STF‍ නිල ඇඳුම පිට වුණේ කොහොමද – පාසල් කැඩෙට් කණ්ඩායමක් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් ගිහින් !

10701

පොලිසියෙන් විමර්ශන
නිල ඇඳුම් මැසූ සාප්පුවේ හිමිකරු අත්අඩංගුවට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා

– STF අණදෙන නිලධාරි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ ටී 56 ගිනි අවි අතැතිව ගම්පහ ප්‍රධාන පාසලක කැඩෙට් කණ්ඩායමක් පෙළපාලියක (පෙරඩ්) පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07දා) විමර්ශන ආරම්භ කර ඇත.

STF‍ නිල ඇඳුම පිට වුණේ කොහොමද - පාසල් කැඩෙට් කණ්ඩායමක් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් ගිහින් !

STF අණදෙන නිලධාරි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක නිරත වූවන් මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. නිල ඇඳුම් ඇන්ද සිසුන් සමාජ මාධ්‍යවල (TikTok) පෙනී සිටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව නිල ඇඳුම් සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් ශිෂ්‍ය භටයින් සඳහා අනුමත කළ නිල ඇඳුම් කට්ටල දෙකක් නිර්දේශ කර තිබියදී හමුදාවක හෝ විශේෂ බළකායක නිල ඇඳුමක් පරිහරණයට අවසර දී නොමැති අතර මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවත් උසස් නිලධාරියෙක් පැවසීය.

ශිෂ්‍ය භටයින් සඳහා සරඹ පෙළපාලි හා පුහුණු කටයුතුවලදී පොයින්ට් 2.2 වර්ගයේ පතුරම්වලින් පමණක් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය වෙනම අවියක් නිකුත් කර ඇති අතර මෙම සිසුන් අත්වල ටී56 ගිනිඅවි රැගෙන සරඹ පෙළපාලියට සහභාගි වී සිටීම ගැටලුවක් බවත් ඔහු කීය. ස්වයංක්‍රීය ගිනි අවියක් ලබාදිය යුත්තේ පූර්ණ සංග්‍රාමික පුහුණුව ලත් ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට බවත් එම අවි පාසල් සිසුන්ට ලබාදුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමසා බැලිය යුතු බවත් ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සිසුන් භාරයේ තිබූ නිල ඇඳුම් පොලිස් භාරයට ගත් බවත් කිහිපදෙනෙකුගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කරගත් බවත්ය. සිසුන්ට ගිනිඅවි ලබාදීම නීත්‍යනුකූලව සිදුකර ඇති බවත් එම ගිනිඅවි නිෂ්ක්‍රීය කර පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සරඹ සංදර්ශනය සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකා කැලෑ නිල ඇඳුම 1983 බි්‍රතාන්‍ය හමුදාව විසින් පොලිස් විශේෂ කාර්ය බළකායට පුහුණුව ලබාදීමේදී ලබාදුන් එකක් බවත් ලෝකයේ බි්‍රතාන්‍ය හමුදාවේ SAS හමුදා කාණ්ඩයට අමතරව එම නිල ඇඳුම අඳින අනෙක් කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් බවත්ය. මෙම නිල ඇඳුමට ඉතා ගෞරව කරන බවත් යම් නිලධාරියෙකුට වසරකට නිල ඇඳුම් දෙකක් ලබාදෙන අතර යම් ඇඳුමක් පරිහරණයෙන් ඉවත් කරනවා නම් එය විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලැබීමට සලස්වා කතුරකින් කපා ගිනි තබා විනාශ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීවේය.

මෙවැනි නිල ඇඳුම් පිටස්තර පුද්ගලයින් අතට පත්වුවහොත් එමගින් ආරක්ෂක අංශ නොමඟ යවා යම් අපරාධයක් හෝ වෙනත් අකටයුත්තක් සිදුවිය හැකි බවත් එම නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිස්පතිවරයා දැනුවත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා, අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment