නාමල්ලා නිදහස් ද නියෝගය නොවැම්බර් 2 දා

117

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැතිද යන නියෝගය ලබන නොවැම්බර් 2 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (13 දා) දින නියම කළේය.

රුපියල් මිලියන 30ක් අයතා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ යුක්තිය පසිඳලන ගරු අධිකරණයට වන බැවින් සියලු කරුණු සලකා බලා අධිකරණය විසින් ලබාදෙනු ලබන සුදුසු නියෝගයකට තම දෙපාර්තමේන්තුව විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන සාක්‍ෂිකරුවා වන රොහාන් අබේ ඊරියගොල්ල නමැත්තා දිවුරුම් පිට අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් අවස්ථා ගණනාවකදීම නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් ඉතා අසත්‍ය ප්‍රකාශ කර ඇති බැවින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන්, විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සාක්‍ෂිකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබාදුන් ප්‍රකාශය හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මුලින් ලබාදෙනු ලැබූ ප්‍රකාශය අසත්‍ය බවත් සිය මව හා බිරිඳ කළ ඉල්ලීමට අනුව පසුව සත්‍ය පවසා ප්‍රකාශ ලබාදුන් බවට ඔහු ගරු අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත්තේ 2015.7.27 වැනිදා බවත් එම සාක්‍ෂිකරුගෙන් පළමු වරට ප්‍රකාශ සටහන් කොට ඇත්තේ 2015/9/8 වැනිදා බවත් අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ඔහුගේ මව 2015/5/16 වැනිදා මියගොස් ඇති බැවින් ඇගේ උපදෙස් මත සත්‍ය ප්‍රකාශ කළ බවට ලබාදුන් සාක්‍ෂිය ද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන්නේ යැයි ද පැවසීය. එම සමයේ පැවැති රජය, දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කොට, අභූත චෝදනා නගා පුද්ගලයන්ට එරෙහිව නඩු 25 ක් පමණ පැවැරූ බවත් ඒවා විභාග කිරීමට විශේෂ අධිකරණ පවා ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment