‘අරගලයෙන්‘ පසුව පැවැත්වෙන පළමුවැනි ජාතික මැතිවරණය කුමක් වුවත් ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය එල්ල කරන අභියෝගය සුළුවෙන් තැකිය නොහැකි බව සමගි ජන බලවේගයේ (සජබ) සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අනතුරු ඇඟවිය.

මෙවර පාවෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 25-30 පමණ විය හැකි බව උපකල්පනය කළ හිටපු යුද හමුදාපතිවරයා, එම ජන්ද ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සහ අනෙකුත් ජන්ද සමඟ ජවිපෙ තම ජන්ද ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩිකර ගෙන ඇති බවට විශ්වාසය පළ කළේය. එතුමා පෙන්වා දුන් ආකාරයට මිට පෙර ජවිපෙට ජන්ද ලක්ෂ 5 පමණ තිබී ඇත.

ජවිපෙ වර්ධනය දැනට 2020 අගෝස්තු පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු ජන්දයේදී ආසන 145 ලබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට) සහ ආසන 54 ලබාගත් සජබට දේශපාලනික වශයෙන් තර්ජනයක් බවට අවධාරණය කළේය.

මෙවර ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය පළමුවෙන් පැවැත්වුවත් අනිවාර්යෙන්ම ජවිපෙ ප්‍රධාන බලවේගයක් බව අනෙකුත් පක්ෂ තේරුම් ගත යුතු බවට ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කළේය. මීට පෙර මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වූයේ නැති බව ඔහු අවධාරණය කළේය. කුමන ජන්දය මුලින් පැවැත්වුවත් කරට කර සටනක් බලාපොරොත්තු විය හැකි බව එතුමා ප්‍රකාශ කළේය.

කාන්තා සහ විශ්‍රාමික හමුදා සංවිධාන ජවිපෙ සාර්ථක ලෙස ගොඩනැගීම විමසා බැලිය යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයෙන් පහකළ ජනතා මෙහෙයුම සමඟ රටේම ඇතිවූ ආකල්පමය වෙනසද තේරුම් ගැනීමෙන් බව විශ්‍රාමික සිංහ රෙජිමේන්තු නිලධාරියා ප්‍රකාශ කළේය.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී) සහ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අතර ගැටුම සාකච්ජාවක් මාර්ගයෙන් විසඳා ගැනීමට අවස්ථාවක් නොමැත. ෆොන්සේකා සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතර පැවති ගැටුම්කාරී තත්ත්වය පුපුරා යෑමට හේතු වූයේ හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් දයා රත්නායක (2013-2015) සජබ බඳවා ගැනීමයි. ඒ සිදුවීම පසුගිය ජනවාරි 29 වන දින විය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් හමුදාපතිවරයා (2005-2009) මෙම ලියුම්කරු සමඟ පසුගියදා කළ සම්මුඛ සාකච්ජාවකදී අවධාරණය කළේ රාජපක්ෂවාදියෙකු වූ දයා රත්නායක පක්ෂයට බඳවා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. නමුත් එම ගැටුම්කාරී තත්ත්වය තුළ තමන් පක්ෂයෙන් ඉවත් නොවන බව ප්‍රකාශ කළ ෆීල්ඩ් මාර්ෂල්වරයා පෙන්වා දුන්නේ සජබ නායකත්වය තමන්ව සජබ නෙරපීම වැළැක්වීමට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවූ බවයි.

තමන් පක්ෂ සභාපතිවරයා ලෙස සජබ ට ද්‍රෝහී වූ නොමැති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පක්ෂ නායක ප්‍රේමදාසට සහ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු අනෙකුත් ප්‍රධානීන්ට චෝදනා කළේ දයා රත්නායකව පක්ෂයට ගැනීම සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීමට හෝ තමන් ඊට පළකළ විරෝධයට පක්ෂ නායකත්වය සංවේදී නොවුන බවයි.

මුළු සම්මුඛ සාකච්ජාව පුරාම ෆොන්සේකා අවධාරණය කළේ දූෂිත රාජපක්ෂ රජය නියෝජනය කළ කිසිවෙකු සජබ ට එකතු කර ගත යුතු නැති බවයි.

හතරවන ඊළාම් යුද සමයේදී නැගෙනහිර හමුදාවට නායකත්වය දුන් දයා රත්නායකට සජබ නව තනතුරක් පිරිනැමීම පමණක් නොව හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් දයා සඳගිරිට (ඔහුද විශ්‍රාම යෑමෙන් පසුව රාජපක්ෂ සමයේ රජයේ තනතුරක් දැරුවේය) සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේට (පොලිස් විශේෂ කාර්ය බළකායට අභීත නායකත්වයක් දුන්) පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම දේශපාලනික තීන්දුවකි. ඒ සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) සැලකිය යුතු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා බලවේගයක් ගොඩනැගීමට සමත් වී ඇති පසුබිමේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 නව ව්‍යවස්ථාව බලගැන්වූ පසුව ශ්‍රී ලංකා දේශපාලනයේ කිසිදු අවස්ථාවක මේ ආකාරයට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා බලවේගයක් ගොඩනගා නැත. දෙවරක් (1971 සහ 1987-1990) ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතින් ඉතාමත් කෲර ආකාරයට මර්දනයට ලක්වූ ජවිපෙ විශ්‍රාමික හමුදා බලවේගයක් ගොඩනැගීම සජබට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට) සැලකිය යුතු තර්ජනයකි. ඒ දේශපාලනික වශයෙන්ය.

කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජවිපෙ උපාය මාර්ගයට දේශපාලනිකව මුහුණ දීමට සජබට සහ පොහොට්ටු පක්ෂයට සිදුවී ඇත. පොහොට්ටු පක්ෂයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී ප්‍රකාශයට පත්කළ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය‘ කෘතිය ඉහළ හමුදා නායකත්වය තම රජය ආරක්ෂා කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් නගා ඇති අතිශය බරපතළ චෝදනාව විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට මෙන්ම තවදුරටත් සේවයේ නියුතු හමුදාවට බලපෑමක් කරන බවට අමුතුවෙන් කිව යුතු නැත.

ෆීල්ඩ් මාර්ෂල් පැවසුවේ තමන් දේශපාලනය පැමිණි දින සිට ඔහුගේ එකම ඉලක්කය වූයේ ශ්‍රී ලංකාව පිරිසිදු දේශපාලනය සංස්කෘතියකට තල්ලු කර, මේ රට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ එකට ගමන් කළ හැකි තත්ත්වයකට පත්කිරීම. ඔහු පැවසුවේ තමන් වසර 14 ක් දේශපාලනය කළත් එම කාලය තුළ රටට නායකත්වය දුන් කිසිවෙකුට නිවැරදි ඉලක්කයක් , දැක්මක්, කැපවීමක් සහ අරමුණක් නොමැතිවීම රට වර්තමාන තත්ත්වයට පත් කළ බවයි.

වසර 14 ක දේශපාලනය

අද වනවිට ත්‍රස්තවාදය පරාජය කළ ජයග්‍රාහී රට කිසිවක් කර කියා ගත නොහැකි අවාසනාවන්ත තත්ත්වයකට පත්වී ඇති බව පෙන්වා දුන් සජබ සභාපතිවරයා අවධාරණය කළේ එවැනි අවස්ථාවක තමන් ඉදිරි දේශපාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තමන් බරපතළ ගැටලුවකට පත්වී ඇති බවයි.

ලියුම්කරු නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජෙනරාල් රත්නායක පක්ෂයට ගැනීම සඳහන් කරමින් ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දුන්නේ ඔහු (රත්නායක) දූෂිත රජයක තනතුරු දැරීමට අමතරව තමන්ට එරෙහිව පැවැත්වූ යුද අධිකරණ දෙකක විශාල කාර්යභාරයක් කිරීම නිසා තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බවයි.

“රාජපක්ෂ ආණ්ඩුව රත්නායකව ජ්‍යෙෂ්ඨත්වය අනුව ස්ථාන 166 ගෙන් උඩට ගෙන යුද හමුදාවේ දෙවැනියා කර බරපතළ වරදක් කළා. අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ වරාය සභාපති ලෙස පත්වීම ලැබූ ඔහු ගෝඨාභය රාජපක්ෂගේ වියත්මගේද සාමාජිකයෙක්. ප්‍රධාන කථිකයෙක්,” බව පැවසූ ෆොන්සේකා පක්ෂ නායක ප්‍රේමදාස ගේ ප්‍රතිචාරයට ප්‍රබල විරෝධයක් දැක්විය.

එම ප්‍රතිචාරය කුමක්දැයි විමසූ විට, ෆොන්සේකා පැවසුවේ නායකතුමා එතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ලැබී ඇති බලය අභියෝගයට ලක්කරන ඕනෑම කෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ කළ යුතු බවත්, රණවිරු බලවේගයක් ගොඩනැගීමට බාධා කිරීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැති බවටත් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර ඇති බවයි.

ෆීල්ඩ් මාර්ෂල් අවධාරණය කළේ නායකතුමා පැවසූ ආකාරයට තමන් ඔහුගේ දෙමව්පියන්ට කිසිදිනක අසභ්‍ය වචනයෙන් බැන නොමැති බවයි. ඊට පසුව පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවට මාධ්‍ය කළ හෙළිදරව්වෙන් පසුව නීතිඥ උපදෙස් පරිදි සභාපති ධුරය සහ සංවිධායක තනතුරු ආරක්ෂා කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වූ බව මන්ත්‍රීවරයා පැවසීය.” ඒ මම පක්ෂයේ විනය කඩකර නැති නිසයි. දූෂිතයෝ ගෙන ඒමට එරෙහිවයි කතා කළේ. එවැනි තත්ත්වයක් යටතේ තමයි පක්ෂය වළක්වාලමින් උසාවි නියෝගයක් ලැබුණේ. මම කිසිසේත්ම පාක්ෂිකයන්ට ද්‍රෝහී වී නැහැ. එසේ ද්‍රෝහී වූයේ රාජපක්ෂ කණ්ඩායමේ පුද්ගලයන් පක්ෂයට ගත්ත මිනිස්සු. පාක්ෂිකයන් මට තිබෙන ලෙන්ගතුකම ගැන මට විශ්වාසයි. ඒ සම්බන්ධයෙන් සැකයක් නැහැ. ඒ නිසා මම පක්ෂයේ දිගටම රැඳිලා ඉන්නවා. මෑතකදී නායකතුමා ඍජුව මැදිහත් වී මහර පැවති ජන හමුවක් ඇමතීමට තමන්ට ලැබුන ආරාධනය ඉවත් කරගත් බව පක්ෂය දන්නවා.” නායකතුමා කටයුතු කරන්නේ උසාවි නියෝගයට එරෙහිව බව ෆීල්ඩ් මාර්ෂල් චෝදනා කළේය.

නොයෙකුත් දේශපාලන පක්ෂ විවිධ අදහස් පළකළත් සැප්තැම්බර් -ඔක්තෝබර්, 2024 කාලය තුළ නියමිත පරිදි පළමුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව, ෆීල්ඩ් මාර්ෂල්වරයා තම දැඩි විශ්වාසය පළ කළේය. ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය දැනට පළ කර ඇති ඉඟි අනුවත් ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වෙන බව ඔහු පැවසීය.

විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා 2010 ජනවාරි පැවැත්වූ ජනාධිපතිවරණයට තරග කළේ එවකට එජාප සහ විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයෙනි. තම 2009 ජුලි මාසයේ හමුදාපති ධුරයෙන් ඉවත් වී දින කීපයකට පසුව එජාප නායකයාගෙන් එම ආරාධනාව ලැබුණු බව ප්‍රකාශ කළ ෆීල්ඩ් මාර්ෂල්වරයා එම අවස්ථාවේ දැනට ජීවතුන් අතර නැති මංගල සමරවීරද සිටි බව මතක් කළේය.

වැඩිපුර ද්‍රවිඩ කතා කරන ජනතාව වාසය කරන උතුරු නැගෙනහිර මැතිවරණ දිස්ත්‍රික්ක සියල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළින්ම ජයග්‍රහණය කළත් එදා ෆොන්සේකා මහින්ද රාජපක්ෂට වැඩි ජන්ද ලක්ෂ 18 කින් පරාජය විය. එම පරාජයෙන් පසුව එජාපය එතුමාව අත හැරියේය. අවසානයේ ෆොන්සේකාට සිදුවූයේ මහා මැතිවරණයට ජවිපෙ නායකත්වය දුන් සන්ධානයකින් ඉදිරිපත් වීමටය. එම සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ජනතා ජන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු 5 අතර ෆොන්සේකාද විය. මහා මැතිවරණය 2010 අප්‍රේල්

8 පැවැත්වෙන අවස්ථාවේදී ෆොන්සේකා හමුදා අධිකරණයෙන් පැනවූ දඬුවම් අනුව බන්ධනාගාරගත කර සිටියේය. තේරී පත්වූ මන්ත්‍රීවරු 5 ට අමතරව ජාතික ලැයිස්තුවෙන් දෙදෙනකු පත්විය. එම දෙදෙනා අතර වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද විය.

සජබ නායක ෆීල්ඩ් මාර්ෂල් ගැටුමට හේතුව ජවිපෙ උපාය මාර්ගය?

පොහොට්ටු අපේක්ෂකයාට අවස්ථාවක් නැහැ

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහට එරෙහිව තරග කිරීමට සූදානම් දැයි විමසූ විට, ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දුන්නේ තමන් තවමත් එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති බවයි. පොහොට්ටු පක්ෂයේ සැලකිය යුතු පිරිසක් වර්තමාන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන බව ප්‍රකාශ කළ ෆොන්සේකා එවැනි තත්ත්වයක් තුළ පොහොට්ටු පක්ෂය තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ආණ්ඩු කණ්ඩායම දෙකඩ වන බවත් එම පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළේය.

කවුරු කෙසේ කීවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවමත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිශ්චිතවම ප්‍රකාශ කර නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් පැවසීය. ජනාධිපතිවරයා තමන් ස්ථිරයෙන්ම තරග කරන බව හෝ නොකරන බව තවමත් ප්‍රකාශ කර නොමැති අතර ජයග්‍රහණයය කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් පුරවා නිගමනයකට පැමිණි පසුව එතුමා තම ස්ථාවරය හෙළිදරව් කරනු ඇති බව මන්ත්‍රීවරයා පැවසිය.

‘අපි කවුරුත් දන්නවා එතුමා තුන්වරක් පොදු අපේක්ෂකයෝ ඉදිරිපත් කළා. 2010 මම, 2015 මෛත්‍රිපාල, 2019 සජිත්. සමහර විට එතුමාට ජයග්‍රහණය විශ්වාසය නොමැති නිසා එසේ කරන්න ඇති. මෙවරත් එතුමාට ජයග්‍රහණය සම්බන්ධයෙන් යම්කිසි දෙගිඩියාවක් තිබේනම් හතරවන වරටත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකියි. අපි දන්නේ නැහැ.”

එවැනි තත්ත්වයක් තුළ වික්‍රමසිංහ

ජනාධිපතිවරයාගෙන් ෆීල්ඩ් මාර්ෂල් ට නැවතත් ආරාධනාවක් ලැබීමට අවස්ථාවක් තිබේදැයි ප්‍රශ්න කළ විට එතුමා මෙසේ පැවසීය: “එහෙම දෙයක් සාකච්ජා වෙලා නැහැ. මම තාම සජබේ ඉන්නවා. මම පක්ෂයේ දෙවැනියා. පක්ෂයේ නායකතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දීලා තිබෙනවා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට. එම අනුමැතිය ප්‍රකාශ වූයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ලොකුවට සාකච්ජාවක් නොමැති අවස්ථාවක. අනෙකුත් රටවල අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරන්නේ ඊට අවශ්‍ය සමීක්ෂණ පවත්වලා. අවාසනාවකට අපේ රටේ එවැනි තත්ත්වයක් නැහැ.”

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවට ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කළේය. මෑතකදී මාතලේ පැවැත්වූ රැස්වීමකදී නාමල් රාජපක්ෂ ගේ නම යෝජනා කිරීම නැවත නැවතත් අවධාරණය කරන්නේ වර්තමාන තත්ත්වය තවමත් නිසියාකාරව තේරුම් ගැනීමට නොහැකි කණ්ඩායමක් පොහොට්ටු පක්ෂයේ සිටින බවයි.

ගෝඨාභයගෙන් ආ ආරාධනාව

රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබූ ආරාධනාවක් මත ෆීල්ඩ් මාර්ෂල් ජනාධිපති මන්දිරයේදී මුණ ගැසීම රහසක් නොවේ. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් පැයක් පමණ සාකච්ජා කළ පසුව ජනාධිපතිවරයා ෆීල්ඩ් මාර්ෂල්වරයාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට කළ ආරාධනාව ආන්දෝලනාත්මකය. ෆීල්ඩ් මාර්ෂල් මෙම ලියුම්කරු සමඟ පැවසුවේ එවැනි ආරාධනාවක් කිරීමට තමන්ට කැඳවීමක් කළානම් ඔහු එම සාකච්ජාවට නොයන බවයි. මෙම හමුවීම සිදුවන්නේ 2022 මැයි 09/10 රට පුරා ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව සිදු කළ පහර දීම් වලින් පසුවය. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා ෆොන්සේකාට ආරාධනාව කළේ සජබ නායක එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සහ එජාප නායක වික්‍රමසිංහට එම යෝජනාව කිරීමට පෙරය. එම සාකච්ජාවට සහභාගි වූ අනෙකුත් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම ෆ්ල්ඩ් මාර්ෂල් ප්‍රතික්ෂේප කළේය.

මෑතකදී ෆීල්ඩ් මාර්ෂල්වරයා වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනුවක නැතහොත් සාකච්ජාවක යෙදී සිටින බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේදී එතුමා අවධාරණය කළේ තමන්ට අයිති කාලයකට පෙර රජයේ භාරයට ගෙන ඇති සැලකිය යුතු මුදලක් නිදහස් කර ගැනීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට තුන්වරක් ජනාධිපතිවරයාව මුණ ගැසුන බවයි. ඒ ජනාධිපතිවරයා ලෙස නොව මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට අදාළ මුදල සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බව ප්‍රකාශ කළ ෆොන්සේකා හෙළිදරව් කළේ මහා බැංකු අධිපති, මුදල් ලේකම් සහ නීතිපති සමඟ ද මේ සම්බන්ධව සාකච්ජා කර ඇති බවයි. අවසන්වරට තමන් වික්‍රමසිංහ මහතාව හමුවූයේ පසුගිය පෙබරවාරි දෙවන සතියේ පාර්ලිමේන්තුවේ දී බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දුන්නේ එම කරුණම සම්බන්ධයෙන් නැවතත් එතුමාව හමුවීමට සිදුවිය හැකි බවයි.

ආණ්ඩුව රඳවා ගෙන ඇති මුදල ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට පසුව සිදුවී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉරිදා දිවයින විමසීමක් කළේ නැත.

ෆොන්සේකා පෙන්වා දුන්නේ තමන් රාජපක්ෂ කණ්ඩායම සමඟ හිත නොහොඳ වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වූයේ 2009 ඔහුව හමුදාපති ධුරයෙන් ඉවත් කර එම තනතුරට කිසිසේත්ම නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කිරීම බවයි. එම නිලධාරියා කවුරුන්දැයි ප්‍රකාශ කිරීමෙන් ෆීල්ඩ් මාර්ෂල් වැලකී සිටියේය. යුද පෙරමුණේදී වැරදි කළ පුද්ගලයෙකු වූ නව හමුදාපතිවරයා එම පත්වීම ලැබුවේ තමන්ගේ අණ පරිදි පරීක්ෂණයකට භාජන වී සිටින අවස්ථාවක බව ෆීල්ඩ් මාර්ෂල් අවධාරණය කළේය. එම පත්වීම අවධාරණය කළේ රාජපක්ෂ ආණ්ඩුව වැරදි පාරක ගමන් කරන බවත් එවැනි තත්ත්වයක් තුළ තමන්හට එම කණ්ඩායමේ තව දුරටත් රැඳී සිටිය නොහැකි නිසා එජාපයෙන් ලැබුන ආරාධනාව පිළිගත් බව පැවසීය.

2010 සහ 2015 ජනාධිපතිවරණයේදී ඇතිවූ පුළුල් දේශපාලන සංවිධානයක් ඉදිරියේදී ඇතිවිය නොහැකි බවට ෆීල්ඩ් මාර්ෂල් අනාවැකියක් පළ කළේය. එජාපය නායකත්වය දුන් එම සන්ධානයට ජවිපෙ, මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ ජාතික සන්ධානයද අයත් විය. වර්තමානයේ තුන්කොන් සටනක් ඇතිවී තිබෙන තත්ත්වය තුළ පෙර 2010 හෝ 2015 ආකාරයේ සන්ධානයක් ඇතිවිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.

අරගලය කුමන්ත්‍රණයක් ලෙස නම් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ ෆීල්ඩ් මාර්ෂල් පෙන්වා දුන්නේ විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරු දිගින් දිගටම කරන හමුදා සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ චෝදනා පදනම් විරහිත බවයි. වීරවංශ චෝදනා කළ පරිදි තමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට 2022 ජුලි 09 දින කතා කිරීමද කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වීම විහිළුවක් බව ප්‍රකාශ කළේය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment