ඇමරිකන් ගුවන් යානා දෙකක් ලංකාවට පැමිණි රහස හෙළිවෙයි

408

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙඩිඩිය පී. රෝයල් ප්‍රමුඛ 20 කගෙන් යුත් ඇමරිකානු ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් අතිශයින් රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණීමේ රහස දැන් හෙළිවී ඇත. ඇමරිකානු හමුදා ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි ඔවුන් ඉන්දියාවේ පැවැති ඒරෝ ඉන්ඩියා ගුවන් ප්‍රදර්ශනයට ද සම්බන්ධ විය. එහෙත් සැබෑ ඇත්ත කුමක් ද? ජෙඩිඩිය පී. රෝයල්ට පැවරී ඇති කාර්ය භාරය නම් චීනය ඉන්දීය සාගරයට අවතීර්ණ වීම විමර්ශනය කිරීමයි.

ඇමරිකන් ගුවන් යානා දෙකක් ලංකාවට පැමිණි රහස හෙළිවෙයි

2017 දී ඇමරිකාව ඒ සඳහා ක්වාඩි (Quadi) නමින් සංවිධානයක් පිහිටුවනු ලැබීය. එයට ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව එක්විය. මේ ක්වාඩි සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ වූයේ නැත. ඉන්දු ශාන්තිකර කලාපයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් වූ ශ්‍රී ලංකාව අතිශයින්ම වැදගත් කේන්ද්‍රස්ථානයක් බව ඇමරිකාව පැවසුවත් ශ්‍රී ලංකා රජය ක්වාඩි සංවිධානයට බැඳීමට උනන්දු වූයේ නැත. එසේ වුවත් ඇමරිකාව නාවික හමුදා ප්‍රධානියා විශේෂ නාවික යානාවකින් මත්තලට පැමිණ විමර්ශනයක් සිදුකර චීන වරාය ගුවන් තොටුපළින් පිටව ගියේය.

පසුගිය දිනෙක ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය ඇමැති ප්‍රමිත තෙන්නකෝන් යන ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කළත් රජයේ බලවත් නායකයන් ද හමුවී තිබේ.

ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්‍ෂක සහයෝගිතාවය වර්ධනය කරලීම තම අරමුණ බව ජෙඩිඩිය පී. රෝයල් පැවසුවත් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණේ තේමාව වූයේ චීනයට එරෙහිව පිහිටා ඇති ක්වාඩි සංවිධානයට ශ්‍රී ලංකාව එක්කර ගැනීමයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්තනි නෙල්සන්, නියෝජ්‍ය නිලධාරි සෙත් නෙවින්ස්, ඇමරිකානු තානාපති කාර්යාලයේ අග්නිදිග ආසියානු කටයුතු භාර ප්‍රධානී කර්නල් ක්‍රිස්ටියන් මිචෙල්, ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ජෙනරාල් දිනේෂ් නනායක්කාර ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ පිරිස එම ඇමරිකානු සාකච්ඡාවට සහභාගිවී ඇත.

මෙයට පෙර එම්සීසී ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට බල කිරීමට ඇමරිකානු නියෝජිත කණ්ඩායමක් පැමිණි අතර ගිවිසුම අත්සන් කිරීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියා කළේ නැත. එහෙත් ඔහු ආක්සා ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළේය. මේ පසුබිම මැද ඇමරිකානු රජය සහකාර රාජ්‍ය ලේකම් ප්‍රමුඛ කණ්ඩායම මෙරටට එවනු ලැබුවේ ක්වාඩි සංවිධානයට ශ්‍රී ලංකාව බඳවා ගැනීම සඳහාය. පසුගිය සමයේ චීන ඔත්තු බැලීමේ නෞකාව හම්බන්තොටට පැමිණි අතර ඊට ඇමරිකාව එරෙහි විය.

එසේම ක්වාඩි සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු මෙරට ප්‍රංශ තානාපති සහ ජපන් ආරක්‍ෂක ඇමැති ද හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමේ යෙදී ඇත. ජපන් ආරක්‍ෂක ඇමැතිවරයා හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමෙන් ඇමරිකානු ක්වාඩි මෙහෙයුමේ පසුබිම හෙළිවිය.

නව රජය බලයට පත්වීමත් සමගම 20කගෙන් සමන්විත ඇමරිකානු ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණි ප්‍රථම වතාව මෙයයි. මේ අතර ඉන්දියාව ද චීනයට එරෙහි නිසා ශ්‍රී ලංකාව එම සංවිධානයට සම්බන්ධ කර ගැනීම ගැන ඉන්දියාවේ විරෝධයක් පළවී නැත.

මෙම ඇමරිකානු නිලධාරීන් මෙරටට ඒමට පෙර ඇමරිකානු යුද නැව් කීපයක් කොළඹ වරායට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment