“අපි සාමකාමීයි කඳුළු ගෑස් එපා” – කංචනගේ දොරකඩ ළඟට විදුලි පාවිච්චි කරන්නෝ අද උද්ඝෝෂණයකට එති

103

‘විදුලි බිල හා ඉන්ධන මිල අඩු කරනු’ යන තේමාව යටතේ අද (29 දා) සවස හතරට කොළඹ 7, මල් පාරේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට තම සංගමය විරෝධතාවක් පවත්වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (28 දා) පැවසීය.

ඊට එක් වන ලෙස රටේ ජනතාවට ආරාධනා කරන බවත් එක් වීම හැර විකල්ප නැති බවත් හෙතෙම සඳහන් කළේය.

කොළඹ විනයාලංකාර මාවතේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව ගිය වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා දිගින් දිගටම මාස්පතා ලාභ ලබා ඇති බවත් ඒ අනුව වසරක් තුළදී බිලියන 60 කට අධික ලාභයක් ලබා ඇති බවත් සඳහන් කළ ධම්මික මහතා එවැනි පසුබිමක් යටතේ ඉන්ධන මිල අඩු කළ හැකි යැයි ද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ 2023 මූල්‍ය තත්ත්ව වාර්තාව අනුව එම මණ්ඩලය ද මේ වසරේදී දැනට රුපියල් මිලියන දහ දහස් දෙසීය අසූපහක් ලාභ ලබා ඇති බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළ ධම්මික මහතා එම නිසා විදුලි බිල ද අඩු කළ හැකි යැයි ද සඳහන් කළේය. මෙම දත්ත ඉදිරිපත් කරන්නේ තම සංගමයේ ලේඛන අනුව නොව මණ්ඩලයේ ලේඛන අනුව යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහජනතාවට අවහිරයක් නොවන පරිදි ඉතාමත්ම සාමකාමී ව මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එම නිසා අනවශ්‍ය පරිදි එය වැළැක්වීමට මැදිහත් නොවන ලෙස දැන්ම තියා පොලිසියෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය. කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ නොකරන්නැයි බලධාරීන්ට කියන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment