කුමන්ත‍්‍රණය ගැන කියන්න ආණ්ඩුව බයද? – සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා

148

දප්පුල ද ලිවේරා කීව දේ ගැන උනන්දු නොවන්නේ ඇයි?

අපට සාධාරණ සැකයක් තියෙනවා සහරාන්ලා ආරක්ෂා කළා කියලා

පාර්ලිමේන්තුවේදී කී දේවල් ගැනත් නොසලකා හැරලා

පාස්කු ප‍්‍රහාරය එල්ලකර මේ වන විට වසර දෙකහමාරක පමණ කාලයක් ගතවී ඇතත් මේ දක්වා ඒ පිළිබඳව යුක්තිය ඉෂ්ට නොවූ බව කතෝලික ජනතාවගේ ස්ථාවරය වී තිබේ. එම චෝදනාව කරනු ලබන්නේ කුමන කරුණු කාරණා පදනම් කරගෙනද යන්න අප සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමාගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳව පියතුමා ඉදිරිපත් කළ කරුණු කාරණා මෙසේය.

ප‍්‍රශ්නය – පියතුමා මෙන්ම කාදිනල්තුමාත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සඳහන් කිරීමේදී මේ දක්වා යුක්තිය ඉටුනොවූ බව නිරන්තරයෙන්ම සඳහන් කරනවා. එම චෝදනාව කරන්නේ කුමන කරුණු පදනම් කරගෙන ද?

පිළිතුර – ප‍්‍රධානම කාරණය තමයි පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා කොමිෂන් සභා දෙකක් සහ තවත් කමිටුවක් පත්කර තිබීම, මේ කමිටු තුනම වාර්තා තුනක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් කාදිනල්තුමාටත් තවත් පිටපතක් පාර්ලිමේන්තුවටත් භාරදී තිබෙන අතර එම වාර්තාවේ සම්පූර්ණ වොලියුම් ප‍්‍රමාණය ජනාධිපතිතුමාට භාරදී තිබෙනවා. ජනාධිපතිතුමා එම සම්පූර්ණ වාර්තාව නීතිපතිතුමාට භාරදුන්නු බව කියනවා.

එම කොමිෂන් සභා පත්කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා. එම කොමිෂන් සභා විසින් ඉදිරිපත් කළ නිර්දේශ ගණනාවක් තිබෙනවා. එම නිර්දේශ කි‍්‍රයාත්මක නොකර පැත්තකට දාලා තිබෙනවා. අපි කියන්නේ එම නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියන එක. බොහොම පැහැදිලි සාධක ඇතිව තමයි එම නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒවා කි‍්‍රයාත්මක කරන්න බැරිකමක් නැහැ. ඒවා කි‍්‍රයාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ.

ඒ වගේම පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. එම විවාදයේ දී මතුවූ කාරණා කිහිපයක්ම තිබෙනවා. එම කාරණා පිළිබඳවත් විමර්ශනය කළ යුතුයි. ඊට අමතරව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ප‍්‍රකාශ කර තිබෙනවා මේ පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙන බව, අපි අහන්නේ එම ප‍්‍රකාශය පිළිබඳව සොයාබැලීමක් කළා ද? එම සියලූ කරුණු කාරණා පිළිබඳව සොයා බැලිය යුතුයි. නමුත් මේ දක්වා එය ඉටුවී නැහැ. අපි කියන්නේ මෙම ප‍්‍රහාරය පසුපස තිබෙන සත්‍යය සොයාගන්න පුළුවන් කියන එක තමයි. එය මේ දක්වා ඉටුවී නැහැ. එම නිසා තමයි යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාදයි කියලා අපි කියන්නේ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව චේතනාන්විතව යුක්තිය ඉෂ්ඨ කිරීම ප‍්‍රමාද කරන බවටද ඔබතුමන්ලා චෝදනා කරන්නේ?

පිළිතුර – මෙහෙමයි. පවතින ආණ්ඩුව විසින් තමයි මේ රටේ නීති ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුත්තේ. ඒ වගේම ආණ්ඩුව යටතේ තමයි පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ආයතන තිබෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව විමර්ශනය කළ සෑම වාර්තාවක්ම භාරදී තිබෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා විසින් එම වාර්තාව නීතිපතිවරයාට භාරදී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ ස්වාධීන ආයතනයක්, ඔවුන් ජනතාවට වගකියන්න ඕනි. ආණ්ඩුවට මේ පිළිබඳව සොයා බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒක කරන්න පුළුවන්. ආණ්ඩුව අනෙක් දේවල් කරනවානේ. අපි අහන්නේ ඇයි මේක කරන්න බැරි? එහෙම කතා කරද්දී හිතෙනවා ආණ්ඩුව මේක චේතනාන්විතව මගහරින බව.

ප‍්‍ර‍්‍රශ්නය – පසුගිය දිනක ජනාධිපතිතුමා සඳහන් කළා අධිකරණ කටයුතු අවසන් වන තුරු සිටිය නොහැකි නම් චෝදනා එල්ල වී ඇති අයට පාර්ලිමේන්තුවෙන් ද`ඩුවම් ලබාදිය හැකි බව. එම ප‍්‍රකාශය පිළිබඳව කියන්න තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – එහෙම දෙයක් කරනවා නම් යළිත් කොමිෂන් සභාවක් පත්කළ යුතුයි. එහෙම නම් යළිත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරලා එයින් නිර්දේශ ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එම නිර්දේශ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතුයි. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන්නේ පක්ෂ කිහිපයක් එක්වීමෙන් පසුවනේ. එම නිසා තුනෙන් දෙකක් ලබාගැනීම එතනදී දේශපාලන කටයුතක් බවට පත්වෙනවා.

අපි කියන්නේ ඒක නෙවෙයි. අපි කියන්නේ අධිකරණය දක්වා යන කි‍්‍රයාවලිය කරන්න කියන එක තමයි. අපි මේ වන විට වසර දෙකහමාරක් ඉවස ගෙන ඉඳලා තිබෙනවා. අපි එහෙම සිටියේ පාර්ලිමේන්තු විවාදයක් සහ කොමිෂන් සභා තුනක වාර්තා ප‍්‍රකාශයට පත්වී තිබියදී තමයි. කොමිෂන් සභාවල නිර්දේශ තිබෙන නිසා එම නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ.

ප‍්‍රශ්නය – ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සහරාන්ගේ බිරිඳගෙන් සාක්ෂි විමසීමට සූදානම් වූ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ඊට විරෝධය පළ කළා. නව්ෆර් මවුලවීගෙන් සාක්ෂි විමසීමට එම කොමිෂන් සභාවට නොහැකිවූයේත් එම හේතුව නිසාම වියයුතුයි. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ දප්පුල ද ලිවෙරා මහතා, එසේ තිබියදී විශ‍්‍රාම යෑමෙන් පසුව ඒ මහතා කුමන්ත‍්‍රණ ගැන කතා කරලා පළක් තිබෙනවා ද?

පිළිතුර – මම කියන්නේ මේකයි, දප්පුල ද ලිවේරා මහතා තමයි මේ රටේ සිටිය නීතිපතිවරයා. එම නිසා අපි කාටත් වඩා මේ පිළිබඳව තොරතුරු තිබුණේ ඒ මහතා ළඟ තමයි. කාදිනල්තුමාටත් පාර්ලිමේන්තුවටත් ලබානොදුන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණයෙන් තිබුණේ ඒ මහතා ළඟ තමයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් කරන ලද විමර්ශන වල වාර්තා තිබුණෙත් ඒ මහතා ළඟ තමයි. ඒ අනුව ඉතා පැහැදිලියි අපි සියලූ දෙනාටම වඩා තොරතුරු ඒ මහතා ළඟ තිබුණා කියන එක. ඒ සියලූ තොරතුරු අධ්‍යයනය කළ පුද්ගලයා යම් ප‍්‍රකාශයක් කරනවා නම් එම ප‍්‍රකාශය ඉතා බැ?රුම් ප‍්‍රකාශයක් බවට පත්වෙනවා, ඒවා අපි විශ්වාස කරනවා. මොකද ඒ මහතා තොරතුරු තබාගෙන කතා කරන බව අපි දන්නා නිසා.

එම නිසා තමයි අපි කියන්නේ එම ප‍්‍රකාශය පිළිබඳව සොයා බලන්න කියලා. ඒ වගේම ඒ පිළිබඳව ඒ මහතා සමග සාකච්ඡා කළ යුතුයි. මොකද ඒක බරපතළ ප‍්‍රකාශයක්.

ප‍්‍රශ්නය – දප්පුල ද ලිවේරා මහතා කළ එම ප‍්‍රකාශය පිළිබඳව මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයක් හෝ ලබාගෙන නැහැ. ඒ පිළිබඳව පියතුමාගේ අදහස කුමක්ද?

පිළිතුර – අපිත් අහන්නේ ඒ ඇයි කියන එක තමයි.

ප‍්‍රශ්නය – කතෝලික සභාවේ පියතුමන්ලා කිහිප දෙනෙකුටම පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූ බව වාර්තා වනවා. එම අවස්ථාවන්ට පියතුමාත් සහභාගිවූවා ද? එම අවස්ථාවේ දී දැනගැනීමට ලැබුණු තොරතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිද?

පිළිතුර – එක් අවස්ථාවකට පමණක් මම සහභාගි වූවා. නමුත් එම අවස්ථාවේදී අපට තොරතුරු ලබාදුන්නේ නැහැ. සී.අයි.ඞී. එක අපට තොරතුරු දෙන්න බැඳිලා නැහැ. ඒ වගේම අපි තොරතුරු ලබාපොරොත්තු වූයේත් නැහැ. අපිට තොරතුරු ලබාදීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් අපි දන්නවා. ඇත්තටම අපි තොරතුරු බලාපොරොත්තු වූයේ නැහැ. අපි බලාපොරොත්තු වූයේ විමර්ශන කටයුතුවල ප‍්‍රගතිය දැනගැනීම පමණයි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා සමහර සිද්ධීන් පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කළ යුතු බව. එම සාකච්ඡාවේදී අපි විමසුවා එබඳු විමර්ශන කටයුතු සිදුකරවාද කියන එක පිළිබඳව. එහිදී අපට ලැබුණු පිළිතුර තමයි ඒ සඳහා ඔවුන්ට අවසරයක් ලැබිය යුතු බව. අපි අහන්නේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ කි‍්‍රයාවලිය ආරම්භ කරලා ද කියන එක තමයි.

ප‍්‍රශ්නය – කොමිෂන් සභාවල නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුය යන්න මෙන්ම සහරාන් පසුපස සිටිය බලවේගයක් පිළිබඳවත් පියතුමන්ලා අවධාරණය කරනවා. සහරාන් මෙහෙයවූ වෙනත් බලවේගයක් සිටිය බව ප‍්‍රකාශ කරන්නේ කෙසේද?

පිළිතුර – සහරාන් ඇතුඵ කණ්ඩායම ප‍්‍රහාරය එල්ල කළ බව කවුරුත් දන්නවා. 2009 පමණ කාලයේ සිට සහරාන් පිළිබඳ තොරතුරු තිබිල තියෙනවා. සූෆී මුස්ලිම්වරුන් ඔහු පිළිබඳව තොරතුරු ලිඛිතවම ඉදිරිපත් කරලා තිබෙනවා. ජනාධිපති කාර්යාලයට අගමැති කාර්යාලයට ආරක්ෂක අමාත්‍යාංශයට මොවුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැහැ. සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා නාලක සිල්වා මහතා වරෙන්තුවක් අරගෙන තිබෙනවා. එම කාලයේදීම තමයි ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කිරීම පිළිබඳව සඳහන් හඬපට වගයක් පිළිබඳ සිද්ධිය එළියට එන්නේ. ඒක විශාල කාරණයක්නේ. ඇයි ඒ පිළිබඳව විමර්ශනයක් නොකළේ. එම හඬපට කතාව පදනම් කරගෙන නාලක සිල්වා මහතා අත්අඩංතුවට ගත්තා. එම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තිබෙන්නේ සහරාන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දීතමයි. ඒ අවස්ථාවේදී සහරාන්ව අත්අඩංගුවට ගත්තා නම් මෙම සිදුවීම සිද්ධවෙන්නේ නැහැනේ.

එම නිසා අපට සාධාරණව සිතෙනවා සහරාන්ලා ආරක්ෂා කළ බව. සහරාන්ලා ශක්තිමත් කිරීමට කටයුතු කළ බව. එම නිසා තමයි අපිට සහරාන්ලා පසුපස කණ්ඩායමක් සිටිය බව සිතෙන්නේ.

ඒ වගේම අපේ‍්‍රල් 04 වැනිදා ලැබුණු තොරතුර ළඟ තබාගෙන සිටියා. එම තොරතුර ප‍්‍රහාරය එල්ල කළ දිනයට පෙර දිනත් ප‍්‍රහාරය එල්ල කළ දිනයේ උදෑසනත් යළිත් ලබාදී තිබෙනවා. අපි අහන ප‍්‍රශ්නය තමයි ප‍්‍රහාරයට අදාළ සියලූ තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාරය වළකා ගැනීමට නොහැකි වූවා නම් ඒක වරදක් නොවෙයි ද? එක අපරාධයක් නොවෙයි ද? මේක නිකම්ම මට අමතක වුණා කියලා කියන්න බැහැනේ. අපි දකින විධියට මෙම සිදුවීම යට මොකක් හරි තිබෙනවා. දප්පුල ද ලිවේරා මහතා කළ ප‍්‍රකාශයයි එම සිදුවීමයි එකට තියලා බැලූවහම අපිට පෙනෙනවා මෙතන මොකක් හරි තිබිලා තිබෙන බව. සිද්ධ වෙලා තිබෙන සෑම සිදුවීමක්ම අරගෙන බැලූවහම අපට පෙනෙන දේ ඒක තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පිළිබඳව හරි විමර්ශනයක් කරන්න කියලා. නමුත් ඒක කරන්නේ නැතිව නිලන්ත ජයවර්ධන මහතාට උසස් වීමක් ලබාදීලා තියෙනවා. සාමාන්‍යයෙන් පොලිස් සේවයේ දී ඔය වැනි චොදනා එල්ල වූ විට සේවය අත්හිටුවල පරීක්ෂණයක් සිදුකරනවා. නමුත් මෙතන දී සිද්ධ වෙලා තිබෙන්නේ උසස් වීමක් ලබාදීම. හිටපු ජනාධිපතිතුමා පිළිබඳව පැහැදිලි නිර්දේශයක් ලබාදීලා තිබෙනවා. එම නිර්දේශ කි‍්‍රයාත්මක නොකරන්නේ බලතුලනයේ වෙනසක් වේය යන බය නිසා ද? මෙවැනි කටයුතු සිද්ධ වෙන කොට සාමාන්‍ය ජනතාවට සැක සිතෙන්නේ නැද්ද ?

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩුව කාලයේ මෙන්ම ඊට පෙරත් සහරාන් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක නොවුන බවට චෝදනා තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් නීතිමය පියවර ගතයුතු බව නිර්දේශ කර තිබෙන අතර හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදී කි‍්‍රයාකාරකම් හමුවේ කටයුතු කර ඇති ආකාරය පිළිබඳව එම කොමිෂන් සභාව මවිතයට පත්වන බවත් සඳහන් කරලා තිබෙනවා. එබඳු පසුබිමක් තුළ පියතුමා සැක කරන්නේ කුමන පාර්ශ්වය විසින් සහරාන්ට උදව් උපකාර කළ බව ද?

පිළිතුර – මම සී අයි ඞී එකේ නොවෙයි නේ. මම කියන්නෙත් එක සොයන්න කියන එක තමයි. එක කළේ කවුරුන් විසින් ද කියන එක අපට අදාළ නැහැ. දේශපාලනය කියන කාරණය මෙහිදී අපට අදාළ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිබඳව කොමිෂන් සභාව නිර්දේශයක් ඉදිරිපත් කරලා නොමැති වීම පිළිබඳව අපත් පුදුමයට පත් වනවා. අපි කියන්නේ ඒක කොමිෂන් සභාවේ අඩුපාඩුවක්. රනිල් වික‍්‍රමසිංහ මහතා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙනවා නම් ඒක වැරදියි. අපි කියන්නේ ඒ පිළිබඳවත් සොයන්න ඕන කියන එක තමයි. අපිට අවශ්‍ය නැහැ කවුරුවත් බේරන්න. අපි කියන්නේ ඇත්ත කියන්න කියන එක තමයි. පුරවැසියන් ලෙස එක කියන්න අපට අයිතියක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි අරගල කරනවා.

ප‍්‍රශ්නය – සහරාන් යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උදව් කරලා තිබෙනවා. ඒ වගේම එම ආණ්ඩු කාලයේදී ඉස්ලාම් මූලධර්මවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවී තිබූ බවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිලි වනවා. ඒ වගේම සහරාන්ගේ සගයන් එම ආණ්ඩුව සමග ව්‍යපාරික ගනුදෙනු පවා කරලා තිබෙනවා. එම ගනුදෙනු වලින් ආණ්ඩුවට පාඩු සිද්ධ වෙලා තිබෙනවා. එම පසුබිම තුළ සහරාන් යහපාලන ආණ්ඩුව පරාජයට පත්කර මෙම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොම්බ පුපුරවාගෙන මැරුණු බව සමගි ජන බලවේගයේ සමහර මන්තී‍්‍රවරු කියනවා. එම ප‍්‍රකාශ විශ්වාස කිරීමට පුළුවන් ද?

පිළිතුර – ඒ අය එහෙම කියනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න කියලා තමයි මම කියන්නේ.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment