ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් සගයෙක්

42

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සඳහා තවත් නවතම ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල්බදු පදනම මත ලබාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ඊයේ (17 දා) පැවසීය.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නව ගුවන් යානය පෙරේදා (16 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ.

පුළුල් බඳ සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙම නව ගුවන් යානය ඊයේ අලුයම 12.36ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 ගුවන් ගමන් අංකය යටතේ ප්‍රංශයේ පැරිස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර එය මෙරට වේලාවෙන් 08.05 ට පැරිස් ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාදවීම සහ අවලංගු වීම්වලට යම් මට්ටමක විසඳුමක් ලෙස මෙම නව ගුවන් යානය පැමිණීමෙන් අත්වීමට නියමිතය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment