රනිල් වික්‍රමසිංහ රට පාලනය කරන විට රටත්, ජනතාවත් සියයට සියයක් සුරක්ෂිතයි

29

එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

ශ්‍රී ලංකාව පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා නම් රටත්, ඔබත් සියයට සියයක් සුරක්ෂිත යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපතිගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව 21දා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත් වූ සහල් බෙදා දීමේ වැඩසටහනට එක්වෙමිණි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම හිතන්නෙපා තමන් කිසිදෙයක් දන්නෙ නෑ කියලා. හිතන්නෙපා තමන්ට කිසිදෙයක් තේරෙන්නෙ නෑ කියලා. හිතන්නෙපා අපි දුප්පත් කියලා. හිතන්නෙපා අපිට ඕවා වැඩක් නෑ කියලා. ඔබ ගැන හිතලා තමයි ජනාධිපතිතුමා මේ ක්‍රියාදාමය දියත් කරන්නේ. අද අපි ඉන්න මේ භූමියේ මීට වසර එක හමාරකට පමණ පෙර අරගල භූමියක්. එක පැත්තකින් අරගල භූමිය. එක පැත්තකින් ගෑස් පෝලිම. වම් අත පැත්තේ තෙල් පිරවුම්හලට බවුසරයක් ආවම අත්පොළසන් දෙන සමාජය.

දැන් මෙතැනින් එහාට අපිට බෙදෙන්න බැහැ. අපිට ඔක්කොම ඕන. පක්ෂ සේරම ඕන. කවුරුවත් අත්හැරලා මේ රට දියුණු කරන්න බැහැ. අපිට මේ රටේ තිබෙන සෑම දේශපාලන පක්ෂයක්ම ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඕන. එයාලත් මේ රට පාලනය කළා. කෘෂිකර්ම ඇමැතිකම කළා. කර්මාන්ත ඇමැතිකම කළා. ගාල්ලෙ හිටිය ධීවර ඇමැතිතුමා චන්ද්‍රසේන මහත්තයා. මගේ මිත්‍රයා. දැන් ඒ කාලේ ඒගොල්ලන් ගත්ත ණයත් මේ රූපෙ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවනවා මේ දවස්වල.

ලංකාවට සංචාරකයෝ ලක්ෂ 50 ක් ගෙන්වනවා කිව්වා. ආදායම මෙච්චරයි, ඒ ආදායමෙන් අපි ණය ගෙවනවා කිව්වා. ලෝකෙ එතුමාව විශ්වාස කළා. ඒකයි මම කියන්නේ එතුමා ආසියාවේ ඉන්න මහා බලසම්පන්න නායකයෙක්. අපේ අල්ලපු රටේ ඉන්න මෝදි අගමැතිතුමාටත් වැඩිය දේශපාලන වශයෙන් ජ්‍යෙෂ්ඨයි. අද ශ්‍රී ලංකාව පාලනය කරන නායකයාට ගලපන්න පුළුවන් නායකයෙක් ඇමරිකාවෙවත්, එංගලන්තයෙවත්, රුසියාවෙවත්, ලෝකයේ කොහේවත් නෑ කියලා මං ඔබට මතක් කරන්න කැමතියි.

ඔබ කඩවල්වලට ණය වෙලා නොමැරී බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔබේ ගානටම ලංකාවත් වැටුණා. ලංකාව ලෝකයේ කොහේවත් යන්න බැරි විදියට හැංඟු‍නා. ලෝකයේ කිසිම රටක් උදව් නොකරන තැනට පත්වුණා. ණය ගන්න බය වෙන්න එපා. ලෝකයේ මහා ව්‍යාපාරිකයෝ බිහිවෙලා තියෙන්නෙ ණය අරගෙන. ණය ගන්න ඕන, ණය ගෙවන්න ඕන. ගෙවන්න බැරිනම් ඇත්ත කියලා කපා හරින්න ඕන. ඒකට බයවෙන්න හොඳ නෑ. හදිසියේ ගංවතුරක් ආවොත්, කුණාටුවක් ආවොත්, ව්‍යාපාරය කඩන් වැටුණොත් ලෝකෙට ගිහින් කියන්න ඕන, තද වැස්සක් ආවා, වගාව ඔක්කොම ඉවරයි, අපිට දීපු සල්ලි කපා හරින්න කියලා. ඒ මිනිස්සු කපා හරිනවා. බැංකුව කරන්නෙත් ඒක. ගමේ කුසුමාවතී අක්කා, පියදාස අයියා කරන්නෙත් ඒක. ඒකම තමයි ආණ්ඩුව කරන්නෙත්, වෙනස් නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment