පීදුණු ගොයම මහ වැස්සෙන් සහ ගංවතුරෙන් විනාශ වුණා

25

පොලොන්නරුවේ ගොවීහු රජයට දුක කියති
සොච්චමක් නොදී සාධාරණ වන්දියක් දෙන්න
ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති

පීදෙන්නට ආසන්න තත්ත්වයේ පැවැති වී වගාව මහ වැසි සහ ගංවතුර හේතුවෙන් මුළුමනින්ම විනාශ වූ බව පීඩාවට පත් පොලොන්නරුවේ ගොවීහු පෙන්වා දෙති. රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය සඳහා මුදල් පවා මෙතෙක් නොලැබීම නිසා තමන්ට ගොවිතැන් කිරීමට සිදු වූයේ ණය තුරුස්වී බවද ඔවුහු පැවැසූහ.

මෙවර මාස් කන්නයේ වී වගාවට අධික වර්ෂාව සහ ගංවතුර නිසා සිදුවූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදලක් ලබාදීමට රජය නොපමාව පියවර ගත යුතු බව පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය කියයි.

ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කළේ මාස දෙකක්, දෙකහමාරක් ඉක්ම ගිය වී වගාව අක්කර 5000 කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවයි.

මේ වන විට ගොවීන් අක්කරයක වී වගාව වෙනුවෙන් රුපියල් 80,000 කට වඩා වැඩි මුදලක් වැයකර ඇති බවත්, එම නිසා ඊට සරිලන සාධාරණ වන්දි මුදලක් හැර සොච්චම් මුදලක් ලබාදීමෙන් ඵලක් නොවන බවත් ඒ මහතා කීය.

පසුගියදා ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වගා කරන ලද අක්කර 8000 කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් ජලයෙන් යටවී පැවැති බව පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.

වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හානි සිදු වූ බවට වාර්තා වී ඇත්තේ මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, ඇලහැර සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්.පී. උපාලි මහතා අප කළ විමසුමකදී පැවැසීය.

ඇතැම් යායවල කුඹුරු මුළුමනින්ම විනාශ වී ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවද ඒ මහතා කීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment