ඉන්දියාවේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනවා – ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ නව සභාපති මහාචාර්ය චන්න ජයසුමන

46

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. එම සංසදය සඳහා නව නිලධාරී මඬුල්ලක් තෝරා පත්කරගැනීම සඳහා පෙරේදා (25 දා) පාර්ලිමේන්තුවේදී පැවති මංගල රැස්වීමේදී මෙම තෝරා පත්කර ගැනීම සිදුවිය.

එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.

තවද සංසදයේ සම කැඳවුම්කරුවන් ලෙස වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ද තේරී පත්වූහ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ අභිනව සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. එසේම වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ඉටුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ නව සභාපතිවරයා එම තනතුරට වෛද්‍යවරයකු පත්වීම පිළිබඳව සතුටු වන බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment