ලෝකයේ කිසිඳු රටක් ලබානොදුන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම රජයේ විප්ලවීය පියවරක්

65

මහවැලි ජනපදිකයන් වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයේදී ජනපති කියයි

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

රටේ ගොඩනැනෙ ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය. මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

සියලු‍ දෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන්නැයිද සියලු‍ පාර්ශ්වවලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු 204,002ක් සකස් කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට සියලු‍ම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතී. ඒ අනුව මැයි මාසය අවසන් වන විට සින්නක්කර ඔප්පු 20,178ක් මහවැලි ජනපදිකයන් වෙත බෙදාදීමට සැලසුම් කර තිබේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සී,

මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීම මෙහිදී සිදු විය. ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්ම මහත්මීන්ද උත්සව සභාව අමතා කථා කළ අතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment