අලුත් අවුරුද්ද උදාවීමට ඔන්න මෙන්න කියා තිබියදී සමාජ දේශපාලන ක්ෂේත්‍ර තිගැස්සීමකට ලක් කළ දේශපාලන කාලබෝම්බයක් පිපිරී ගියේය. ඒ ශ්‍රීල.නි.ප.යේ සභාපති මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වූ මෛත්‍රීපාල සිරිසේනගේ එම සභාපති ධුරය වාරණයට ලක්කරමින් නිකුත් වූ අධිකරණ නියෝගයයි. ශ්‍රීල.නි.ප.යේම අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව ලබාදුන් එම වාරණය ලබන 18 වැනිදා තෙක් බලපාන බව ද සඳහන් විය. පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන මෛත්‍රීපාල වගකීම් විරහිතව ක්‍රියා කරන බව ද චන්ද්‍රිකාගේ පැමිණිල්ලේ සඳහන් විය. එපමණක් නොව, ඔහුගේ ක්‍රියාකාරකම් නිසා ජාතික ආරක්ෂාව බිඳ වැටීමත්, එහි විපාකයක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් චන්ද්‍රිකාගේ පැමිණිල්ලේ සඳහන් වූ මූලික චෝදනාවන්ය. කුමක් වුවත් චන්ද්‍රිකා අනපේක්ෂිත ලෙස මෛත්‍රීපාල අරභයා මෙබඳු පියවරකට තල්ලු වූයේ ඇයි? එය ශ්‍රීල.නි.ප.යට සුපුරුදු ගැටුම් හා බල අරගල නිසා උද්ගත වූවක්ද? වඩාත් විමතිය දනවන කරුණ වන්නේ ශ්‍රීල.නි.ප.යේ මූලිකත්වයෙන් සන්ධානයක් ගොඩනැඟීම සඳහා කතාබහක් පවා ආරම්භ වී තිබියදී මෙබඳු පසමිතුරු ප්‍රතිචාරයක් දැකගත හැකි වීමය. ඇතැම් ජනමාධ්‍ය විසින් මෙම පුවත වාර්තා කරන ලද්දේ මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ශ්‍රීල.නි.ප.යේ බලය අල්ලා ගැනීමක් ලෙසය.

ශ්‍රීල.නි.ප.මුල් පුටුව සියනෑ කෝරළේ රැජිනද?පොළොන්නරුවේ ගැමියාද?

ශ්‍රීල.නි.ප. ය යනු, එ.ජා.ප.ය මෙන්ම සෑහෙන පසුබෑමකට ලක්ව තිබෙන පක්ෂයකි. අමරවීරට අනුව ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තා මෛත්‍රීපාලය. අද අමරවීර මෛත්‍රීගේ ප්‍රබල දේශපාලන විවේචකයා බවට පත්ව සිටියි. එයට හේතුව ප්‍රතිපත්තිමය කරුණු ද නොඑසේ නම් මෛත්‍රී විසින් ඔවුන් සම්බන්ධයෙන් දක්වන දේශපාලන ප්‍රතිචාර ද යන්න නිශ්චිතව කිව නොහැක. එහෙත් අමරවීරත්, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායකත් ශ්‍රීල.නි.ප.යේ දැරූ නිලතලවලින් ඉවත් කිරීමට ගත් පියවර ඔවුන්ගේ අප්‍රසාදයට හේතු වූ බව නම් නිසැකය. මේ තිදෙනාම මෛත්‍රීගේ තීරණයට අභියෝග කර යළි ශ්‍රීල.නි.ප. මූලස්ථානයට පැමිණියහ.ඒ අධිකරණ තීන්දුවක් අනුවය. රූපවාහිනී නාළිකාවල ඒ සියල්ල වාර්තා කර තිබුණු අතර විශේෂයෙන් කැපීපෙනුණේ අමරවීරගේ ජයග්‍රාහී විලාසයයි. එසේම ඔහු පුවත්පතකට පවසා තිබුණේ මෛත්‍රීගේ නායකත්වය පක්ෂයේ ඇදවැටීමට හේතු වූ බවය. පක්ෂයට රස්තියාදුකාරයන් ගෙන ආ බවට ද ඔහු චෝදනා කරයි. එපමණක් නොව, ඔහුට අනුව චන්ද්‍රිකා මෙයට මැදිහත් වන්නේ සිය දෙමව්පියන් හැදූ පක්ෂය සුරැකීමටය.

කෙසේ වුවද මේ වනවිට ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂ දෙක වන එ.ජා.ප.ය මෙන්ම ශ්‍රීල.නි.ප.ය ද දැඩි පරිහානියකට ලක්ව තිබේ. අමරවීර එහි වගකීම මෛත්‍රීට පැවරුවත් පක්ෂය තුළ සිටිමින් දේශපාලන ගේම් ගැසූ කව්රුත් මෙහි වග උත්තරකරුවෝය. නිමල් සිරිපාල, මහින්ද අමරවීර පමණක් නොව, පක්ෂයේ එක් පයකුත් රනිල් සමඟ තවත් පයකුත් තබාගත් කීප දෙනෙක්ම ශ්‍රීල.නි.ප.යේ වෙති. ඔවුන් මේ ආණ්ඩුව සමඟ සිටින්නේ ද ශ්‍රීල.නි.ප.යේ ප්‍රතිපත්තිමය තීරණයට පයින් ගසමින්ය. ශ්‍රීල.නි.ප.ය එ.ජා.ප.යට පූට්ටු කිරීමේ ප්‍රයත්නය තුළ සිටින අයත් එයට එරෙහි වන අයත් යන දෙපිරිස අතර උද්ගතව තිබෙන විරසකය ශ්‍රීල.නි.ප.යේ අර්බුදයට හේතු වී තිබෙන බව මෛත්‍රී විසින්ම වේලාසනින් එම පක්ෂයෙන් ඉවත් කරන ලද දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වුවද ශ්‍රීල.නි.ප.ය යන,ු උපන්ගෙයි සිටම අර්බුද මැදින් ඉදිරියට ගමන් කළ පක්ෂයකි. 1951දී බණ්ඩාරනායක ශ්‍රීල.නි.ප.ය ගොඩනැඟුවේ ඩී.ඇස්. සේනානායකගේ දේශපාලන කඳවුරෙන් ඉවත් වෙමින්ය. බටහිර අධ්‍යාපනයත් උපතින් ලද රදල අභිමානයත් පසෙක දමා බණ්ඩාරනායක එලෙස ආරම්භ කළ ශ්‍රීල.නි.ප.ය මෙරටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 1956දී බණ්ඩාරනායක වමේ නායකයන් ද එකඟකරවාගෙන කොම්ප්‍රදෝරු ධනපතියන් ලෙස හැඳින්වුණු එ.ජා.ප.යට ඛේදනීය පරාජයක් අත් කර දුන් අයුරු ඉතිහාසයේ ලියැවී තිබේ. පනස්හයේ විප්ලවය ලෙස හැඳින්වෙන ඒ සමාරම්භය මෙරටේ දේශපාලන දිශාන්තිය වෙනස් කරන්නක් ද විය. එහෙත් එදා එලෙස ඇරඹුණු දේශපාලන ගමන ආපසු හැරවීමට සිදුවූ කුමන්ත්‍රණ හා ඝාතන පිළිබඳ අදත් වාද විවාද පවතී. එසේ වුවද ශ්‍රීල.නි.ප. නිර්මාතෘ බණ්ඩාරනායක ඝාතනය කිරීම මෙරටේ සිදුවූ ප්‍රථම රාජ්‍ය නායක ඝාතනය බව නිසැකය. බණ්ඩාරනායක ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ කැබිනට්ටුව තුළ සිදුවූ ක්‍රියාදාමය තුළින් තහවුරු වන්නේ ද ප්‍රතිගාමී බලවේග එදාත් සක්‍රීයව තිබුණු ආකාරයයි. ඉතා සැකෙවින් කිවහොත් බණ්ඩාරනායකගෙන් හිස් වූ අගමැති පුටුවට එවක ඇමැතිවරයකුව සිටි ඩබ්ලිව්. දහනායක පත්වීම ද තවත් කුමන්ත්‍රණයක් බව කියති.

බණ්ඩාරනායකගෙන් පසු අයාලේ යෑමට තිබුණු ශ්‍රීල.නි.ප.ය රැක ගැනීමේ එකම මාර්ගය එම පක්ෂ නායකත්වයට සිරිමාවෝ මැතිනිය පත් කිරීම බව බොහෝදෙනකුගේ අදහස විය. සිරිමාවන්ට දේශපාලනය සම්බන්ධයෙන් ඇල්මක් නොවූ අතර ක්‍රියාකාරි දේශපාලනයට පැමිණීමට ද මැතිනිය තුළ අපේක්ෂාවක් නොවීය. එහෙත් දෛවය විසින් විවර කරන ලද දොරටුව මඟහැර යෑමට ඇය අසමත් වූවාය. බණ්ඩාරනායක ඝාතනය කළ ප්‍රතිගාමී බලවේග සියල්ලම මැතිනිය කෙරෙහි දැක්වූයේ දැඩි නිර්දය බවකි. 1960දී ඇය ක්‍රියාකාරී දේශපාලන චරිතයක් වූවාය. සිරිමාවන්ගේ දේශපාලන මැදිහත්වීම එ.ජා.ප.යට මහත් හිසරදයක් වූවා පමණක් නොව, ඔවුන්ට සමීප සබඳතා තිබුණු ලේක්හවුස් පුවත්පත් මැතිනියට එරෙහිව නැඟූ අවලාද ඇතැම්විට ස්ත්‍රිත්වයට ද

නිඟාවක් විය. ඒ සියල්ල නිෂේධනය කරමින් 1960දී ඇය අගමැති ධුරයට පත්වූයේ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය ලෙස වාර්තාවක් ද තබමින්ය. ජගත් කාන්තා සංවිධාන ලංකාවේ දේශපාලනය පිළිබඳ ගාම්භීර ප්‍රශංසා එක් කරද්දී ඇගේ ප්‍රතිවාදීහු දුර්මුඛ වූහ.

ශ්‍රීල.නි.ප.මුල් පුටුව සියනෑ කෝරළේ රැජිනද?පොළොන්නරුවේ ගැමියාද?

1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය මෙන්ම 1971 තරුණ කැරැල්ල සාර්ථකව මැඬලීම සිරිමාවන්ගේ දේශපාලන භූමිකාවේ සිවිශේෂ මතක සටහන් විය. ශ්‍රීල.නි.ප.ය රැකගනිමින් විස්මිත දේශපාලන පෞරුෂයක් විෂද කළ සිරිමාවන්ගේ කාර්යසාධනයේ ගාම්භීරත්වය ප්‍රකට වූයේ මෙරටේ ප්‍රබලම වාමාංශික නායකයන් සමඟ 1970දී ඇය ලැබූ ජයග්‍රහණය නිසාය. මේ වනවිට ඉන්දියාවේ ඇතැම් දේශපාලනඥයන් විසින් කරළියට ගෙන එන ලද කච්චතිව් දූපත ලංකාවට අයිති කරගත හැකි වූයේද මැතිනියගේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාව නිසාමය. අප විසින් ඉතා සැකෙවින් දක්වන ලද්දේ ශ්‍රීල.නි.ප.යේ මූලිකත්වය ලබාදුන් ජයග්‍රහණ කීපයක් පිළිබඳවය. ඒවා සවිස්තරව දැක්වීම වෙනම ලිපියකින් කළ යුතුය.

කෙසේ හෝ එදා සිරිමාවන් විසින් එම පක්ෂයට ලබාදෙන ලද දායකත්වය ඉතා ප්‍රබල එකක් වූ අතරම ඇයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේග ද බොහෝ විය. ශ්‍රීල.නි.ප.ය දුබල කිරීමටත් මැතිනිය දේශපාලනයෙන් ඉවත් කිරීමටත් වැඩි කාර්ය භාරයක් ඉටු කළේ 1977න් පසු ජයවර්ධන පාලන සමයේදීය. මැතිනියගේ චරිතාපදානයෙහි ඒ පිළිබඳ සියල්ල වාර්තා කර තිබේ. (සිරිමාවෝ මලල්ගොඩ බන්ධුතිලක) ශ්‍රීල.නි.ප.ය ආරම්භයේ සිටම එක්ව සිටි මෛත්‍රීපාල සේනානායක, සී.පී. ද සිල්වා වැනි අය ඒ ශ්‍රීල.නි.ප. අවුල් ජාලවලට මැදි වූවෝය. මෛත්‍රීපාල සේනානායක සමඟ එක්වූ අනුර බණ්ඩාරනායක ද එදා ශ්‍රීල.නි.ප.යටත් තම මවටත් එරෙහි වීමෙන් තහවුරු වන්නේද ඒ මෙහෙයුම්වල ප්‍රබලත්වයයි. ජයවර්ධන පාලන සමයෙහි මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිකර තිබීම ද ඇයට එරෙහි වූ පිරිසට හොඳ හා සාධාරණ හේතුවක් ද විය. මේ පිරිසට ඇගේ පුත් අනුර බණ්ඩාරනායක ද එක්වීම කැපීපෙනුණි. මේ කණ්ඩායම හඳුන්වා ඇත්තේ ‘දහතුන් දෙනාගේ කල්ලිය’ ලෙසය. එසේ වුවද එම කල්ලියෙහි මෙහෙයුම් අවසන් වූයේ අනුර බණ්ඩාරනායක ආපසු සිය මව වූ මැතිනිය සමඟ එක්වීම නිසාය.

එදා ශ්‍රීල.නි.ප.යේ අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද එ.ජා.ප.ය බව මැතිනිය ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමත් සමඟ බණ්ඩාරනායක පවුලේ අය අතර ද යම් යම් ගැටුම් උද්ගත වී ඇත. චන්ද්‍රිකා හා අනුර මේ ගැටුම්වලදී දැක්වූ ප්‍රතිචාර පවා ශ්‍රීල.නි.ප.යේ අවාසියට හේතු වී ඇති ආකාරය අද ඒවා විමසා බලද්දී පෙනී යයි. එසේම අද මෙන්ම ශ්‍රීල.නි.ප. මූලස්ථානය අයිති කර ගැනීමේ මෙහෙයුම් එදාත් සිදුවී ඇත. වරක් සිරිමාවන් ප්‍රකාශ කර ඇත්තේ ද ශ්‍රීල.නි.ප.ය හදාගැනීම තමන්ට අයිති කාර්යක් බවත් ඒ සඳහා ජනාධිපති හා අගමැති (ජේ.ආර්. හා ප්‍රේමදාස) මැදිහත් නොවිය යුතු බවත්ය.

කෙසේ හෝ අද සිදුවන්නේත් එබඳුම දෙයක් යැයි අපට නිශ්චිතව කිව නොහැක. එහෙත් පක්ෂයෙන් නෙරපූ දයාසිරි ඍජුවම චෝදනා කරන පරිදි ශ්‍රීල.නි.ප.යේ සිටිමින්ම මේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන ඇමැතිවරුන් තුළ පක්ෂයේ සහාය ජනාධිපති රනිල්ට ලබාදීමේ අවශ්‍යතාවක් තිබිය හැකිය. එයට සභාපති ලෙස මෛත්‍රීගේ විරෝධය ප්‍රකාශවීම ඔවුන්ට ප්‍රශ්නයකි.

ඇත්ත වශයෙන්ම ශ්‍රීල.නි.ප.ය තුළ ඇති වූ බොහෝ ගැටුම් මතභේද පසුපස වැටී තිබුණේ එ.ජා.ප.යේ සෙවණැල්ල බව රහසක් නොවේ. වරක් එ.ජා.ප.යට පක්ෂ පුවත්පත්වල කතු වැකිවලින් පවා ප්‍රකාශ වූයේ, ශ්‍රීල.නි.ප.ය මෙන්ම වාමාංශික දේශපාලනය ද මෙරටින් අතුගා දැමිය යුතු බවය. එහෙත් වත්මන් දේශපාලන භූමිය තුළ ශ්‍රීල.නි.ප.ය මෙන්ම ඔවුන් සමඟ මිත්‍රශීලීව සිටි පැරණි වම ද බෙහෙවින් දුර්වල හා අක්‍රීය පක්ෂ බවට පත්වෙමින් තිබේ. එසේ වුවද ශ්‍රීල.නි.ප.යට තවමත් ඉදිරියට පැමිණීමේ ඉතා සුළු අවකාශයක් තිබෙන බවක් ද පෙනී යයි. ඒ සඳහා ශ්‍රීල.නි.ප.යට ප්‍රබල ප්‍රතිපත්තිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ ද වුවමනාය. චන්ද්‍රිකා මේ සඳහා නායකත්වයක් දෙනු ඇතැයි සිතිය හැකිද? ඇත්තටම අද තිබෙන සමාජ දේශපාලනයත් බහුතර ජනතාවගේ අපේක්ෂාවනුත් ප්‍රභූ දේශපාලන කඳවුර ලෙස හැඳින්වෙන රනිල් – චන්ද්‍රිකා මෙන්ම මහින් ද නියෝජනය කරනු ලබන පන්තියට එරෙහි වූවකි. ශ්‍රීල.නි.ප.ය හා එ.ජා.ප.ය යන දෙකටම ජනප්‍රසාදයක් ද නැත. මහින්දලාගේ දේශපාලන උරුමය බවට පත්ව තිබෙන පොහොට්ටුව කෙරෙහිද ජනතාවගේ විශ්වාසයක් නැත. පොහොට්ටුවේ සංයුතිය තුළ පොදු ජනතාව අතරින් නැඟුණු අය ස්වල්ප දෙනෙක් සිටිති. එහෙත් අද මහින්දලා සමඟ දේශපාලනය කළ පියවරුන්ගේ පුතුන්ගේ බැඳීම ඇත්තේ රනිල්ටය. රනිල්ගේ ඇමතිවරුන් ලෙස මෙන්ම රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්ව සිටින ඒ හැම කෙනකුටම හොඳ ඇමැති ධුර ලබාදීමට ද ජනාධිපති රනිල් පියවර ගෙන ඇත. ගෝඨාභය යුගයේ බතික්, මැටි වැනි විහිළුකාර ඇමැතිකම් නොදුන් ජනාධිපති රනිල්ට ඔවුන් සමීපවීම ද පුදුමයක් නොවේ. රාජපක්ෂවරුන්ට ලැබුණු සැලකිල්ල ද එදා කැපීපෙනුණි. තෙන්නකෝන්, විජේසේකර ආදී සුපිරි ශ්‍රී ලංකාකාරයන්ගේ පුත්තුන්ට රාජපක්ෂලාගෙන් ලැබුණේ අඩු තක්සේරුවකි. එසේම රාජපක්ෂවරුන්ගේ අණසකට නතු වූ බහුතරයක් අද ජනාධිපති රනිල් කෙරෙහි විශ්වාසය තබා සිටිති. මහින්ද සුළඟේ පෙර ගමන්කරුවකු මෙන්ම උපන්ගෙයි සිටම එ.ජා.ප. විරෝධියකු වූ ප්‍රසන්න රණතුංග අද නාමල් රාජපක්ෂ අනිසි ලෙස උඩට ගැනීම අනුමත නොකරයි. එළැඹෙන ජනාධිපතිවරණයට සුදුස්සා රනිල් බව ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ ද කාටත් කලින්ය.

මේ සියල්ල දෙස සීරුවෙන් බලා සිටි චන්ද්‍රිකාට පොළොන්නරුවෙන් පැමිණි මෛත්‍රීපාලට පාඩමක් ඉගැන්වීමට සිතුණේ නම් එහි පුදුමයක් ද නැත. මහින්දගේ සාක්කුවේ සිටි මෛත්‍රී ඉන් එළියට ගැනීමට පමණක් නොව ඔහුට විස්මිත දේශපාලන අගයක් ලබාදීමට ද චන්ද්‍රිකා නොපැකිළිව උපකාර කළාය. එහෙත් අද එහෙව් මෛත්‍රී ගානට වැඩිදැයි ඇය සිතුවා විය හැකිය. ඇය අධිකරණයට ගියේ මෛත්‍රීට එරෙහිව ප්‍රබල චෝදනා පත්‍රයක් පමණක් නොව, පක්ෂයේ ව්‍යවස්ථා නියෝග ද සිහිපත් කරමින්ය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුට දැරිය හැක්කේ පක්ෂයේ අනුශාසක ධුරය පමණක් බවද ඇය අධිකරණයට දන්වා තිබේ. මේ නීතියක් නම් එය මෛත්‍රීට එරෙහිව අකුරටම ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ බලය හිමි පාර්ශ්වයට බාධාවක් ද නැත. කුමක් වුවද මේ අන්තෝ ජටා – බහි ජටා ශ්‍රීල.නි.ප. අර්බුදය නිසි ලෙස සැලසුම් කළ එකක් බවද පැහැදිලිය. ජනමාධ්‍ය වාර්තා අනුව ශ්‍රීල.නි.ප.ය හැර පොහොට්ටුවට එක්ව සිටින කීපදෙනෙක් ද චන්ද්‍රිකාගේ මෙහෙයුමට එක්ව සිටිති. එපමණක් නොව, ශ්‍රීල.නි.ප.යේ අනුමැතියෙන් මහ ඇමැති ධුරවලට පත්ව පසුව පක්ෂය හැර ගිය පේෂල, තිසර වැනි අය ද යළි ඩාලි පාරට පැමිණ සිටියහ. මේ අනුව අපට පැහැදිලි වන්නේ ශ්‍රීල.නි.ප.යේ දේශපාලන අර්බුදය ලේසියෙන් නිමාවට පත් නොවන්නක් බවය. ජනාධිපති රනිල් මේ දේශපාලන අවුල් ගැන අවධානයෙන් සිටින බවද නිසැකය. ඇත්ත වශයෙන්ම ශ්‍රීල.නි.ප.යට විශාල ජන ප්‍රසාදයක් නැති වුවද එය තමන්ට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එය යහපත් නොවන බවද ජනාධිපති රනිල් දනී. මේ වනවිට රාජපක්ෂවරුන්ගෙන් ඉවත් වී සිටින කණ්ඩායම් කීපය තුළ වුවද නිශ්චිත දේශපාලන අරමුණක් ඇතැයි කිව නොහැක. පිරිසක් ස.ජ.බ.යට එක් වෙද්දී තවත් පිරිසක් වෙනම සන්ධාන ගතවීමේ සූදානමින් සිටිති. නාමමාත්‍රව හෝ තිබෙන ශ්‍රීල.නි.ප.ය ද එබඳු භේදවලින් උණුසුම් වීම රනිල්ගේ සමීපතමයන්ට ද අස්වැසිල්ලක් වනු ඇත.

ජනාධිපති රනිල් හා පොහොට්ටුවේ බැසිල් අතර සිදුවන සාකච්ඡා තීරණයක් නොමැතිව අවසන් වුවද බැසිල් තවදුරටත් උත්සාහ කරනු ඇත්තේ මහ මැතිවරණය පෙරට ගැනීමට බව නිසැකය. රාජපක්ෂවරුන් ප්‍රමුඛ කඳවුරට අත්විය හැකි දැඩි දේශපාලන අලාභය අවම කරගත හැක්කේ ද මහ මැතිවරණයකින් පමණක් බවද බැසිල් වටහා ගෙන සිටියි. ස.ජ.බ. හා ජා.ජ.බ. ලෙස ජනතා ආකර්ෂණයට ලක්ව තිබෙන දේශපාලනයට පරිබාහිරව ඉදිරිපත් වන තුන්වන කණ්ඩායමකට ලැබිය හැකි ජයග්‍රහණ ඉතා අවම බවද ඔවුහු දනිති. අනෙක් වැදගත්ම කරුණ වන්නේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කී දෙනකුට එළැඹෙන මහ මැතිවරණයේදී ජනතා ප්‍රසාදයක් ලබාගත හැකි ද යන්නය. රනිල්ගේ ජනාධිපති හයිය නිසා දේශපාලන සංවාදයට එක්ව සිටින හිටපු එ.ජා.ප. මැති ඇමැතිවරුන්ට ද ජනප්‍රසාදයක් තිබේ ද යන්නත් ගැටලුවකි. අද මේ සියල්ලන්ටම 2022 ජනතා විරෝධය මෙන්ම එයින් බිඳවැටුණු රාජපක්ෂ පාලනය පිළිබඳව ද අමතක වී තිබේ. පාර්ලිමේන්තුව මහලු මඩමක් වී තිබෙන බවට ඇති විවේචනය ද ඒ සමඟ ඇත.

ශ්‍රීල.නි.ප.යේ අර්බුදය කාට වාසිදායක ලෙස නිමවුවත් එයට ද දේශපාලන බලපෑමක් කළ නොහැක. අවුරුද්දට පෙර ස.ජ.බ.ය සමඟ සන්ධාන ගත වූ නිදහස් ජනතා සභාවේ ඩලස් හා චරිත තවමත් වෙනම සිටිති. විමල්, වාසු, උදය සමග තවත් සන්ධානයක් බිහිවිය හැකිය. එහෙත් සමස්තයක් ලෙස මේ සියල්ලන්ම මෙරටේ දේශපාලනයේ නිරතව සිටි අය විනා අලුත් චරිත ද නොවේ. ඒ කිසිවෙක් ගැන අමුතු හැඳින්වීම් අවශ්‍ය ද නැත. ස.ජ.බ.යේ සජිත් සමග ඉන්නේත් එ.ජා.ප.යෙන් කැඩී ආ පිරිසකි. ඒ අය හා රනිල් එක්කිරීමේ මෙහෙයුම ද ඇත. එහෙත් සජිත් ඉඳුරා පවසන්නේ තම පක්ෂය ධනවාදය හා අන්ත සමාජවාදයට අයිති නැති ජනතාවාදී පක්ෂයක් බවය. ඔහුගේ පක්ෂයේ සභාපති වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද ප්‍රශ්නයකි. ධනු පක්ෂයේ කටයුතු ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටියි.

මේ සියලු දේශපාලන ව්‍යාකූලත්වය මැද මැතිවරණ වේදිකාව කෙබඳු ස්වරූපයක් ගනු ඇද්ද? චන්ද්‍රිකාගේ භූමිකාව කුමක්ද? ශ්‍රීල.නි.ප.ය යළි බලගැන්වීමට ඇයට හැකිද? නැතහොත් මෛත්‍රී පාර්ශ්වය පවසන පරිදි පක්ෂයේ හිමිකාරත්වය ඔවුන්ටද? කොහොමටත් දේශපාලන කැලඹීම් ගැටුම් විසින් ඇති කරනු ලබන ව්‍යාකූලත්වය සැණකින් සමනය කළ නොහැකි බව නම් නිසැකවම සඳහන් කළ හැකිය. එ.ජා.ප. – පොහොට්ටු හවුලට ශ්‍රීල.නි.ප.යෙන් කොටසක් එක්විය හැකි බවද පෙනී යයි. ස.ජ.බ. සන්ධානයත් ජා.ජ.බ.යත් වෙන වෙනම දේශපාලන සිහින දකියි. මේ දේශපාලන අච්චාරුවලට ජා.ජ.බ.ය කිසිසේත් මැදි නොවන බවද අනුර කුමාරලා පවසති. ඒ අතරම අනුර -සජිත් විවාදය ගැනද රටේ දේශපාලන උනන්දුවක් ඇති සියල්ලෝම බලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment