අනික් කතන්දර නෙවෙයි මැණික් හොරෙන් පිටරට යන හැටි බලන්න!

295

මැණික් කර්මාන්තයෙන් 34% ක වාර්තාගත ආදායමක්…

හොර පාරෙන් මැණික් පිටරටවලට විකිණීම ජාවාරමක් වෙලා ඒ මුදල් ලංකාවට එන්නෙ නෑ…

රත්නපුරේ, ඇළහැර ගංගා, ඇළ, දොළවල නීති විරෝධී මැණික් ගැරීම වැඩි වෙලා…

හොර පාරෙන් මැණික් පිටරට ගෙනියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වගකීම තියෙන්නෙ රේගුවට…
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා

රත්නපුරේ මැණික් පතල් කොච්චර තිබුණත් මේ වෙනකොට මැණික් ලැබෙන්නෙ පතල් කිහිපයකින් විතරයි…
ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන

මෙරට මැණික් කර්මාන්තයට හොඳ කලදසාවක් උදා වී ඇති බව වාර්තා වේ. මේ වන විට මෙරට ආර්ථිකයට වැඩිම අපනයන ආදායමක් ලබාදෙනුයේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයෙනි. මහ බැංකු වාර්තාවලට අනුව මේ වර්ෂයේ පළමු කාර්තු දෙකේ පමණක් මෙරට ආර්ථිකයට 34% ක වාර්තාගත ආදායමක් ලබාදී තිබේ. එහෙත් හොර පාරෙන් පිටරට රැගෙන යන මිණි කැට ප්‍රමාණය ද අතිශය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ වන විට එය ලංකාවේ ප්‍රධාන ජාවාරමක් බවට පත් වී තිබේ.

එම ජාවාරමේ ප්‍රධාන ඉලක්කයන් වී ඇත්තේ නීති විරෝධී අයුරින් මැණික් පිටරවලට විකුණා විශාල ආදායමක් උපයාගැනීම පමණක් නොව, මැණික් විකුණා උපයන විශාල ධනස්කන්දය මෙරටට නොගෙනැවිත් ඒ රටවල බැංකුවල තැන්පත් කිරීමය. මේ රන් පොළොවෙන් මතු කර දෙන මිණි කැටයට ලැබෙන වටිනාකම හෝ රටේ ආර්ථිකයට සම්පතක් නොවීම කොයි සා නම් අවසානවක්ද? ‘මෙරට ස්වභාවික සම්පත්’ පිටරටවල සම්පත් බවට පත් කරන හොර පාරෙන් කෙරෙන මැණික් අපනයනය, මැණික් කර්මාන්තයේ ප්‍රගතිය සහ ගැටලු ගැන විමසා බැලීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතාව අපි හමු වීමු. මේ ඔහු අපට පැවසූ කතාවය.

“පසුගිය මාස කිහිපයේ සිට මැණික් කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආදායම 200% න් වැඩි වෙලා තියෙනවා. මේ වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 316 ක විතර ආදායමක් රජයට ලබා දීලා තියෙනවා. ඒත් ලොව වටිනාම මැණික් තියෙන රට විදිහට මැණික් කර්මාන්තයෙන් ලැබෙන ආදායම සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. අපේ බලාපොරොත්තුව මේ ආදායම අඩුම තරමින් බිලියනය දක්වා වැඩි කරගැනීමට. හොර පාරෙන් පිටරට රැගෙන යන මැණික් ජාවාරම නතර කරන්න බිලියනයක ආදායමක් ලබාගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. ඒ වගේම මැණික් කොච්චර අපනයනය කළත් රටට ආදායමක් ලැබෙන්නෙ නැති නම් වැඩක් නෑ. ඒ නිසා චාමර සම්පත් දසනායක ඇමැතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ අවුරුද්දෙ ජනවාරි පළවෙනිදා ඉඳලා මෙරටින් රැගෙන යන සියලුම මැණික් රේගු ලියාපදිංචියක් ඇතිව පිට කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ තුළින් මෙරටින් රැගෙන යන මැණික් අලෙවියෙන් ලැබෙන මුදල් මෙරටට එනවද කියලා සොයා බලන්න පුළුවන්. ඒ වගේම විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන මැණික්වල ආදායම දින 180 ක් ඇතුළත මෙරටට ලැබෙනවද කියා සොයාබැලීමට වෙනම කණ්ඩායමක් පත් කරලා තියෙනවා…”

අනික් කතන්දර නෙවෙයි මැණික් හොරෙන් පිටරට යන හැටි බලන්න!

“මේ රටේ වෙන කර්මාන්ත වගේ නෙමෙයි මැණික් කර්මාන්තය වේගයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා මැණික් අපනයනකරුවන්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නෑ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයට මම පත් වෙලා මාස දහයයි. ඒ කාලය තුළ අවස්ථා කිහිපයක මැණික් අපනයනයකරුවන්ගේ සංගම්වල නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් කියන්නෙ බදු අය කිරීම් වැඩි නිසා ලැබෙන ආදායම වැඩි වෙන්නෙ නෑ කියලා. ඒත් පසුගිය වසර දහයක දත්ත විශ්ලේෂණය කරනකොට 2012 වර්ෂයේ ඉඳලා 2018 වර්ෂ දක්වා බදු අය කිරීම් කරලා නෑ. ඒ කාලයේදීවත් මැණික් අපනයනයෙන් සැලකිය යුතු ආදායමක් ලැබිලා නෑ. ඒ වගේම ආනයන, අපනයන වෙළෙඳාමක් බදු අය කිරීමකින් තොරව කරල රටට සෙතක් වෙන්නෙ නෑ. රටක් පවත්වාගෙන යෑමට බදු ආදායමක් ලැබෙන්න ඕනෑ. විශේෂයෙන්ම මැණික් අපනයනයෙන් බදු අය කිරීමේ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ…”

හොර පාරෙන් මැණික් පිටරට රැගෙන යන්නෙ කොහොමද?

‘විවිධ ක්‍රම භාවිත කරමින් පිටරටවලට රැගෙන යන බව තමයි කියන්නේ. දැන් අපි ඒ ක්‍රම ගැන සොයාගෙන යනවා. ඒත් එවැනි සෝදිසි කිරීම් කරන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තිබෙන පිරිස් බලය ප්‍රමාණවත් නෑ. ඒ වගේම හොර මාර්ග ඔස්සේ මැණික් පිටරට රැගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වගකීම තියෙන්නෙ රේගුවට. රත්තරන් රැගෙන එන පුද්ගලයන්, මත්ද්‍රව්‍ය රැගෙන යන පුද්ගලයන්, හොර සිගරට් රැගෙන එන පුද්ගලයන් රේගුවේදී අත්අඩංගුවට ගන්නවා. ඒත් කිසිම දවසක මැණික් රැගෙන යන පුද්ගලයන්ව රේගු නිලධාරීන් අත්අඩංගුවට අරගෙන නෑ. එහෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළා නම් මේ ජාවාරම බොහෝ දුරට අඩු වෙනවා…”

හොර පාරෙන් මැණික් රැගෙන ගොස් පිටරටවල වෙළෙඳාම් කරනකොට ලැබෙන ආදායම වැඩිද?

“එහෙම නෑ. අධිකාරිය හරහා ගනුදෙනුව කරනකොට ගෙවන්න තියෙන්නෙ දශම දෙකයි පහක්. රුපියල් 100 ට ශත විසිපහක් වගේ සුළු මුදලක්. ඒ හැර වෙන කිසිම ගෙවීමක් නෑ. ඒක නෙමෙයි ඔතන තියෙන ගැටලුව. අධිකාරිය හරහා ගනුදෙනු කරනකොට මැණික් විකුණලා උපයන මුදල ලංකාවට ගේන්න ඕන. හොර පාරෙන් ගිහින් ගනුදෙනුව කරනකොට ඔවුන්ට පුළුවන් ඒ රටවල බැංකුවල ඒ මුදල් තැන්පත් කරන්න…”

මෙරට ප්‍රධාන මැණික් අපනයනකරුවන් පනස් දෙනෙකි. මෙරට සමස්ත මැණික් වෙළෙඳාම රඳාපවතිනුයේ ඔවුන් අතය. එහි ප්‍රතිඵලයක් ලෙස මැණික් වෙළෙඳපොළ තුළ ද ඒකාධිකාරියක් ගොඩනැඟී ඇති බව පෙනේ. එහෙයින් මැණික් වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීම උදෙසා අපනයන ව්‍යාපාරිකයන් වැඩි කිරීමට මැණික් සංස්ථාව ක්‍රියාකරගෙන යන බව ද එහි සභාපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම මේ වනවිට මැණික් කර්මාන්තයට අලුත් තාක්‍ෂණය හඳුන්වා දෙමින් යන බව ද හෙතම පවසා සිටියේය. එහෙත් මැණික් නිධි හඳුනාගැනීමට ලොව තිබෙන තාක්‍ෂණ ක්‍රමවේදයන් සොයමින් සිටින බව ද හේ පැවසීය. එමෙන්ම මෙරට මැණික් නිධි බහුල ම ප්‍රදේශයක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලුව ගැන ද ඔහු අපට පැහැදිලි කළේය.

මෙරට වැඩිපුරම ඉඩම් ආරවුල් තිබෙන දිස්ත්‍රික්කය රත්නපුරය බව හඳුනාගෙන තිබේ. නිරවුල් නොවූ ඉඩම් බහුලව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයේ ය. විහාර, දේවාලගම් පනත යටතේ විහාරස්ථානවලට, දේවාලවලට අයිති ඉඩම් බොහෝය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම්, මහවැලි අධිකාරියට, වන සංරක්‍ෂණ, වනජීවී දෙපාර්තමේන්තුවලට අයිති ඉඩම් විශාල වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබේ. ඒ ඇතැම් ඉඩම්වල මිනිස්සු පදිංචි වී සිටිති. එහෙත් ඒ පදිංචිකරුවන්ට අයිතියක් නැත. එමෙන්ම මැණික් සංස්ථාවේ පනතට අනුව පතල් කැණීම් සිදු කිරීමට අදාළ ඉඩමේ තුනෙන් දෙකක අයිතියක් තිබිය යුතුය. රත්නපුරේ තිබෙන බොහෝ ඉඩම්වල තුනෙන් දෙකක අයිතියක් නැත. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කැණීම් නොකළ පෞද්ගලික ඉඩමක් සොයාගැනීම ද අසීරු තරම්ය. මැණික් කැණීම් නොකළ ඉඩම් ලෙස මේ වෙනකොට ඉතිරි වී ඇත්තේ රජයේ ඉඩම් පමණි. එහෙයින් රත්නපුරේ ඉඩම් ගැටලු නිරාකරණය වන ආකාරයට පනත සංශෝධනය නොකරන්න ඉදිරියේදී රත්නපුරේ මැණික් කැණීම් කිරීමේදී බරපතළ ගැටලු රාශියකට මුහුණදීමට සිදුවන බව ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ද අප සමඟ පැවසුවේය.

“රත්නපුරේ මැණික් පතල් කොච්චර තිබුණත් මේ වෙනකොට මැණික් ලැබෙන්නෙ පතල් කිහිපයකින් විතරයි. විශේෂයෙන්ම බැකෝ පතල්වලින් විතරයි. මැණික් ඉල්ලම් තිබුණු ගොඩක්ම පෞද්ගලික ඉඩම් කපලා ඉවරයි. ඒ නිසා රත්නපුරේ රජයේ ඉඩම්වල තිබෙන මැණික් නිධි හඳුනාගෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරාගෙන කර්මාන්තයේ ලොකු, කුඩා සියලුම ව්‍යාපාරිකයන්ට ඉල්ලුම් කරන්න පුළුවන් ආකාරයට වෙන්දේසි කරන්න කටයුතු සූදානම් කරන්න කියලා කිහිප අවස්ථාවක් රජයට අපි දැනුම් දුන්නා. ඒත් ඒ පිළිබඳ තවම සුබ ආරංචියක් ලැබිලා නෑ. මැණික් සංස්ථාවේ මැදිහත්වීමකින් රජයේ ඉඩම් වෙන්දේසි නොකිරීම නිසා තමයි මැණික් කැණීම් ජාවාරමක් වෙලා තියෙන්නෙ. රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් විශාල වශයෙන් අනවසර කැණීම් වැඩි වෙලා තියෙනවා. ඒ තුළින් දැවැන්ත පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා. සංස්ථාව මැදිහත් වෙලා කෑලි කඩලා වෙන්දේසි කළා නම් රජයටත් විශාල ආදායමක් එනවා. සංස්ථාවේ අධීක්‍ෂණය යටතේ කැණීම් සිදුවන නිසා පරිසරයට වෙන හානියත් අවම වෙනවා…” ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපතිවරයාගේ කතාව සැබෑය.

රත්නපුර දිස්ත්‍රික්කයේ සහ ඇළහැර ප්‍රදේශයේ ගංගා, ඇළ, දොළවල සිදු කෙරෙන නීති විරෝධී මැණික් ගැරීම තෙගුණ, සිව් ගුණ වී ඇති බව ද වාර්තා වේ. බලංගොඩ ප්‍රදේශයේ සිට ගලා බසිනා වේ ගඟ දෙමුවාවත ප්‍රදේශයෙන් කළු ගඟට එකතු වන ස්ථානය දක්වා ඕපනායක, කහවත්ත, දෑල සහ මාරපන ආදී එකී නොකී ප්‍රදේශවලදී ගඟ දිගට මහා පරිමාණයෙන් නීති විරෝධී මැණික් ගැරීම් සිදු වන බව වාර්තා වේ. එමෙන්ම රත්නපුරේ නම ගිය මැණික් ව්‍යාපාරිකයන් වේ ගඟ බූදලයක් බවට පත් කරගෙන ප්‍රසිද්ධියේ නීති විරෝධී ගැරීම සිදු කරන බව ප්‍රදේශවාසීහු ද අප සමඟ පැවසූහ. ගඟ හාරමින් කැණීම් කොට මැණික් නොලැබෙන විට ගඟ දෙපස ඉවුරු හාරමින් කැණීම් කරන බව ද ප්‍රදේශවාසීහු අපට කීහ. එහෙයින් දැවැන්ත ලෙස ඉවුරු ඛාදනය වී වේ ගඟ අසාමාන්‍ය ලෙස පළල් වී ඇති බව ඔවුහු පැහැදිලි කළහ. ඉවුරු දෙපස ගහ, කොළ කපා නිරුවත් කර තිබෙන අයුරු දකිනවිට පපුව පිච්චී යන බව ප්‍රදේශවාසීයෙක් කීවේ සෝ සුසුම් පිට කරමිනි.

“රැයක්, දහවලක් නැතිව යන්ත්‍ර සූත්‍ර දාගෙන ගඟ පතුළ, ඉවුරු කපනවා. මැණික් ගෙඩි පිටින් හම්බෙනවා. වේ ගඟ මැණික් උල්පතක් මහත්තයො… ඒත් රටේ සම්පතෙන් රුපියලක ආදායමක් රජයට යන්නෙ නෑ. ගඟ අසාමාන්‍ය විදිහට හෑරිලා. ඉස්සර තිබුණු වැලි කඳු දකින්න නෑ. මැණික් කැණීම් කරන අතරේ වැලි ජාවාරමත් ජයටම කරනවා. මේ විදිහට විනාශ කිරීමෙන් පුංචි පෑවිල්ලටත් ගඟේ ජලය අඩු වෙනවා. අපේ ගම්වල ළිං හිඳෙනවා. පෑවිල්ල පටන් ගත්තා විතරයි දැනටත් සමහර ළිංවල වතුර නෑ. ඉස්සර අපි මේ ගඟේ වතුර බිව්වා. දැන් නාන්නවත් බෑ. තනිකර මඩ වළක්. අදාළ ආයතනවලට කොච්චර දැනුම් දුන්නත් වැඩක් නෑ. වැටලීම් කරන්නෙ නෑ. වැටලීම් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ජාවාරම්කාරයො ජංගම දුරකථන දීලා පාර දිගට කොල්ලො නතර කරලා තියෙනවා. නිලධාරීන් කොහෙන් ආවත් නිව්ස් එක ඊට කලින් එනවා. වැඩ කරන අය ක්‍ෂණයෙන් ඉවත් වෙනවා. ඕක තමයි ජාවාරමේ ස්වභාවය. නම දාන්න එපා මහත්තයො… තව ටික කාලයක් මට මේ ගමේ ජීවත් වෙන්න ඕන…” දෑල ප්‍රදේශවාසියෙක් එසේ අපට පැවසුවේය.

අනික් කතන්දර නෙවෙයි මැණික් හොරෙන් පිටරට යන හැටි බලන්න!

වේ ගඟ පමණක් නොව, කලවාන දෙල්වල කන්දෙන් පටන් ගන්නා හංගමු ගඟ, කළු ගඟ ඇතුළු රත්නපුරේ සියලු ඇළ, දොළ මේ වනවිට මැණික් ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයට නතු වී අවසානය. රත්නපුර සමන් දේවාලය ආසන්නයේ කළු ගඟේ කෙරුණු අනවසර කැණීම් නතර කිරීමට සමන් දේවාලයේ බස්නායක නිලමේ දැඩි වෙහෙසක් ගත් බව ද වාර්තා වේ. පසුගිය මාස 6 ඇතුළත පමණක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අනවසර ගැරීම් 1613 ක් වැටලීම් කර තිබේ. මිලියන 20 ක පමණ සමථ මුදල් සහ මැණික් ගැරීම සඳහා භාවිතා කළ භාණ්ඩ විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් පවතින වියළි කාලගුණ තත්ත්වය තුළ ගංගා, ඇළ, දොළවල ජලය සිඳී යෑමත් සමඟ අනවසර කැණීම් වැඩි වී ඇති බව ද වාර්තා වේ. අනුකම්පාවකින් තොරව ගංගා, ඇළ, දොළ විනාශ කර මැණික් ගැරීම තුළ අනාගතයේදී දරුණු ජල හිඟයකට රත්නපුර දිස්ත්‍රික්කයට ම මුහුණදීමට සිදුවන බව පෙර සිට දැනුවත් කර තැබීම අපගේ යුතුකමකි.

එමෙන්ම ලොව වටිනාම මැණික් ලැබෙනුයේ මෙරටය. යාපනය දිස්ත්‍රික්කය හැර මෙරට සියලුම දිස්ත්‍රික්කවල මැණික් තිබෙන බව හඳුනාගෙන තිබේ. එම දිස්ත්‍රික්ක අතරින් වටිනාම මිණිකැට නිධන්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ ඇළහැර ප්‍රදේශවලය. රත්නපුර දිස්ත්‍රික්කයේ ද වටිනාම මිණිකැට ඇත්තේ රත්නපුර, නිවිතිගල පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල ය. එමෙන්ම මෙරට නිදන්ගත මැණික් කැටවලින් 20% ක් හෝ තවම මතු කරගෙන නැති බව ද වාර්තා වේ. දැනට කැණීම් කරමින් සිටිනුයේ ද්විතීක නිධිය පමණි. ප්‍රාථමික නිධිය ආසන්නයට හෝ ළඟා වී නොමැත. එමෙන්ම දැනටත් ගෙවුඩ මැණික් විපරීත වෙමින් තිබෙන බව මැණික් කර්මාන්තයේ විශේෂඥයන්ගේ මතයයි. පොල් කටුවක හැඩයට නිර්මාණය වී තිබෙන රත්නපුර ප්‍රදේශයට අදටත් මිණිකැට පහළට ගලා බසිති. එහෙයින් තව පරම්පරා ගණනාවකට අපේ රටේ මැණික් තිබේ. විය යුත්තේ මැණික් කර්මාන්තය රටට සම්පතක් කරගැනීමට කඩිනම් ව පියවර ගැනීමය. පරිසර ආරක්‍ෂණ ක්‍රම උපායන් ඔස්සේ මැණික් කැණීම් කරගෙන යෑමට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබාදීමට පනතේ නීති ලිහිල් කිරීමය. කැණීම් කොට ලබාගන්න මැණික්වලට අගය එකතු කිරීමේ නව තාක්‍ෂණය කර්මාන්තයට හඳුන්වාදීමය.

එමෙන්ම ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටිනුයේ තායිලන්තයයි. එහෙත් එරට මැණික් ඇත්තේ 5% ත් අඩු ප්‍රමාණයකි. ඒ මිණි කැටත් පළමු දෙවැනි ශ්‍රේණියේ මැණික් නොව, තුන්වැනි ශ්‍රේණියේ මැණික්ය. තායිලන්ත මැණික් වෙළෙඳපොළේ බහුලව අලෙවි කරනුයේ අප්‍රිකානු රටවල සහ මෙරට මැණික්ය. මේ වන විට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තරමට මෙරට මිණි කැටවලට ලෝකයේ ඉහළ වටිනාකමක් තිබුණ ද ‘උණ්ඩියල්’ ක්‍රමයට වෙනත් නීත්‍යනුකූල නොවන ක්‍රම ඔස්සේ මැණික් වෙළෙඳාම කෙරෙන තෙක් මෙරට ආර්ථිකයට රටේ මැණික්වලින් උපරිම ආදායමක් නොලැබේ. එයින් ඩොලර් උපයනුයේ උණ්ඩියල් ක්‍රමයට මැණික් වෙළෙඳාම කරගෙන යන සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් පමණක් බව මැණික් කර්මාන්තයේ නියැළී සිටින බහුතරයගේ අදහසය. එමෙන්ම විශේෂයෙන්ම හොර පාරෙන් පිටරටට රැගෙන යනුයේ රත්නපුර, ඇළහැර ප්‍රදේශවල ගංගා, ඇළ, දොළවල නීති විරෝධීව කැණීම් කර සොයාගන්නා මිණි කැට බව ද වාර්තා වේ. එහෙයින් රට තුළ සිදු කෙරෙන නීති විරෝධී මැණික් කැණීම් සම්පූර්ණයෙන්ම නතර කරන්න මැණික් කර්මාන්තයේ බොහෝ දැවෙන ගැටලුවලට විසඳුම් ලැබෙන බව ද විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.

මෙරට මැණික් කර්මාන්ත අද වගේම අනාගතයටත් මෙලෙසින්ම පවත්වාගෙන යා යුතුය. එහෙයින් බඩගෝස්තරවාදීකම තිබූ පළියට, පොළවේ මැණික් සූරාගෙන අගාධයට වැටී තිබෙන මේ රටෙන් සොරාගෙන යෑම රට, ජාතියට කරන ද්‍රෝහිකමක් බව ද මතක් කර තැබිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment