මේක සාමූහික වෑයමක් Music and Lyrics 2 සැප්:3 වැනිදා – ගී පද රචක නිලාර් එන්’ කාසිම්

80

වෙනස්වීම සිද්ධවෙන්න ඕනෑ ප්‍රමිතියක් ඇතුළේ

ශ්‍රී ලාංකේය ගේය පද රචකයන්ගෙන් සහ සංගීතවේදීන්ගෙන් සැදුම්ලත් SLALA සහ SLAMCADA දෙවැනි වරට සහෘද සමාජයට තිළිණ කරන පද සර නිමැවුම්කරුවන්ගේ විස්මිත ගී උල්පත Music and Lyrics 2 මියැසි අමාව එළැඹෙන සැප්තැම්බර් මස 3 වැනිදා සවස 6.45 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මේ ගැන ගී පද රචක නිලාර් එන්. කාසිම් අප සමග සංවාදයක නියැළුණා. පහතින් දැක්වෙන්නේ එහි පෙළගැස්මකි.

මේක සාමූහික වෑයමක් Music and Lyrics 2 සැප්:3 වැනිදා - ගී පද රචක නිලාර් එන්’ කාසිම්

Music and Lyrics 2 ප්‍රසංගය ගැන කතා කළොත්?

මේක සාමූහික වෑයමක්. මේ සඳහා ප්‍රධාන වශයෙන් සහභාගි වෙනවා ලංකාවේ ගීත රචකයන් නියෝජනය කරන ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය සහ සංගීත අධ්‍යක්‍ෂවරු නියෝජනය කරන ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන්ගේ සහ අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමය. මේ දෙක ඒකාබද්ධව තමයි ප්‍රසංගයක් පවත්වන්නේ. ඒක හින්දා මේක Music and Lyrics 2 කියලා නම් කළේ.

මේ වගේ ප්‍රසංගයක් පවත්වන්නේ ඇයි?

ගීතයක් තුළ ලොකු දායකත්වයක් දක්වන මේ පාර්ශ්ව දෙක ගැනම බොහෝ වෙලාවට අවධාරණය වෙන්නේ නැහැ. ගුවන්විදුලියෙන් සහ රූපවාහිනී මාධ්‍යයෙන් අපි ගීතයක් රස විඳිද්දී බොහෝවිට අමතක කරනවා ගීතයට මුල්වුණ රචකයා සහ සංගීතඥයා. ඒ හින්දා ඔවුන් ගීතයක් නිර්මාණය කරන අවස්ථාවේ ඇරුණුකොට ඊට පස්සෙ ගොඩක් වෙලාවට ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් ලබන්නේ නැහැ. එහෙම දුෂ්කරතාවට පත්වුණු රචකයන් විශාල පිරිසක් රටපුරා විසිරී සිටිනවා. මේ සියලුදෙනාගේම සුබසාධන වැඩපිළිවෙළක් සම්පාදනය කිරීම තමයි මූලික අරමුණ මේ සංගම් දෙකත් එක්ක එකතුවෙලා අපිට කීර්ති පැස්කුවල් මහත්මයා ලොකු පිටුබලයක් ලබාදෙනවා.

මේක සාමූහික වෑයමක් Music and Lyrics 2 සැප්:3 වැනිදා - ගී පද රචක නිලාර් එන්’ කාසිම්

● මේ ප්‍රසංගය පවත්වන්නේ කවදා ද? කොහේද කිව්වොත්?

මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 03 වැනිදා නෙළුම්පොකුණ රඟහලේදී. මේ සඳහා ගායක ගායිකාවන් 20 දෙනෙක් ගීත ගායනා කරනවා. මේ ප්‍රසංගයේ තිබෙන විශේෂත්වය තමයි සංගීත අධ්‍යක්‍ෂවරු පස්දෙනෙක් මේ ප්‍රසංගය මෙහෙයවනවා. ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, නාලක අංජන කුමාර, සුසිල් අමරසිංහ වගේ පස්දෙනකු තමයි මෙහෙයවන්නේ. ඒ වගේම ගීත රචක පූරකයන් පස්දෙනකු ද මෙහි දී ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමන් අතාවුදහෙට්ටි, බන්දුල නානායක්කාරවසම්, කැලුම් ශ්‍රීමාල්, මනුරංග විජේසේකර සහ මම දායකත්වය ලබාදෙනවා. ඇත්තටම අපි හැමෝගෙම දායකත්වය ලබාදෙන්නේ සත පහකවත් මූල්‍යමය ප්‍රතිලාභයකින් තොරවයි.

මේ වගේ කාලයක ප්‍රසංග වලට ලොකු පිරිසක් ඒවි කියල විශ්වාසයක් තිබෙනවාද?

අපි පසුගිය වර පවත්වපු ප්‍රසංගය ගත්තම සමාජ මාධ්‍යවල සහ පුවත්පත් කිහිපයක ලිපි කිහිපයක් ගියා විතරයි. එතැනින් එහාට ලොකු ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළේ නැහැ. එහෙම තිබිලත් සති දෙකකට කලින් ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන් වුණා. මේකෙන් තේරෙන්නෙ හොද ගීත වලට ප්‍රමිතියෙන් යුතු ප්‍රසංගවලට ලොකු ප්‍රතිචාරයක් තිබෙනවා කියලයි. රසිකයෝ යහපත් ගීත රසවිඳීම පිළිබඳව ලොකු පිපාසයකින් පෙළෙනවා. එහෙම රසික පිරිසක් රට පුරාම විසිරිලා සිටිනවා. ප්‍රශ්නය තියෙන්නෙ ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රසංග හෝ ගීත රසවිඳින්න අවස්ථාව නොලැබීම. රසවින්දනය කියන එක මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක්. ඒ සඳහා තිබෙන අවස්ථා හිඟකම හැම ක්‍ෂේත්‍රයකදීම දකින්න පුළුවන්. මේ වගේ හොඳ ප්‍රසංගයක් කරනවා නම් ප්‍රේක්‍ෂකයන් එතැන ඉන්නවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ.

● ගී පද රචකයන් හා සංගීත අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න හිතුවෙ, ඔවුන්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා හිතල ද ?

දියුණු රටවල වගේ කර්තෘ අයිතිය හෝ හිමිකම් ප්‍රදානය වෙන වැඩපිළිවෙළවල් අපේ රටේ පසුගිය දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් දැන් තමයි ඒ දේවල් සඳහා විධිමත්ව අත්වාරුව ලැබෙන්නේ. මම හිතන්නේ අපිට ඒ නිසාම ජාතික වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනකම් අපිට වගකීමක් තිබෙනවා, අපේ ශිල්පීන්ගේ සුභසාධනය ගැන සොයා බලන්න සහ අත්වැලක් සපයන්න. අනෙක් පැත්තෙන් අළුත් ශිල්පීන්ට කිසියම් විදියක උත්තේජනයක් ලබාදෙන්න. මේ කාර්යය අපිට රජයකින් කරනකම් බලන් ඉන්නත් බෑ. අපිට හුදෙකලාව කාටවත් කරන්නත් බැහැ. ඒ නිසා අපිට සාමූහික එකතුවකින් ශක්තියකින් ඒ සඳහා කිසියම් දායකත්වයක් සම්පාදනය කරන්න හැකියාවක් තිබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා.

● Music and Lyrics වර්තමානයේ ගමන් කරන ප්‍රසංග රැල්ලේම ආරයේ ප්‍රසංගයක් ද?

නැහැ, මේක ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඇත්තටම මෙතැන අපි ගීතයටයි මුල්තැන දෙන්නේ. නර්තනය, රංගනය වගේ දේවල් මේ ප්‍රසංගයට අන්තර්ගත වෙන්නේ නැහැ. ගීතයක මූලික ගුණාංග ආරක්‍ෂා කරගනිමින් අපි සංයුක්ත තැටියක හෝ වෙනත් තැටියක ගීතයක් රසවිඳපු ආකාරයටම නොවෙනස්ව මේ ගීත රසවිදින්න අවස්ථාව සම්පාදනය කිරීම තමයි අරමුණ වෙන්නේ. ලංකාවේ ප්‍රවීණ වාi වෘන්දයක් වන මහින්ද බණ්ඩාර ඇතුළු වාi වෘන්දය ඒ සඳහා දායක වෙනවා. ගායක ගායිකාවන් 20 දෙනකු මේ සඳහා සහභාගි වන හින්ද ප්‍රේක්‍ෂකයන්ට ප්‍රසංග පහක් දහයක් එකතැනකින් නැරඹුවා හා සමාන වින්දනයක්, අත්දැකීමක් මේ තුළින් ලබාගන්න හැකියාවක් තිබෙනවා.

● වර්තමානයේ පවතින ප්‍රසංග කලාව ගැන මොකද හිතන්නේ?

කාලානුරූපීව ඕනෑම කලාංගයක් වෙනස් වෙන්ට ඕනෑ. හැබැයි වෙනස්වීම සිද්ධ වෙන්න ඕනෑ ප්‍රමිතියක් ඇතුළේ. වර්තමාන නව පරපුරේ ප්‍රසංග තුළ පවා තිබෙන ගති ලක්‍ෂණ අළුත් පරම්පරාවේ රිද්මයන්ට අනුකූලව හැඩගැසුණු එකට කිසිම ගැටලුවක් නැහැ. සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ ගීතය කියන කාරණය මුල්කරගෙන නේ. සමහර ප්‍රසංගවල ඉදිරිපත් කරන ආකාරය අනුව හුදෙක් සද්ද ගොඩක් මිසක් ගීතය අපිට ගීතයක් විදිහට විඳින්න නැතිවෙන අවස්ථා තිබෙනවා. කාලානුරූපීව වෙනස් වන එක ගැන ගැටලුවක් නැහැ. බැහැයි ඒ තුළ කිසියම් සංයමයක් තිබෙනවා නම්, ප්‍රමිතිගත තත්ත්වයක් තිබෙනවා නම් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික අදහස.
දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment