දමිතාට සැමියාට ඇප – ආගමන විගමන පනත යටතේ ඉදිරියට ගෙනයන්න බෑ

205

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්ත මහත්මිය හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (24දා) නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇත්තේ කොරියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කිරීම බවත් එකී චෝදනාව ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනා නොවන බැවින් එකී පනත යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් දෙදෙනා දින 18කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර විමර්ශන සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී තිබුණ ද විමර්ශනවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බවට තම අධිකරණය නිරීක්‍ෂණය කළ බව ද මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරමින් පැවසීය. එම නඩු විභාගය පවරා ඇත්තේ ආගාමික හා විගාමික පනතේ 45 ඈ 1 වගන්තිය යතේ වන බැවින් සැකකරුවන්ට ඇප ඉල්ලා සිටිය යුත්තේ මෙම අධිකරණයෙන් නොව මහාධිකරණයෙන් බවත් අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීහු විමර්ශන අවසන්වී නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහි මූල්‍ය ගනුදෙනුව සිදුවී ඇත්තේ වාහන හුවමාරු කිරීමක් සම්බන්ධයෙන් මිස විදේශ රැකියාවක් ලබාදීමක් සම්බන්ධයෙන් නොවන්නේ යැයි අධිකරණයට පැවසූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ආගාමික හා විගාමික පනතේ ගැනෙන චෝදනා 18 අතරට පැමිණිල්ල පෙන්වාදී ඇති වරද නොගැනෙන බව ද අධිකරණයට පැවසිය. වංචා විමර්ශන අංශය යටතේ පැවැති විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය යටතේ යොමුකර ඇත්තේ පොලිස්පතිවරයාගේ අවශ්‍යතාවය මත වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන විමර්ශන අංශයක් යටතේ සිදුකරන ඕනෑම විමර්ශනයක් වෙනත් අංශයකට පැවරීමට පොලිස්පතිවරයාට නෛතික බලයක් ඇතැයි ද මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත්කරමින් පෙන්වා දුන්නේය. එම නඩුව ලබන මැයි 29 වැනිදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment