන විටත් රාගම වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාර ප‍්‍රහාරය හමුවේ ඇමැතිකම අහිමිව සිටින අරුන්දික ප‍්‍රනන්දු මෙන්ම ඔහුගේ පුතා වන රන්දිල ජෙහාන් ප‍්‍රන්නාදු ද ඒ බව වටහා ගන්නේ නම් යහපතක්ම වනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment