මුලතිව් ජල පෝෂකය උලා කා නාගචෝල රක්ෂිතය වනසයි

264
වනාන්තර එළිපෙහෙළි කර යන්ත්‍ර සූත්‍ර යොදා කෙරෙන වී ගොවිතැනක්.

මස් වැද්දො දඩයම වෘත්තිය කරගෙන…

80 දශකයේ සිට රක්‍ෂිතය විනාශ කරනවා තවමත් ඉවර නෑ…

රක්‍ෂිතය පැත්ත පළාතක වන බීට්ටු කාර්යාලයක් නෑ…

වලසුන් කැලෑව අතහැර ගිහින් අලි ඇතුන් මිනිස්සු සමග ගැටෙති…

හිත් පිත් නැති කැලෑ පාළුවන් නාගචෝල රක්‍ෂිතයත් විනාශ කරති. මුලිතිව් දිස්ත්‍රික්කයට ජල පෝෂකයක් වූ නාගචෝල රක්‍ෂිතයේ විශාල භූමි භාගයක් මේ වන විටත් එළිපෙහෙළි කර වගා බිම් බවට පත් කර අවසානය. වනපෙත කපා කොටා ගොඩ, මඩ වගා බිම් බවට පත් කරන මහා වන විනාශය අදටත් නතර වී නැත. දුර්ලභ ගහ කොළ කපා පුළුස්සා වන මැද තැන, තැන පහුරු ගා ඇති අයුරු පෙනෙන විට පපු කැවුතු පත්තුවන තරම්ය. එහෙත් ඒ මහා වන විනාශය හමුවේ සංවේදී හදවත් කම්පනයට පත් වුවද, අදාළ නිලධාරීහු මුනිවත රකිති. අදාළ ආයතන කොපමණ දැනුවත් කළ ද, කොතෙකුත් ලිඛිතව දැනුම් දුන්න ද වන විනාශයට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක නොකරන බව උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ශන්තබෝධි නායක හාමුදුරුවෝ ද අප සමඟ පැවසූහ.

“නාගචෝල රක්‍ෂිතයේ විනාශයට මුල හිටපු වන සංරක්‍ෂණ නිලධාරීන්ගේ දුර්වලතා. කැලෑ පාළු කරන ප්‍රදේශවාසීන් සමඟ එකතු වී එම නිලධාරීන් කරගෙන ගිය දේවල් ගැන අපි දැනුවත්. ඒත් දැන් ඒවා ගැන කතා කර ඵලක් නෑ. වර්තමාන වන සංරක්‍ෂණ නිලධාරීන්ගේ ප්‍රධාන වගකීම වෙන්න ඕනෙ රක්‍ෂිත භූමිය වටා මායිම් කණු දාලා වන සංරක්‍ෂණ ප්‍රදේශයක් බවට දැන්වීම් පුවරු සවි කිරීම. වසර දෙකක කාලයක ඉඳලා අදාළ නිලධාරීන්ට ඔය ගැන අපි දැනුම් දුන්නා. ඒත් තවම ක්‍රියාත්මක වුණේ නෑ. රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරනවා නම් මේ වන විනාශය පහසුවෙන් නතර කර ගන්න පුළුවන්…” ශන්තබෝධි හාමුදුරුවන්ගේ කතාව සැබෑය. දකුණේ රක්‍ෂිත ප්‍රදේශවලට ක්‍රියාත්මක වන රටේ නීතිය උතුරු, නැගෙනහිර ප්‍රදේශවල රක්‍ෂිත විනාශයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බව සැබෑය. මෙරටට සම්පතක් වූ නාගචෝල රක්‍ෂිතය ද විනාශ මුඛයට තල්ලු වෙමින් ඇත්තේ එකී දෙබඩි නීතිය නිසාය.

මුලතිව් ජල පෝෂකය උලා කා නාගචෝල රක්ෂිතය වනසයි
හේන් වගාව සඳහා වනාන්තර එළිපෙහෙළි කර ඇති අයුරු.

1920 දශකයේ අග භාගයේදී නාගචෝල වනාන්තරයෙන් හෙක්ටයාර 6824.75 ක භූමි භාගයක් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ‘වන රක්‍ෂිතයක්’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. 1950 දශකයේ මැද භාගයේදී තන්නිමුරුප්පු වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන රක්‍ෂිතයේ දකුණු මායිමෙන් පිටත භූමිය කුඹුරු වගාව සඳහා විවෘත කර තිබේ. රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ 1:63 000 සිතියමට අනුව තන්නිමුරුප්පු වැවේ වම් ඉවුර ඇළ රක්‍ෂිතයේ දකුණු මායිම් රේඛාව ලෙස සිතියම්ගත කර ඇත. එවැනි පසුබිමක 1980 දශකයේ මැද භාගයේදී ප්‍රදේශවාසීන් විසින් එම රක්‍ෂිත ප්‍රදේශය විනාශ කරමින් වගා කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබේ. ගූගල් සිතියම් විශ්ලේෂණයේදී 1980 ගණන්වල සිට කෘෂි කාර්මික කටයුතු අරමුණු කොටගෙන හෙක්ටයාර 1200 කට ආසන්න රක්‍ෂිත ප්‍රදේශයක් විනාශ කර ඇති බව සනාථ වේ. එමෙන්ම කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසානයෙන් පසුව ද නාගචෝල රක්ෂිත විනාශය නතර වී නැත. එම රක්‍ෂිත භූමිය තුළ පිහිටි කුරුන්දි පුරාවිද්‍යා භූමිය තුළ පමණක් හෙක්ටයාර 2 කට වඩා වැඩි වන සංහාරයක් සිදු කර ඇත. කුරුන්දි කුලම ප්‍රතිසංස්කරණය කිරීම නිසා තවත් වනාන්තර හෙක්ටයාර 20 ක් පමණ ජලයෙන් යටව විනාශ වී ඇති බව ද දෑස් හොඳින් පෙනෙන, මන්දබුද්ධික නොවන සංවේදී මිනිසුන්ට පැහැදිළිව පෙනේ. නාගචෝල රක්‍ෂිතයේ මරණයේ කතාව එසේ පෙළගැසෙන විට ස්වභාවික පරිසරය ආරක්‍ෂා කරගැනීම උදෙසා අමිල මෙහෙවරක නිරත වී සිටින පරිසරවේදී සම්පත් ද අලවිස් ගුණතිලක මහතා ද පෙළගැසෙන කතාවට මෙසේ කුරුණු ඉදිරිපත් කළේය.

“නාගචෝල රක්‍ෂිතය උතුරු පළාතේ පිහිටි අතිශය වටිනා කැලෑ ප්‍රදේශයක්. පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී අපි කිහිපදෙනෙක් සම්බන්ධ වෙලා කුරුන්දි පුරාවිද්‍යා භූමි භාගයේ පමණක් සිදු කළ ක්‍ෂේත්‍ර විමර්ශනයේදී එම පරිසර පද්ධතිය සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රාශියක් තහවුරු කරගන්න පුළුවන් වුණා. වර්ග කිලෝමීටර් කිහිපයක් පුරා විහිඳෙන කුරුන්දි පුරාවිද්‍යා ප්‍රදේශය වටිනා ස්වභාවික පරිසර පද්ධතියක් බව මූලික ගවේෂණ තුළින් සනාථ වුණා. ඒ වගේම කුරුන්දි ප්‍රදේශයේ ශාක සංයුතිය මෙරට වියළි කලාපීය වනාන්තරවල දකින්න ලැබෙන ශාක සංයුතියට වඩා වෙනස්. මේ රක්‍ෂිත ප්‍රදේශයේ ප්‍රමුඛ ශාකය වෙලා තියෙන්නෙ කළුවර කුලයට අයත් කුණු මෑල්ල ශාකය. මහා විශාල ගස්. ඒ වගේම වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී ඇති එම රක්‍ෂිත ප්‍රදේශය අතීතයේ යම් හායනයකට ලක්ව ඇති බවත් තහවුරු වෙනවා. වර්තමානයේ එම පරිසර පද්ධතිය අඛණ්ඩ වියන් ස්තරයකින් යුත් පරිණත ශාකවලින් යුක්තයි. ඒ වගේම කුරුන්දි වැව අවට, වැව් බැම්මට පහළින් සහ දාගැබ ආසන්නයේම පිහිටි වනාන්තර ආශ්‍රිත ඇතැම් ස්ථානවල ලඳු කැලෑ සහ ද්විතික ලක්‍ෂණ මිශ්‍ර වී ඇති බවත් තහවුරු වුණා. කුරුන්දි වැව සියවස් ගණනාවක් පුරා කැඩීබිඳී ගොස් තිබූ අතර මැතකදී වැව විශාල කර ප්‍රතිසංස්කරණය කර තියෙනවා. ඒ වගේම කුරුන්දි වැවෙහි තෙත් බිම් ශාක විවිධත්වය අඩුයි. වැව් බැම්ම කුඩා පැළෑටිවලින් සමන්විතයි. වැව් බැම්මෙන් පහළ කට්ටකාඩුව ප්‍රදේශය තැන තැන වගුරු සහිතයි…”

මුලතිව් ජල පෝෂකය උලා කා නාගචෝල රක්ෂිතය වනසයි

“නාගචෝල රක්‍ෂිතය තුළ අලි ඇතුන්, වලස්සු, දිවියා සහ කුළු හරකුන් වැනි විශාල සත්ව විශේෂ වගේම කුඩා සත්ව විශේෂ දහස් ගණනක් ජීවත්වන බවත් වාර්තා වෙනවා. වනාන්තරය විනාශ කිරීමත් එක්ක කාලයක ඉඳලා වලසුන් පෙනෙන්න නැති බවත් අනෙකුත් සත්ව විශේෂවලට දැඩි හිංසාකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවත් වාර්තා වෙනවා. කැලෑව විනාශ කර සිදු කරන වගා කටයුතුවලට අලි ඇතුන් ඇතුළු වන සතුන්ගෙන් දැඩි බලපෑම් ඇති වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලි මිනිස් ගැටුම ප්‍රබලව උත්සන්න වී ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම ශාක විශේෂ 247 ක් වාර්තා වුණා. ඒ අතරින් ශාක විශේෂ 195 ක් දේශීය ශාක. ඉතිරි ශාක විශේෂ මෙරටට හඳුන්වාදුන් විදේශීය වල් පැලෑටි විශේෂ. දේශීය ශාක බහුලව ව්‍යාප්තව පවතින්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරය තුළ. විදේශීය වල් පැලෑටි බහුලව දකින්න ලැබුණේ තෙත් බිමේ සහ වැව් බැම්ම ආශ්‍රිත ප්‍රදේශවල. ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා ප්‍රදේශය තුළින් සුවිශේෂී ශාක විශේෂ 9ක් වර්තා වෙනවා. අනිත්ත, පත-බඹර, හීන්කෙන්ද, හීන් බෝවිටියා, සුදු කලවැල්, කර සහ වල් කරපිංචා එම ශාක විශේෂවලින් කිහිපයක්. ඒ වගේම බුරුත, ගෝනල, කර, කළුවර ආදී වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක විශේෂ අටක් වාර්තා වෙනවා…”

“අප කළ ක්‍ෂේත්‍ර විමර්ශනයේදී සත්ව විශේෂ 285 ක් වාර්තා වුණා. දේශීය සත්ව විශේෂ 275 ක් සහ ඉතිරි සත්ව විශේෂ මෙරටට විදේශයන්වලින් සංක්‍රමණය වන කුරුළු විශේෂ. ඒ වගේම ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වෙසෙන ආවේණික සත්ව විශේෂ විශාල සංඛ්‍යාවක් නාගචෝල රක්‍ෂිතයේ ජීවත් වෙනවා. අපගේ ක්‍ෂේත්‍ර විමර්ශනයේදී කුරුන්දි වෙහෙර පිහිටි පුරාවිද්‍යා ප්‍රදේශය තුළ පමණක් ආවේණික සත්ව විශේෂ 40 ක් වාර්තා වුණා. ඒ සත්ව විශේෂ අතරට භෞමික ගොළුබෙල්ලන් විශේෂ 6 ක්, දිවිමකුළු විශේෂයක්, සමනල් විශේෂ 3 ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 2ක්, උභයජීවී විශේෂ 4ක්, උරග විශේෂ 12ක්, පක්‍ෂීන් විශේෂ 9ක් සහ ක්‍ෂීරපායි විශේෂ 3ක් අයත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ කිහිපයක් හඳුනාගත්තා. පත්අංකුට්ටා, ලංකා බැඳි මැඩියා, යක් හූනා, ශ්‍රී ලංකා බොර අග දෙමළිච්චා, ශ්‍රී ලංකා කළු වඳුරා. එම සත්ව විශේෂ අතරින් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින සත්ව විශේෂ 17ක් හඳුනාගන්න පුළුවන් වුණා. එයින් විශේෂ 7ක් තර්ජිත තත්ත්වයේ පසුවන අතර විශේෂ 10ක් අවදානම් කාණ්ඩායට අයත් වෙනවා. කුරුන්දියෙන් වාර්තා වන බෝදිලිමා, යක් හූනා, පුල්ලි හිකනලා, වලසා, අලියා, දිවියා, දිවි මකුළුවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජාතික රතු දත්ත ලයිස්තුගත සත්ව විශේෂ කිහිපයක්. ඒ වගේම රුක්වාසී උබයජීවීන්, වනාන්තරවාසී උරඟුන් සහ අපෘෂ්ඨවංශීන්ගේ වාසස්ථාන අහිමිවීම තුළ දැඩි ලෙස වඳවීමට ලක් වෙලා තියෙනවා. එම සත්ව විශේෂ බොහෝමයක් ජාතික වශයෙන් තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙසත් ලැයිස්තුගත වෙලා තියෙනවා…”

මුලතිව් ජල පෝෂකය උලා කා නාගචෝල රක්ෂිතය වනසයි

“මේ වටිනා ජෛව විවිධත්වය අහිමිවීමට ප්‍රබලව බලපාන සාධකය වගා කටයුතු සඳහා අනවසරයෙන් සිදු කරන රක්‍ෂිත විනාශය. නාගචෝල රක්‍ෂිතයේ කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්තවීමත් එක්ක මානව සත්ව ගැටුම් වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුම ප්‍රබලව උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේම ගොවිබිම්වලට සතුන්ගේ පැමිණීම වළකාලීමට ගොවීන් විවිධ නීතිවිරෝධී ක්‍රම භාවිතා කරනවා. ඒ තුළින් සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. සතුන් මරා මස් කර විකිණීම සමහර මිනිසුන් වෘත්තීය කරගෙන තියෙනවා. මේ අකටයුතුකම්වලට සහ නාගචෝල රක්‍ෂිතයේ විනාශයට මුල රක්‍ෂිත මායිම් නොමැතිකම. රක්‍ෂිතය ආසන්නයේ වන බීට්ටු කාර්යාල (වනජීවී සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු) නොමැතිවීම. මායිමක්, ආරක්‍ෂාව නැති නිසා බිය සැකයකින් තොරව මිනිස්සු රක්‍ෂිතයට ඇතුළු වෙනවා. ඉවක් බවක් නැතිව කෑලැව කපලා වගා කරනවා. එදා වගේම අදටත් එලෙසින්ම රක්ෂිත භූමිය විනාශ කරමින් වගා කටයුතු කරගෙන යනවා. සමහර කුඹුරු මැද මහා විශාල ගස් තියෙනවා. ආරක්‍ෂාවක් නැති තැන අර මොකක්ද වගෙ තමයි. ඒ නිසා මේ රක්‍ෂිතය සහ සතුන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමට පළමුකොට කළ යුත්තේ ස්ථිර වන බීට්ටු කාර්යාල පිහිටුවා, රක්ෂිත වනාන්තරය වටා මායිම් ස්ථාපිත කිරීම. අනවසර වගා කටයුතු නතර කිරීම. නීති විරෝධීව රක්ෂිත භූමියට ඇතුළුවන මිනිසුන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ. දෙවනුව විනාශ කරපු රක්‍ෂිත ප්‍රදේශ තුළ වන වගාව ඇති කරන්න ඕනෑ. ඒ වගේම උතුරු, නැගෙනහිර දශක තුනක් පුරාවට ත්‍රස්තවාදයක් පැවැති පළාත් දෙකක්. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක උරුමය පිළිබඳ ලබාගෙන ඇති දැනුම ඉතා අල්පයි. ඒ නිසා වර්තමාන වන සහ වනජීවී කළමනාකරණ සැලසුම් ක්‍රියාවට නැඟීමේදී එය දැඩිව බලපානවා. ඒ වගේම නාගචෝල රක්‍ෂිතයේ අපි ගවේෂණය කළේ කුරුන්දි පුරාවිද්‍යා ප්‍රදේශය පමණයි. මේ වනාත්තරය සම්පූර්ණ ගවේෂණයක් කළොත් අතිශය වැදගත් තොරතුරු සම්භාරයක් සොයාගන්න පුළුවන්…” පරිසරවේදී සම්පත් ගුණතිලක මහතාගේ අදහස් දැක්වීම ද අවසානය.

තිස් අවුරුද්දක් පුරාවට උතුරු, නැගෙනහිර ප්‍රදේශවල මිනීමරු කොටි ත්‍රස්තවාදීන් ක්‍රියාකාරී වූ බව සැබෑය. එම කාලය තුළ එම පළාත්හි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අසීරු වූ බව ද සැබෑය. කොටි මරමස්ථානයක් වූ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි නාගචෝල රක්‍ෂිතය කොටි හිතවාදීන්ට සිතැඟි පරිදි විනාශ කරමින් වගා කටයුතු කරගෙන යෑමට එදා අවසර ලැබෙන්න ඇති. එහෙත් උතුරු, නැගෙනහිර භූමියෙන් කොටි ත්‍රස්තවාදය අතුගෑවී දැන් බොහෝ කල්ය. කොටි අවතාර ක්‍රියාත්මක වුවද දැන් එම පළාත්වල ක්‍රියාත්මක වන්නේ මෙරට පොදු නීතියයි. එවැනි පසුබිමක රටට සම්පතක් වූ සතා සීපාවට වාස භූමියක් වූ නාගචෝල රක්‍ෂිතය විනාශ කිරීමට ඉඩ හැර බලා සිටීම නිවටකමකි. එම නිවටකම නිලධාරීන්ගේ රෙද්ද පල්ලෙ බේරෙනු දකින දෙමළ දේශපාලනඥයන් අක්කර ගණනාවක් පුරාවට බෞද්ධ නටබුන් තලාවක් මැද පිහිටි කුරුන්දි පුදබිමත් කෝවිලක් යැයි කියති. නිවට නියාලු බියගුළු බලධාරීන් සහ නිලධාරීන් රජයේ ඉහළ පුටු රත් කරන තාක් නාගචෝල රක්‍ෂිතයට පමණක් නොව උතුරු නැගෙනහිර වන රක්ෂිත, මහා වන පෙත්වලට පමණක් නොව බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට ද අබ සරණය. එමෙන්ම උතුරු, නැගෙනහිර උරුමය ආරක්‍ෂා කරගැනීමට වෙනම අරගලයක් කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව ද සැබෑය.

මුලතිව් ජල පෝෂකය උලා කා නාගචෝල රක්ෂිතය වනසයි
පැරණි කුරින්දි කුලම අවිධිමත් ලෙස විශාල කර ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් වනාන්තර හෙක්ටයාර 20 ක් පමණ ජලයෙන් යටවී ඇති අයුරු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment