මතයි – දුමයි නැවැත්වුවොත් ඩොලර් ඉතිරියි!…දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වෙලා…

468

මහ දහවලෙත් කොළඹ අහස කළුවර ය. හිමිදිරියේ සිට ඇඳ හැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් කොළඹ යටවීමට ආසන්නය. එහෙත් පිටකොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයකි.

‘බඩට කෑම නැතේ. ලෙඩට බෙහෙත් නැතේ. ඇඟට විසක් ඇතේ…’

‘දරුවන්ට බෙහෙත් නෑ. වැඩිහිටියන්ට බෙහෙත් නෑ. නොමරා මරණ දුම්වැටි තිබේ…’

අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු නහුතෙට නඟිද්දී දුම්වැටි, මත්පැන්වල බදු වැඩි නොකරන්නේ කාගේ උවමනාවට ද? විවිධ සටන්පාඨ සහිත දැන්වීම් පුවරු අතින් ගත් තරුණ තරුණියන්, වැඩිහිටියන්, භික්‍ෂුන්වහන්සේ විශාල පිරිසක් එම උද්ඝෝෂණයට එකතු වී සිටීහ.

මැයි 31 වැනිදා ලෝක දුම්වැටි විරෝධී දිනයට සමගාමීව මද්‍යසාර, දුම්වැටි, මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන එකමුතුවෙන් සංවිධානය කර තිබූ ඒ මහා උද්ඝෝෂණය මහ වැසි නොතකමින් පැය කිහිපයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්විණි. එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටි ‘මිතුරු, මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ මතින් රට විනාශ වන ආකාරයත්, පවතින ආර්ථික අර්බුදය තුළ වුවද මෙරට දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය පාවිච්චිය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති ආකාරය ගැනත් බරසාර දේශනයක් පැවැත්වූහ. වැස්සෙ ඝෝෂාව පරයමින් ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ කොළඹ රැව්පිළිරැව් දෙනවිට මගී ජනතාව, වෙළෙඳ සැල්වල සේවකයන් උන්වහන්සේගේ දේශනාවට සවන්පත් යොමුකර සිටි ආකාරය හරි පුදුම ය. මේ ඒ කතාව ය.

“අද ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර දුම්වැටි විරෝධී දිනය හඳුන්වා තිබෙන්නේ ‘දුම්කොළ පරිසරයට හානිදායකයි’ කියලා. එයින් අදහස් කෙරෙන්නේ භෞතික පරිසරය පමණක් නෙමෙයි, සතා සිව්පාවාගේ සිට මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්ම උදෙසා දුම්කොළ බරපතළ තර්ජනයක් වී තිබෙන බවයි. ඒ කතාව සමග අපිත් එකඟයි. දුම්කොළ භාවිතය අපේ රටටත් බරපතළ තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. පවතින ආර්ථික දුෂ්කරතාව හමුවේ වුවත් දුම්කොළ පරිභෝජනයේ කිසිදු අඩුවක් වෙලා නෑ. මත්පැන්, මත්ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඉඳිකටුවේ ඉඳලා සියලුම භාණ්ඩවල මිල අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙන පසුබිමක දුම්වැටියේ, මත්පැන්වල සැලකිය යුතු මිල වැඩි කිරීමක් කරලා නෑ. දුම්වැටි සමාගම්, මත්පැන්, බියර් සමාගම්වල කොටස් බලධාරීන්ට ලැබෙන නිසා එම ආයතනවලට එරෙහිව කටයුතු කරන්නත් බෑ. තිත්ත ඇත්ත ඒක තමයි…”

“මේ වෙනකොට අපේ රට මුහුණ පා තිබෙන බරපතළ ඩොලර් හිඟය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සාකච්ඡා වෙනවා. ඩොලර් හිඟකම නිසා මේ වෙනකොට සහල් 109%ක බදු වැඩි කරලා තියෙනවා. පරිප්පු 201%න්, තිරිඟු පිටි 204%න්, සීනි 230%න්, ඩීසල් 230%න්, පෙට්‍රල් 250%න් බදු වැඩි කරලා තියෙනවා. ඒත් දුම්වැටිවල බදු වැඩි කරලා තියෙන්නේ 8% ක්. ඒ වගේම මෙරට දුම්වැටි ලෝලීන් උරා බොන සෑම දුම්වැටියකින්ම මෙරට රුපියල්, ඩොලර් විදිහට පිටරටවලට ගලාගෙන යෑම ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. මත්පැන්, බියර් සමාගම් අපේ රුපියල් ඩොලර් විදිහට පිටරටවලට රැගෙන යෑම ගැන කවුරුවත් තර්ක කරන්නේ නෑ. ඩොලර් නෑ… කියාගෙන හිඟමන් යදින බලධාරීන්ට, නිලධාරීන්ට රට තුළින් අනවශ්‍ය විදිහට ඩොලර් පිටරට ගලා යෑම පේන්නේ නෑ. මොකක්ද මේ පාලනය. කවුද මේ රට කළමනාකරණය කරන්නේ. දැන් මේ රට විහිළුවක් බවට පත්වෙලා ඉවරයි…”

“ඒ වගේම මෙරට අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට. දුම්වැටි සහ මද්‍යසාර, මත්ද්‍රව්‍යයෙන් සිදුවන හානිය මේ ආයතන දෙකට ම සෘජුව බලපානවා. ඒත් මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ දුම්වැටියේ, මද්‍යසාර, මත්ද්‍රව්‍යයේ අනතුරු ගැන ලොකු ඉගැන්වීමක් නෑ. අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය හික්මීම, ශික්‍ෂණය නම් ඒවා නැති කරන ප්‍රධාන සාධක දුම්වැටි, ගිනි මත්වතුර, මත්ද්‍රව්‍යයි. එවැනි පසුබිමක රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් හොඳ පුරවැසියෙක් නිර්මාණය කරගන්න පුළුවන්ද? ඒ වගේම මෙරට සෞඛ්‍යයට වියදම් කරන මුදලින් 50%කට වැඩි කොටසක් වියදම් වෙන්නේ දුම්වැටි, ගිනි මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් රෝගීන්වන පුද්ගලයන් සුවපත් කරන්න බව මම විශ්වාසයෙන් කියනවා. රෝහල්වල සත්‍ය දත්ත නිවැරැදි පරීක්‍ෂාවකින් ඒ බව තහවුරු කරගන්න පුළුවන්. හෘද රෝග, පිළිකා රෝග, ශ්වසන රෝග, වකුගඩු රෝගීන් සහ ශාරීරික බෙලහීනතා සහිත රෝගීන්ගේ වර්ධනය ඉහළ යෑමට ප්‍රධාන සාධකයන් වෙලා තියෙන්නේ දුම්වැටි,

මතයි - දුමයි නැවැත්වුවොත් ඩොලර් ඉතිරියි!…දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වෙලා…

ගිනි මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිත ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ බව තහවුරු කරලා තියෙනවා. එපමණක් නොවේ, මවුකුස තුළ වර්ධනයවන දරුවාට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පියාගේ බලපෑමෙන්, ඇතැම් මවුවරුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා ඇතිවන බලපෑමෙන් මන්ද මානසික, අංගවිකල දරුවන් බිහිවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒ දරුවන් රැකබලා ගැනීමත් රජයට පැවරෙන වගකීමක්. මේ සියලු කරුණු සිහිබුද්ධියෙන් අවබෝධ කරගන්නාවිට දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය පියවීමට අති විශාල පිරිවැයක් රජයට වියදම් කිරීමට සිදු වෙලා තියෙන බව පැහැදිලි වෙනවා. ඒ නිසා සෞඛ්‍ය හේතූන් ගැන හෝ අවධානය යොමුකර දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය පාලනය කිරීමට රජය කටයුතු කරන්න ඕනෑ…”

“අපේ රටේ මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය මුදාගැනීමට නොයෙක් අයුරින් ක්‍රියාත්මක වෙන බව හැබෑව. ඒ සාමූහික ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීමට නම් නිකාය භේද, පක්‍ෂ භේද පසෙකලා මතින් තොර රටක් නිර්මාණය කිරීමටත්, පවතින ඩොලර් අර්බුදය තුළ අපේ රුපියල් දුම්වැටියට, ගිනි මත් වතුරට දියකර ඩොලර් විදිහට පිටරටවලට පැටවීම නතර කිරීමට මහා සංඝරත්නය මූලිකත්වය ගත යුතුය. රට, ජාතියේ සුරක්‍ෂිතාවය උදෙසා මේ ආණ්ඩුව පත් කිරීමට ජය පිරිත් සාජ්ඣායනා කරපු හාමුදුරුවෝ මෙරට අනාගතය වෙනුවෙන් මේ මොහොතේ ඉදිරිපත් විය යුතුයි. එකල මේ රට විදේශිකයන්ගෙන් බේරාගැනීමට පෙරමුණ ගත්තේ අමද්‍යප මහා සභාව. ඒ නිසා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන මේ අවස්ථාවේදී දුම්වැටි, ගිනි මත්වතුර, භාවිතය, විකිණීම ස්වදේශිකයන්ට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ වගන්තියක් එම සංශෝධනයට ඇතුළත් කිරීමට මහානායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය රජයට බල කළ යුතුයි…”

“එවැනි නීති පැනවීම ලෝකයේ අලුත් පරිවර්තනයක් නෙමෙයි. එවැනි නීති පැන වූ රටවල් ලෝකයේ තියෙනවා. ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය හොඳම උදාහරණ. ඒ වගේම මාලදිවයින මුස්ලිම් රාජ්‍යයක් වුණත් විදේශිකයකුටවත් එරටට ගිනි මත්වතුර, බීර බෝතලයක්වත් රැගෙන ඒම තහනම්. එරටට එන විදේශිකයන්ට මත්පැන් බී සතුටුවීමට ඇවැසි නම් ඒ සඳහා වෙන් වූ පුංචි දූපත් තියෙනවා. ඒ ස්ථානවල මත්පැන් පානයට එකට දහයක්වත් වියදම් කරන්න ඕනෑ. මාලදිවයින පුරවැසියන්ටත් රට හැම තැන මත්පැන් බීම තහනම්. කැමැති අයට මත්පැන් විකිණීමට, පානය කිරීමට අවසර ලබාදී තිබෙන දූපත්වලට ගිහින් ඇති වෙන්න වියදම් කර නැති වෙන්න බොන්න පුළුවන්. විදේශිකයන්ට, ස්වදේශිකයන්ට කියලා අය කරන මුදලෙ වෙනසක් නෑ. වියදම එකයි. රුපියල් 1000ක අරක්කු බෝතලයක් රුපියල් 12,000ක් විතර දීලා බොන්න පුළුවන් කීයෙන් කී දෙනාට ද? ඒ වගේම විදේශිකයන් රට තුළින් පිටවෙනකොට අඩු මුදලට ඇති වෙන්න අරක්කු අරගෙන යන්න පුළුවන්. ඒක තමයි නියම පාලනය. එරටට පැමිණෙන විදේශිකයන්ට ගැටලුවකුත් නෑ. එරට ආර්ථිකයට ගැටලුවකුත් නෑ. අපේ රටේ දේශපාලනඥයෝ ඒ රටවල ඇල්කොහොල් නීති ගැන නොදැනුවත් නෑ. ඒත් තැබෑරුම්කාරයෝ කොච්චර ද ගණනක් ඉන්න අපේ පාර්ලිමේන්තුවේ මත්පැන් භාවිතය පාලනය කිරීමට නීති පැනවීමට ඉඩක් ලැබෙන්නේ නෑ…”

“ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු පිරුවටයෙන් සැරසී බෞද්ධකම ලෝකයාට පෙන්වමින්, අති උතුම් පූජනීය ස්ථානයක් වන රුවන්මැලි මහසෑය ඉදිරිපිට ජනාධිපති ධුරයේ දිවුරුම් දී ‘මේ රට ආරක්‍ෂා කරන බවටත් බුදුදහම පෝෂණය කරන බවටත් පපුවට දෑත තබාගෙන ප්‍රතිඥා දෙනකොට අපි සතුටු වුණා. මත්ද්‍රව්‍ය භාවිතයට තිත තැබෙයි කියා අපි විශ්වාස කළා. ඒත් එම දිවුරුම් දීමෙන් පසුව එකදු පසළොස්වක පෝයක්වත් අපිට සමරන්න බැරි වුණා. හරි හැටි පින්කමක් පවත්වන්න බැරි වුණා. තරුණ, තරුණියන්ට හිතේ හැටියට විවාහ මංගල්‍යයක් සමරන්න බැරි වුණා. පුද්ගලයෙක් මියගිය පසු හරි හැටි අවසාන ගෞවරය දක්වන්න බැරි වුණා. දරුවන්ට පාසල් අධ්‍යාපන නැති වී ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. කොටි ත්‍රස්තවාදය පැවැති කාලයේදීවත් දකුණේ පන්සල් වැහුණේ නෑ. පින්කම් පවත්වන බැරි වුණේ නෑ. ඒත් නව රජය පත්වීමත් සමග ඒ හැම දෙයක්ම සිද්ධ වුණා. ධර්මය රකින්න නම් විනය ආරක්‍ෂා කරන්න ඕනෑ. විනය කඩන පාලනයක් තුළ ධර්මය ආරක්‍ෂා වෙන්නේ නෑ. දහම පෝෂණය වෙන්නේ නෑ. මේ වනවිට රට තුළ පස්පව හොඳ හැටි සිද්ධ වෙනවා. සත්ත්ව ඝාතනය වැඩි වෙලා තියෙනවා. බොරුකීම ඉහවහා ගිහින් තියෙනවා. හොරකමට සීමාවක් නෑ. රට හැම තැන හතු පිපෙන තරමට ස්පා ආයතන ආරම්භ වෙලා තියෙනවා. ඒ ගුබ්බෑයම් ඇසුරෙහි තනිකර සිදු වෙන්නේ අවලම් දුරාචාර වැඩ. දවසේ වැඩි පැය ගාණක් රට පුරා ඕල්සේල් මත්පැන් විකිණෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය විශාල වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයත් සමග රටේ අපරාධ වැඩි වෙලා තියෙනවා. අටුළුගම දැරියගේ ඝාතනය මහ පොළොව නුහුලන අපරාධයක්. කාලය ගත වුණත් සේයා දියණිය, යාපනයේ විද්‍යා දියණිය තවත් එකී නොකී මහ පොළොව නුහුලන අපරාධ රාශියක්ම සිද්ධ වුණේ මත්ද්‍රව්‍ය භාවිතයත් සමග තිරිසන්නු බවට පත් වූ මිනිස්සු නිසයි…”

“උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක් දකින්න, අසන්න ලැබෙන්නේ නො ඇසිය, නොදැකිය යුතු දේවල්. ඒ තුළින් රටේ දරුවන්ගේ මනසේ ගැටුම්කාරී, අරගලකාරී මානසිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පෙර පාසල් යන දරුවත් ‘කපුටු කාක්… කාක්…, ගෝඨා ගෝ හෝම්” කියන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. රටේ පවතින අරගලකාරී, ව්‍යාකූල තත්ත්වයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ හොඳ හැටි බොර දියේ මාළු බානවා. දැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයත් ස්මාර්ට් වෙලා. සියල්ල සිද්ධ වෙන්නේ ජංගම දුරකථන මාර්ගයෙන්. අරක්කු, බීර, දුම්වැටි, කුඩු, අයිස් මත්ද්‍රව්‍ය පවා මුහුණු පොත, යූ ටියුබ්, ටික් ටොක්, වට්ස්ඇප් මාර්ගයෙන් ප්‍රචාරණය වෙනවා. එම ප්‍රචාරණයත් සමග මේ රටේ මද්‍යසාර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය සීයට අනූවකින් විතර වැඩි වෙලා තියෙනවා. මෙච්චර කුඩු ඇල්ලුවා… අච්චර ඇල්ලුවා කියන්නේ මාධ්‍ය සංදර්ශන. අපේ විශෝධන මධ්‍යස්ථාන සියල්ලම මේ වනවිට ෆුල්. කාලයකට තව ළමයි ගන්න ඉඩ පහසුකම් නෑ…”

“කාලයක ඉඳලා අපි මේ විශෝධන මධ්‍යස්ථාන කරගෙන යන්නේ ස්වෙච්ඡා සේවාවක් විදිහටයි. මෙච්චර කාලයකට මේ විශෝධන මධ්‍යස්ථාන කරගෙන යන්නේ කොහොමද කියලා එකදු දේශපාලන නායකයෙක්වත් අපෙන් අහලා නෑ. අදාළ මැති ඇමැතිවරු අපේ මධ්‍යස්ථානවලට ඇවිත් නිරීක්‍ෂණය කරලා නෑ. ඒ ගැන කතා කිරීමත් කනගාටුදායකයි. ඒත් මේ අසරණ දරුවො වෙනුවෙන් පටන්ගත්ත මේ අරගලය අපි නතර කරන්නේ නෑ. මේ පළමු පියවර නෙමෙයි. ඒත් ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනයට සමගාමීව අලුත් ආරම්භයක් අරගෙන තියෙනවා. දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය විරෝධී මෙරට සියලු ආයතන මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. අදට වඩා හෙට මේ අරගලය සාර්ථකයි.

“අපේ ඉල්ලීම් ගොඩක් නෑ. කුඩා දරුවන්ගේ, වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව, සමාජයේ සුවසෙත, සංවර්ධනය සඳහා මහත් බාධාවක් වී තිබෙන, තරුණ මනස විකෘති කරන, ශරීරය ලෙඩ කරන දුම්වැටි, මද්‍යසාර ස්වදේශිකයන්ට තහනම් කරන්න. සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන දුම්වැටි, මද්‍යසාර, මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීමට කටයුතු කරන්න. වෙන ඉල්ලීම් අපිට නෑ. මතට ඇබ්බැහි වී මානසික රෝගීන් වූ දරුවන් වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම නොපිරිහෙළා ඉටු කිරීමට අපි කටයුතු කරනවා…” මතින් තොර රටක් නිර්මාණය කිරීමට දිවියම කැප කර සිටින කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ සමාජ අඬහැරය අවසානය. වැස්ස තුරල් වුවද කොළඹ අහස තවමත් කළුවරය.

සමාජ මාධ්‍යයේ ‘මත වැපිරීම’ ගැන තව බොහෝ දේ කතා කළ හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එයත් ප්‍රචාරණයක් බව හැඟෙන නිසා අපි නිහඬ වී පෙළගැසෙන කතාවට විරාමයක් තබමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment