පාස්පෝට් එකේ යටින් මුදල් කැපිලි

251

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමේ නිරත ඇතැම් නිලධාරීන් දිනකට රුපියල් ලක්‍ෂ දහයක පමණ මුදල් ප්‍රමාණයක් සාක්කුවේ දමා ගෙන යන බව එහි සේවකයෝ ම පවසති.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් දිවයින කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ පිටත සිටින පිරිසක් හා ඇතැම් නිලධාරීන් එක්ව මෙලෙස අල්ලස් ලබා ගනිමින් කටයුතු කරන බවයි. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්, රහස් පොලිස් නිලධාරීන් හා ආයතනයේ සිවිල් නිලධාරීන් යොදා විශාල ආරක්‍ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා කීය.

ඒ අනුව අල්ලස් ගත් හතර දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්මන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා මෙම අල්ලස් ගන්නා පිරිස නීතියේ රැහැනට හසුකරලීමට කටයුතු කිරීම නිසා ඔහුට ද එරෙහිව ඇතැම් අය කටයුතු කරන බවද හෙළි වී තිබේ.

කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට පෙනී සිටින පිරිස නිසා දිනකට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනකට හත්දහසක පමණ පිරිසක් දෙපාර්තමේන්තුවට පැමිණෙති.

මේනිසා අල්ලස් ගන්නා ජාවාරම ද ජයට ම සිදුවන බවත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද මීට සම්බන්ධ බවත් තොරතුරු හෙළි වී ඇත.

ආරංචිමාර්ග පවසන්නේ දූෂිත නිලධාරීන් සහ තැරැව්කරුවන් විසින් විදේශ ගන් බලපත්‍රයක් පිට පාරෙන් සකස් කර දීම සඳහා රුපියල් හතළිස් දහසක පමණ මුදලක් ලබා ගන්නා බවයි.

ශිරාන් රණසිංහ – හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment