ආසු මගේ තුන් වැනි චිත්‍රපටය

232

හීන හැබෑ වෙයි කියලා කවදාවත් හිතුවෙ නැහැ

දිනාරා පුංචිහේවා ගැන මේ දවස්වල වැඩිපුර කතා වෙන්නෙ ‘ආසු. සිනමා නිර්මාණයත් එක්ක. මින් පෙර ‘ගාඩි. සහ ‘සහෝ. යන සිනමා නිර්මාණ තුළිනුත් ඔබට ඇය දකින්න ලැබුණා. කුඩා කල පටන් දුටුව හීනයක සැබෑව” අද අත්විඳින දිනාරා ඇයගේ ගමන් මගේ තොරතුරු මේ විදිහට මීවිතට කිව්වා.

● ඔබ රංගනයෙන් දායක වුණ ‘ආසු චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනව. මොන වගේ හැඟීමක්ද ඒ ගැන තියෙන්නෙ?

මේක මගේ තුන් වැනි සිනමා නිර්මාණය. පසුගිය ජනවාරි මාසයේ ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ‘ගාඩි. සිනමා පටය එළියට ආවා. ඒ වගේම අප්‍රියෙල් මාසයේදී මහාචාර්ය ආරියරත්න ඇතුගලගෙ ‘සහෝ. චිත්‍රපටයත් එළිදැක් වුණා. ප්‍රේක්‍ෂකයන්ට මගේ චිත්‍රපට තුනක් එක දිගට බලන්න ලැබීම ගැන නවකයෙක් හැටියට මට ගොඩක් සතුටුයි.

● චිත්‍රපටයේ රූගත කිරීම් ගැන මතක් කළොත්?

ඔව්” බාධක ගොඩක් මැද කොවිඩ් වසංගත කාලෙ තමයි අපි මේ චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කළේ.

ආසු මගේ තුන් වැනි චිත්‍රපටය

● කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ?

සංජීව අයියා දුරකතනයෙන් මට කතා කළා. ඉන් පස්සෙ ඔඩිෂන් එකකට සහභාගි වුණා. එතනදි පිටපත අරගෙන චිත්‍රපටයේ වැඩකටයුතු පටන් ගත්තා. ඒ වන විට ගාඩි චිත්‍රපටය තිරගත නොවුණත් පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණේ. සංජීව අයියා ඒකත් නරඹලා තමයි මං මේ චරිතයට සුදුසුයි කියල තෝරාගෙන තිබුණේ. ඒ වගේම මමත් බොහෝ කාලයක සිට ඔහුගේ නිර්මාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් හිටියෙ.

● ඔබේ චරිතය ගැන කතා කළොත්?

මට ලැබුණෙ ඉන්දිරා ජයසූරිය මහත්මියගෙ නංගිගේ චරිතය. මේක සත්‍ය කතාවක් නිසා අපි ගොඩක් වැඩමුළුවලට සහභාගී වුණා. මේ ගැන කතාබහ කළා. ඒ වගේම ලංකා දිසානායක මහත්මිය මුණගැසුණා. මේ හැම තැනකදිම මම මගේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරුණු එකතුකර ගත්තා. මට ලැබුණෙ සහය චරිතයක් වුණත් ඒ චරිතය ප්‍රධාන චරිතයට ගොඩක් අවශ්‍යයි. මම මගේ උපරිමය කළා කියල හිතනවා.

ලංකා දිසානායකගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

ඇත්තටම ඇය වගේම කරු ජයසූරිය මහත්මයාත් ගොඩක් සතුටු වුණා චරිතය සම්බන්ධයෙන්. මෙහි එන ඇතැම් දෙබස් ඔවුන් ඇත්තටම කතා කළ ඒවා. පවුලක් හැටියට ඔවුන්ට මේ චිත්‍රපටය බලන්න තරමක් අපහසුයි.

● රූගත කිරීම්වලදි මුහුණ දුන්න අභියෝග මොන වගේද?

අපිට අභියෝගයකට තිබුණෙ කොවිඩ් වසංගතය. එතනදි අපිට වඩා ලොකුම අපහසුතාවට පත්වුණේ උදාරි අක්කා. එයාගේ මේක්අප් එකත් එක්ක මාක්ස් එකක් දාන්න පවා අපහසුයි. කොහොම වුණත් සියයට සියයක්ම ඇය ඒ චරිතය තුළ ජීවත් වෙමින් චරිතයට උපරිම දේ කළා.

● මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?

ළඟදි චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මහේන්ද්‍ර පෙරේරා” බිමල් ජයකොඩි සහ මම මෙහි චරිත නිරූපණය කරන්නෙ. ඒ වගේම සංජීව පුෂ්පකුමාරගෙ විහඟ ප්‍රේමය නමැති චිත්‍රපටයටත් රංගනයෙන් එකතු වුණා. ඊට අමතරව මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හැටියට කටයුතු කරනවා. ඒ කටයුතුත් එක්ක දවස ගෙවනවා.

● ඩිනාරාගේ වැඩි කැමැත්ත සිනමාවට?

ඔව්” මං වැඩිපුර කැමති සිනමාවට. නමුත් එහෙමයි කියල ටෙලි නාට්‍ය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.

● ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?

ආරාධනා ලැබිල තියෙනව. නමුත් මම මේ දවස්වල චිත්‍රපට සඳහා වැඩි ඉඩක් ලබා දුන්නා. හොඳ පිටපතක් ලැබුණොත් භාරගන්න කැමතියි.

● සිනමාවේ ඔබට මුණගැහෙන්නේ වෙනස් විදිහේ අධ්‍යක්‍ෂවරු?

අඩු වයසකදි එවැනි දැවැන්ත අධ්‍යක්‍ෂවරු යටතේ ප්‍රධාන චරිත සඳහා රඟපාන්න අවස්ථාව ලැබීම මං ලබපු ලොකු භාග්‍යක්.

ඔබට ඉන්දියාවේ කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා?

ගාඩි චිත්‍රපටයේ මගේ රංගනය දැකල ඉන්දියාවේ අධ්‍යක්‍ෂවරයා ඔඩිෂන් එකකට එන්න කිව්වා. ඒ වන විටත් මම හිටියේ මුම්බායි නගරයේ වේදිකා නාට්‍ය වැඩමුළුවකට සහභාගී වෙලා. ඒ අතර ඔඩිෂන් එකට සහභාගී වෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා.

ජාත්‍යන්තර නිර්මාණවලට තියෙන්නෙ මොන වගේ කැමැත්තක්ද?

ජාත්‍යන්තර නිර්මාණවලට මම කැමතියි. ඔඩිෂන්ස් වලට සහභාගී වෙනව. එංගලන්තයේ වේදිකා නාට්‍ය බොහොමයකටත් සම්බන්ධ වෙලා තියෙනවා.

ජාත්‍යන්තරයේ සහ අපේ වේදිකාවේ ඔබ දකින වෙනස මොන වගේද?

මම දකින ලොකුම වෙනස තියෙන්නෙ තාක්‍ෂණය පැත්තෙ. ඔවුන්ගේ තාක්‍ෂණ ශිල්පීන් හරිම ඉක්මන්. ඉන්දියාව ගත්තොත් වසරකට චිත්‍රපට දහසක් විතර හදනවා. ඔවුන්ගේ ජීවිතය වෙන්නෙ සිනමාව සහ ක්‍රිකට්. අපේ රටේ සිනමාව ගත්තොත් හරිම පුංචියි. රංගන ශිල්පීන් සීමිත පිරිසක් ඉන්නෙ.

ජීවිතය දෙස නැවත හැරී බැලුවොත්?

මට දුවල ගිහින් අවුරුදු දොළහේ මාව බදාගන්න හිතෙනව. මොකද ඒ වයසෙදි මට ලොකු හීන තිබුණා. කවදාවත් සැබෑ වෙයි කියල හිතුනෙ නැහැ. නමුත් මට මතකයි ජනවාරි මාසයේ ගාඩි චිත්‍රපටයේ පෝස්ටරය ලිබර්ටි සිනමා ශාලාවේ ලොකුවට ප්‍රදර්ශනය කරල තිබුණා. ඇත්තටම ඒ මොහොතේ මට ඇඬුණා. මේ මම පුංචි කාලයේ දැකපු හීනයයි සැබෑ වෙලා තිබුණෙ. වාහනයෙන් එළියට පැනල ට්‍රැෆික් එක මැද්දෙම පිංතූරයක් ගත්තා.

පවුලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නෙ?

පුංචි කාලෙ අනෙක් ළමයි කාටූන් විතරක් බලද්දි නංගියි මල්ලියි එක්ක මම හැම භාෂාවකම චිත්‍රපට බැලුවා. ලොකු අයට බලන්න පුළුවන් ඒවාත් අපි බැලුවා. වේදිකා නාට්‍ය බැලුවා. අම්මයි තාත්තයි අපිව ඒ තැන්වලට එක්කගෙන ගියා. එතනදි තමයි සිනමා පිස්සුව ඔළුවට ආවේ.

භාෂාව දැන සිටීම ගොඩක් තැන්වලදි ඔබට වාසියක් වුණා?

ඔව්” දැනට සිංහල” ඉංග්‍රීසි” හිංදි භාෂා කතාකරන්න පුළුවන්. මේ දවස්වල දමිළ භාෂාවත් හදාරමින් ඉන්නවා.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment