පුරාණ කාලයේ යෝධයින් පිළිබඳව පුරාවෘත්ත මෙන්ම ජනකතා ලෝකයේ නොයෙක් දෙසින් අසන්නට ලැබේ. ග්‍රීක ජන පුරාණයේ දෙවියන් හා සටන් වැදුණු ටයිටන්වරුන් මෙන්ම පුරාණ ස්කැන්ඩිනේවියානු තුෂර සහ ගිනි යෝධයන්ගේ ප්‍රබන්ධයන් එමටය. හුදෙක් මෙම ප්‍රබන්ධයන් නිර්මාණාත්මක ප්‍රබන්ධයන් පමණක්ම නොවන බව ඇතැමුන් මත පළ කරයි.

ලංකා ඉතිහාසයේ ද යෝධයින් පිළිබඳ විවිධ පුරාවෘත්ත මෙන්ම ජනකතා එමට ඇත්තේය. ලක් ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රමවත් අයුරින් යුද හමුදාවක් තැනීමේ ගෞරවය කාවන්තිස්ස රජුට හිමි වන්නේය. එතුමන් ගැමුණු කුමරුන් කුඩා අවධියේ දස මහ යෝධයින් ගෙන් සැදුම් ලත් චතුරංගී සේනාවක් පිහිටුවීමට තරම් දූරදර්ශී නායකයකු විය.

එතුමන් විසින් පිහිටුවන ලද යුද සේනාවේ ගෝඨයිම්බර, නන්දිමිත්‍ර, සුරනිමල, මහා සෝණ, මහා බරණ, වේළුසුමන, ථෙරපුත්තාභය, ලභියවසභ, ඛඤ්ඡදේව හා එුස්සදේව යන යෝධයින් දුටුගැමුණු රජතුමන්ගේ යුද්ධ සේනාව භාරව සිටි සෙන්පතින් දස දෙනා බව මහාවංශයේ දැක්වේ.

ව්‍යවහාරයේදී යෝධ යනු ශක්ති සම්පන්න බවින් හා විශාල බවින් යුත් පුද්ගලයකු හැඳින්වීමට යොදාගත් නාමයක් වන අතර යෝධ යනු යුද්ධ කරන්නා බව මහාවංශයේ අර්ථ දක්වා ඇත.

ලක් ඉතිහාසයේ යෝධයන් ගැන කතා කිරීමේදී බුලතා යෝධයා, සොළී රටේ මහා විකුම් පෑ ගජබා රජුගේ මහා යෝධයා වැනි යෝධයන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ වික්‍රමයන් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ.

ඉතිහාසයේ රජ පාලන සමය තුළ විකුම් පෑ එවැනි මහා යෝධයන් අතර අප්‍රකටව අප්‍රසිද්ධව ජීවත් වෙමින් රටට දැයට වැඩ කළ යෝධයන් ඕනෑ තරම් සිටින්නට ඇත.

එවැනි වූ ඉතිහාසයකට ලේ උරුමකම් කියන අපට දශක කිහිපයකට පෙර මෑත ඉතිහාසයේ අප්‍රකටව කල් ගෙවූ යෝධයකු සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන්නේ අහම්බෙනි. ඒ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි ජනශ්‍රැති පර්යේෂක ජනක තරංග ආරියරත්න මහතාගෙනි. වසර කීපයක් පුරා ඔහු ජනශ්‍රැතියන් පිළිබඳව සිදු කළ සොයාබැලීම්වලදී කුරණ ප්‍රදේශයේ වාසය කළ මහා බාලේ යෝධයා නමැති ශක්ති සම්පන්න පුද්ගලයකු පිළිබඳව වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගෙන ඇත.

ඔහු ලබා දුන් තොරතුරු ඔස්සේ අප කුරණ ග්‍රාමයට පැමිණියේ මහ බාලේ ජීවත් වූ නිවස සහ ඔහුගේ ලේ ඥාතීත්වයන් සොයා ගැනීමේ අරමුණිනි.

අවසානයේ මහ බාලේ ජීවත්වූ නිවස අපට හමුවිය. බැලූ බැල්මට අලුතින් ඉදි කෙරුණු නිවසක් ලෙස දිස් වුවද නිවසේ එක් පසෙක මැටි ගල් බිත්තියක් කියාපෑවේ එහි පැරැණි බවයි. වර්තමානයේ එහි හිමිකරු වන්නේ මහා බාලේගේ බාල පුත්‍රයකු වන වෙල්පිටියලාගේ චන්ද්‍රසේන මහතාය.

“අපි පවුලේ ඔක්කොම සහෝදරයෝ හත්දෙනයි අම්මයි තාත්තයි එක්ක නම දෙනයි. අපේ තාත්තා ගේ නම වෙල්පිටියලාගේ මහා බාලේ. තාත්තා ඉපදිලා තියෙන්නේ 1915 දී දැන් එයා මිය ගිහිල්ලා අවුරුදු පහළොවකට වගේ කිට්ටුයි.

පෙනුමටම හරියන කාය ශක්තිය

ඇතුන්ටත් බැරි වැඩ තනිවම කළ කුරණ ගමේ යෝධයා මහ බාලේ

තාත්තා අඩි හතක් විතර උසයි. හරි නිවුණු පුද්ගලයෙක්. හයියෙන් කෑකෝ ගැහුවේ නෑ. කවදාවත් අපිට නිය පිටින් පාරක් ගහලා නෑ. එයාට කේන්ති යනවා මම දැකලා නැහැ. එයාට පුදුම කාය ශක්තියක් තිබුණේ. එයා කරේ දැව ආශ්‍රිත රැකියාවක්. ඉස්සර කම්බි කණු කපන්න කැලේට යනවා. ගිහිල්ලා මිල්ල කම්බි කණු කපලා විසිපහක් විතර කරට ගන්නවා කන්දෙන් පල්ලෙහාට බහින කොට හැරමිට්ටට ගන්නේ මිල්ල කම්බි කොටයක්ම තමයි. එයාට ඒ තරම් ශක්තියක් තිබුණා. ඒ මට මතක ඇති කාලේ. හැබැයි තාත්තා ගැටවරයා කාලේ මතකයන් අපිට නැති උනත් ආච්චිඅම්මල කියලා තියෙන විදිහට තාත්තට පොඩි කොලුව සන්ධියේදී බත් කවලා තියෙන්නේ දොරමුල්ලේ හංගලාලු. ඒ කන විදිහට කාගේ හරි ඇස්වහ කටවහ වදියි කියලා. තාත්ත අපි පොඩිකාලේ හාල් සේරු තුනක විතර බත් කෑවා කියලා අම්මා කියනවා අපි අහලා තියෙනවා. තාත්තා අපි වගේ පිඟානක් නෙමෙයි පාවිච්චි කරේ. අපි මේසෙදි බත් බෙදාගන්න පාවිච්චි කරන ලොකු පළඟනාව තමයි එයාගේ පිඟාන. කෑම වගේ තමයි වැඩත්. මිනිස්සු පස් හය දෙනෙකුගේ වැඩ තනියම කරන්න පුළුවන්. අලියත් එක්ක හරි හරියට කොටන් අදිනවා. සමහර වෙලාවට අලියට බැරි කොටන් තාත්තා ඇදලා දීලා තියෙනවා කියලා දැකපු ගම්මු කියලා තියෙනවා.

පස්දෙනකුගේ කෑම වලට වග කියන හැටි

සමහර දවස්වලට තාත්තා මිනිරන් පතල්වල වැඩට යනවා. එදා තාත්තා මිනිරන් පතලට අලුතෙන් වැඩට ගිය දවස මිනිරන් පතලේ අයිතිකාරයා තාත්තව අඳුනන්නෑ. තාත්තා අනිත් මිනිස්සු විදිහට සාමාන්‍ය විදිහට වරුවක් වැඩ කරලා තාත්තට හොඳටම බඩගිනිවෙලා තාත්තා මිනිරන් පතලේ හිමිකරුගෙන් කෑම ඉල්ලලා. ඔහු තාත්තට වාඩියට ගිහින් කෑම බෙදාගෙන කන්න කියලා තියෙනවා. කන්න ගිය මිනිහා ගොඩක් වෙලාවට ආපු නැති නිසා පතල් හිමිය වාඩියට ගියාලු බලන්න යනකොට තාත්තා වැඩපොළේ පස් හය දෙනා වෙනුවෙන් හදලා තිබ්බ කෑම ටික ඔක්කොම බෙදාගෙන කනවලු. එතනට ආපු පතල් හිමියගෙ ඉහ මොළ රත්වෙලා තාත්තට බැණගෙන බැණගෙන ගියාලු. මිනිරන් උඩට ගන්න දබරේ කරකවන හතර දෙනාට කෑම දෙන්න විදිහක් නැතුව. කෑම නොමැතිව ඔවුන් වැඩ නොකරන බව පතල් හිමියා තාත්තට බනිනවලු. ඒත් තාත්තා මොකුත් ඇහුනෙ නැති ගාණට කෑම කනවලු. සද්ද නැතුව ඔක්කොම කාලා ඉවර කරපු තාත්තා සංසුන්ව මහත්තයා ඒ හතර දෙනාම කරන්නේ පතලේ මිනිරන් උඩට ගන්න දබරේ කරකවන එකද? ඔව් හතර දෙනෙක්වත් නැතුව ඒක උඩට අදින්න බෑ. පතල් හිමියාගේ කතාවට සිහින් සිනාවක් පෑ මහබාලේ ඒ හතර දෙනාගෙම පඩිය මට දෙනව නම් මම දබරේ කරකවන්නම් කිව්වලු.

සාමාන්‍ය මිනිහෙකුට එසේ කළ නොහැකි බව දැන සිටි පතල් හිමියත් පුළුවන් නම් කරකවලා පෙන්නපන් යැයි පවසා ඇත. ඒ වෙලාවෙ තාත්තා අමාරුවක් නැතුවම පතලේ දබරය තනිව කරකවමින් මිනිරන් පෙට්ටිය ඉහළට ගත්තාලු. ඉන් මවිතයට පත් පතල් හිමියා එදින පටන් හතර දෙනෙකුගේ පඩිය තාත්තට ලබාදීමට කටයුතු කළාලු.

වසර ගණනාවක් පුරා කුරණ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනශ්‍රැති පර්යේෂණවල නිරතව කටයුතු කළ ජනක තරංග ආරියරත්න මහතා ඔහු සම්බන්ධයෙන් සොයාගත් රස කතා සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඉස්සර මේ වගේ නෙමේ මේ අවට මඩකඩ මූකලාන වගේ ලොකු වනාන්තර තිබිලා තියෙන්නේ. ඒවායේ තිබුණා මිල්ල, බුරුත, නැදුන් වගේ දැව කපල මෝලට අදිනවා ඉරන්න. ඒවා ගොඩක් කරන්න හීලෑ අලි ඇතුන් යොදාගෙන තියෙනවා. මහ බාලේ මේ අලි ඇතුන් එක්ක හරි හරියට වැඩ කරලා තියෙනවා. මිනිස්සු දහ පහළොස් දෙනෙකුට උස්සන්න බැරි කොටන් අලියා එක පැත්තකින් අදිනකොට අනිත් පැත්තෙන් උස්සලා දීලා තියෙන්නේ මහ බාලේ.

එක දවසක් මහ බාලේ විසින් පෙරළා දැමූ මහ බුරුත කොටයක් කොටන් ඇදීමට ගෙනා අලියට උස්සා ගත නොහැකි තැන අලියාට තඩි බාන අලි බාස් දුටු මහබාලේ කෝපයට පත්ව අහකට ගනින් ඔය අලි නකුටා කියා අලියා පැත්තකට කර බුරුතු කොටය කරට ගෙන මෝලට රැගෙන ගොස් ඇත.

මේ හින්දම අලියට ගෙවන ගාණ වගේම මුදලක් මහ බාලට ගෙව්වා කියලා තමයි කියන්නේ.

මහ බාලෙ යෝධයට ගමේ කතා කරපු තවත් නමක් තිබිලා තියෙනවා. ඒ ‘අලියා’ කියලා. හැම වැඩක්ම අලියා වගේ තමයි කරලා තියෙන්නේ. ඒ වගේම පොළොවට බර අඩි තියලා ඇවිදින මහ බාලෙ එනකොට ඈත තියාම අඳුනගන්න පුළුවන් කියලා තමයි ගොඩක් උදවිය කියන්නේ.

මහ බාලෙ ගැන තොරතුරු ගවේෂණයේදී ඔහු සම්බන්ධයෙන් කියවුණු ප්‍රදේශයේ ජන කවියක් හමුවුණා. එහි මෙසේ කියවී තිබුණා.

කනකොට කන්නෙ පහකගේ බත එක වේලේ
කරකවමින් දබර අලියෙකි නොබැඳුණු ගාලේ
මිල්ල මහ කොටන් කර ඇති මහ බාලේ
සිටියා නම් රජ කළ සෙන්පතියෙකි රාළේ

මේ අපූරු ජනකවිය මහ බාලේගේ කාය ශක්තිය මොනවට කියා පාන්නේය.

ඇතුන්ටත් බැරි වැඩ තනිවම කළ කුරණ ගමේ යෝධයා මහ බාලේ

මහ බාලේ පිළිබඳව දත් මිනිසුන් තවමත් කුරණ ප්‍රදේශයේ සිටීම කාගේත් වාසනාවක් ඔවුන් තුළ මහ බාලේ ගැන රස කතා එමටයි. ඉස්සර කැලෑ කන්තෝරුවේ මහත්තුරු වනාන්තරවලින් දැව කපලා ප්‍රවාහනය කරන මිනිස්සුන්ව අල්ලන්න වැටලීම් කරනකොට මහ බාලෙව අල්ලන්න එන්නේ නැහැලු. ඇල්ලුවත් වැඩක් නැහැලු. කැලේ කන්තෝරුවේ මහත්තුරු එනකොටම කරේ තියෙන කොටේ බිමට දානවලු. හොරෙන් කොට අදිනවද කියලා ඇහුවහම කියනවලු මේ වගේ කොටයක් කොහොමද මිනිහෙක් අරගෙන යන්නේ කියලා හිනාවෙනවලු. කැලෑ කන්තෝරුවේ මහත්වරුන්ට කරගන්න දෙයක් නැතුව දාලා යනවාලු. ඒක නිසා පස්සේ පස්සේ මහ බාලේ කොටන් අදිනකොට කැලෑ කන්තෝරුවේ මහත්තුරු මගහැරලා යනවලු.

වහලවල් සඳහා අවශ්‍ය වන හයේ හතරේ අඩි විස්සකට වැඩි දිග කඳන් සැතපුම් පහළොව විස්ස දුර ගෙවා අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කර ඇති මහ බාලේ ගෙනයන ඇතැම් දැවකඳන් වහලට ගැනීමට මිනිසුන් දහ දෙනෙකුවත් යොදා ගත යුතුව ඇති බව ගම්මු කියන්නේය.

මහ බාලේ යෝධයා විසින් එහෙම්පිටින්ම ගස කපා එහි කරටිය සහ අතු සිඳ සැතපුම් හත අට දුර රැගෙන යන බව තමයි ගම්මු කියන්නේ.

සවිශක්තියට එහා ගිය මනුස්සකම

වාසනාවකට මෙන් මහ බාලේ යෝධයා ළඟින් ඇසුරු කළ පුද්ගලයන් තවමත් කුරණ ගම්පියසේ වසන්නේය. එම්. සෝමචන්ද්‍ර මහතා ඉන් කෙනෙකි.

මහ බාලේ මාමා කාටවත් කරදරයක් නැති කෙනෙක්. උස වගේම මහත පළල් උරහිස් පළල් හකු සහිත මුහුණක් වගේම මනාව රැවුල කපා සිහින් උඩු රැවුලක් සහිතව සෘජුව ගමන් කරන පුද්ගලයෙක්. සරමට සුදු බැනියමක් ඇදලා හැමතිස්සෙම කම්බි ලේන්සුවක් කරේ. සරම අඳින්නෙත් වෙනස් විදිහට එක සරමක් ඇඳලා ඊට උඩින් තවත් සරමක් මඩිස්සලයක් වගේ ඉස්සරහට බේරෙන්න ඇදලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. අත්දෙක පහත්කරාම දණහිසෙන් පහළට දිගයි සෙරෙප්පු දෙකක් දානවා මම කවදක්වත් දැකලා නැහැ. ඒ සයිස් එකට සෙරෙප්පු කොහෙන් හොයන්නද ඒ කාලේ. කකුල් දෙක සාමාන්‍ය මිනිස්සු දෙතුන් දෙනෙකුගේ කකුල්වලටත් වැඩිය ලොකුයි. ඇඟිලි කට අනිත් මිනිස්සුන්ට වැඩිය ගොඩක් විශාලයි. ඒක නිසා බත් කනකොට අහුරු පිටින් කන්නේ. බත් පළඟනාව විනාඩි පහට ඉවර කරනවා. කාටවත් එයත් එක්ක ඇවිදින්න බෑ අඩියට දෙකට යනවා. දුවන ගෝන්නු පස්සෙ ගිහිල්ලා කකුල් දෙකෙන් අල්ලනවා. දවසක් මනුස්සයෙක්ගෙ ගෙදරකට ලී වගයක් ඕන වෙලා බාලෙ මාමට කියලා තියෙනවා. ඒ ගමන බාලෙමාමා අඩි 11 ක් දිග දැවැන්ත මිල්ල කොටයක් උස්සන් ඇවිල්ලා වැට ගාවින් තියලා කිව්වලු ඔන්න මං ලීකොටේ ගෙනාවා දැං ඉතිං වැඩේ කොරගනිල්ලා කියලා. ඒක මිදුලට ගන්න මිනිස්සු හය හත් දෙනකුටවත් බැරි උනාලු. ඒ ගමන බාලේ මාමම ඒක අරන් දීලා යන්න ගියාලු.

මහ බාලේ ගැන ඔහුගේ බාලපුතු චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ තාත්තා නැති වෙනකොට අවුරුදු අනූ පහක් වගේ ඇති. එතකොටත් කරුංකා ගෙඩිය කටට දාලා කටස් ගාලා කඩනවා. එක දතක්වත් පණුවෝ කාල තිබුණේ නැහැ. වයස අවුරුදු අනූගාණ වෙනකොටත් එයාට හාල් සේරුවක විතර බත් කන්න පුළුවන්. එයා නැති වුණාට පස්සේ පෙට්ටිය පවා වෙනම හදන්න වුණා. පෙට්ටිය කනත්තට ගෙනියන්නත් වැඩි පිරිසක් ඕන වුණා.

හාල් සේරු තුනක බත් පළඟානක කා අලින්ටත් බැරි මහ ගස් අදිමින් ඉදිරි පරම්පරා ගණනකට මහත් වූ රස කතා ගොන්නක් ඉතිරිකර මේ මහා යෝධයා අප්‍රසිද්ධියේම නික්ම ගොස් අවසන්ය. ඔහුගේ පරපුරේ ලේ ඥාතීත්වයන් තවමත් ජීවත්ව සිටින්නේය. ඔවුන් මහ බාලේ තරම් නොවෙති. අද වනවිට මහබාලේ සිහිපත් වන්නට ඇත්තේ ඔහුගේ හැඳුනුම්පත බලා ඔහුගේ දරුවන් විසින් චිත්‍ර ශිල්පියකු ලවා ඇඳගත් ඡායාරූපයක් හා මැකී ගිය හැඳුනුම්පත පමණි.

මෙවැනි වූ අප්‍රසිද්ධියේ ජීවත්ව අප්‍රසිද්ධියේම නික්ම යන රට දැය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි යෝධ මිනිසුන් මේ පින් බිම තුළ තවත් සිටිය හැක්කේය. ඔවුන් සොයා ගැනීම ද රටකට ජයග්‍රහණයක් වන්නේමය.

නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment