චීන්නු ගාල්ලේ පැළපැදියම් වෙලා. ඒ මදිවාට චීන කොරටුව කියල ගමක්ද නම් කරගෙන මේ විදියට ගියහොත් චීන්නු මුළු ගාල්ලම අල්ලාගෙන ගාල්ල චීන කොළනියක් බවට පත්කර ගන්නවා මේ දහනායක ඉන්නකම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. හිටපු අගමැතිවරයකු වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතා මේ කථාව කීවේ 60 පැවති මහමැතිවරණ රැස්වීමකදීය. එහෙත් ගාල්ල චීන කොළනියක් බවට පත්වූයේ නැත. අප මේ කියන්නට යන්නේ චීන්නු ගැන නම් නොවේ. රුසියානුවන් ගැනය. සංචාරක වීසා මත මෙරටට පැමිණෙන ඇතැම් රුසියානුවන් විසින් මෙරට සිදුකරගෙන යනු ලබන ව්‍යාපාරික කටයුතු නිසා උණවටුන, වැලිගම, අහංගම, හබරාදුව යන සංචාරක කලාප රුසියානුවන්ගේ කොළනියක් බවට පත්වීමට ඉඩ ඇති බවට මෙකී කලාපවල සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් පවසති.

සංචාරක කලාපවල රුසියානුවන් ව්‍යාපාරික කටයුතු කිරීම පිළිබඳ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන් එයට පක්ෂව හා විපක්ෂව මත පලකරති. මෙරටට සංචාරක වීසා මත පැමිණෙන ඇතැම් රුසියානුවන් හෝටල්, නිවාස ආදී දේපළ බදු පදනම මත ලබාගෙන සංචාරක ව්‍යාපාරයේ නිරතවීම නිසා තමන් ගැටලු රැසකට ලක්ව ඇති බව උණවටුන සංචාරක කලාපයේ සංචාරක කර්මාන්තයේ නිරත ඇතමුන් පවසති. රුසියානුවන් විසින් උණවටුන, වැලිගම ආදි සංචාරක කලාප ආක්‍රමණය කිරීම නිසා තැඹිලි, පළතුරු, වෙළෙන්දා, කුලී ත්‍රිරෝද රථ රියැදුරන්, සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන ආයතනවලට මෙන්ම හෝටල් හිමියන්ට ද මරු පහරක් එල්ලවී ඇති බවට ඔවුහු චෝදනා කරති.

උණවටුණේ සිට කොග්ගල වෙරළ තීරය දක්වා වූ සංචාරක කලාපය තුළ සංචාරක ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නේ රුසියානුවන් පමණක් නොවේ. යුරෝපීය, චීන, ඉන්දියානු, ආදී රටවල විදේශීය ජාතිකයන්ද ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටිති. ඇතැම් විදේශිකයන් හෝටල් බදු පදනම මත ලබාගෙන විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටිති. තවත් පිරිසක් නිවාස, විලා ආදිය බදු පදනම යටතේ ලබාගෙන විදේශීය සංචාරකයන් සඳහා ඒවා ලබාදෙති. තවත් පිරිසක් විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර රුසියානුවන් සඳහා සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කරනු ලබන්නේ ඇතැම් රුසියානු ජාතිකයන්ය. කොටින්ම කිවහොත් මේ වනවිට උණවටුන සංචාරක කලාපය තුළ සියයට 50ක් පමණ ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන්නේ රුසියානු ජාතිකයන්ය. රුසියානු ජාතිකයන් ඇදී එන්නේ ද ඔවුන් පවත්වාගෙන යනු ලබන හෝටල් වෙතය. එම හොටල්වල රුසියානු ජාතිකයන් සහ මෙරට අය සේවය කරති.

මෙවර සංචාරක සමය තුළ උණවටුන සංචාරක කලාපයට පැමිණි විදේශීය සංචාරකයන් අතුරින් සියයට 95ක් පමණ පැමිණ ඇත්තේ රුසියානු සංචාරකයන්ය. මේ වනවිට රුසියානුවන් උණවටුන සංචාරක කලාපය ආක්‍රමණය කොට ඇත්තේය. මෙම තත්ත්වය හමුවේ යුරෝපීය සංචාරක වෙළෙඳපොළ උණවටුන සංචාරක කලාපයට අහිමිවීමේ අවදානමක් ඇතිවී තිබේ. මක් නිසාද යත් යුරෝපීය සංචාරකයන් රුසියානු සංචාරකයන් සමග ගනුදෙනු කිරීමට දක්වන්නේ දැඩි අකමැත්තකි. මේ නිසා යුරෝපීය සංචාරකයන් උණවටුන සංචාරක කලාපයට පැමිණීමට අකමැත්තක් දක්වති. මෙය මෙරට තිරසර සංචාරක කර්මාන්තයට ද එල්ලවී ඇති මරුපහරකි.

කොවිඩ් වසංගත සමයේදී මෙරටට යුරෝපීය රටවලින් සංචාරකයන් පැමිණියේ නැත. එම කාලයේදී මෙරටට පැමිණියේ රුසියානුවන් හා යුක්රේන ජාතික සංචාරකයන්ය. රුසියානුවන්ට හා යුක්රේනුවන්ට ලංකාව හොඳ තෝතැන්නක් විය. ඒ විතරක් නොව රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් රුසියානුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විවිධ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනු ලැබීය. රුසියානු සංචාරකයන් මෙරටට ඇතුල්වීමේදී වීසා ගාස්තුවලින් නිදහස් කරනු ලැබීය. එහෙත් යුරෝපීය රටවල විදේශිකයන්ගෙන් වීසා ගාස්තු අයකරනු ලැබීය. එවන් පසුබිමක් තුළ රුසියානුවන් වැළනොකැඩී මෙරටට පැමිණෙන්නට වූහ. ඒ වනවිට මෙරට සංචාරක කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්වෙමින් තිබුණි. එවන් පසුබිමක් තුළ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන් රුසියානුවන් දෝතින් වැළඳගනු ලැබීය. රුසියානුවන් ප්‍රවර්ධනය කිරීම තුළින් අනාගතයේ දී සිදුවිය හැකිදේ පිළිබඳ ඔවුන් කල්පනා කළේ නැත.

අපිටත් නැති ඉඩම් රුසියන් කොළණියකට?
රුසියානුවන් විසින් පවත්වාගෙන යන හොටලයක්

රුසියානුවන් මෙරටට පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරත වේවි යැයි කියා සංචාරක කර්මාන්තයේ නිරත වූවන් සිහිනෙකින්වත් සිතුවේද නැත. ඇතැම් රුසියානුවන් මෙරට පදිංචිය සඳහා වීසා ලබාගෙන ඇත්තේය. ඔවුහු වසරින් වසර එම වීසා අලුත්කර ගනිති. ඇතැම් රුසියානුවන් උණවටුන සංචාරක කලාපය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නේ මෙරට පුද්ගලයන් සමග එක්වී හවුල් ව්‍යාපාර වශයෙනි. මෙරට නීතිය අනුව විදේශිකයකුට 99 අවුරුදු බදු පදනම යටතේ දේපළ ලබාගත හැකිය. නැතහොත් විදේශිකයකුට සියයට 49ක් හා දේශීය පුද්ගලයාට සියයට 51 වශයෙන් සමාගමක් පිහිටුවා ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකිය. රුසියානුවන් ඇතුළු අනිකුත් විදේශිකයන් මෙරට පුද්ගලයන්ගෙන් බදු පදනම මත ලබාගත් දේපළ යොදාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යති. එහෙත් රුසියානුවන් හෝටල්වල සේවය කරනවා නම් ඒ සඳහා වීසා ලබාගත යුතුය. ඒ විතරක් නොව රුසියානුවන් මෙකී ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නීත්‍යානුකූලවද යන්න සොයාබැලීම ඒ සඳහා වගකිවයුතු ආයතනවල වගකීමකි.

රුසියානු යුක්රේන් යුද ගැටුමේ දී මෙරටට පැමිණ සිටි ඇතැම් රුසියානුවන් හා යුක්රේන ජාතිකයන් තවමත් මෙරට රැඳී සිටිති. ඔවුන් ද උණවටුන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් නිවාස මිලදීගෙන ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටිති. මාසයකට ඩොලර් 500, 800 වැනි මිල ගණන්වලට කාමර තුනක් සහිත නිවාස බදු පදනම මත ලබාගෙන එම නිවාස පුළුල් කොට මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයන්ට බදු දෙති. උණවටුණ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත ඇතමුන් සිය විදේශීය පෙම්වතුන් හා පෙම්වතියන් සමග එක්ව උණවටුන සංචාරක කලාපය තුළ ව්‍යාපාර කටයුතු කරගෙන යති. රුසියානුවන් ඇතුළු විදේශිකයන් මෙරට සංචාරක කලාප තුළ ව්‍යාපාර කටයුතු කරගෙන යෑම අද ඊයේ ඇතිවූ දෙයක් නොවේ. ජර්මානු ජාතිකයන්ද මේ අයුරින් ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබීය. රුසියානුවන් සඳහා මෑත කාලයේ මෙරට සංචාරක කටයුතු සඳහා දොරගුළු විවර වීමත් සමග රුසියානුවන් නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන අයුරින් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටිති. අනික් කාරණය වන්නේ රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක තම නිවස හෝ කාමර කිහිපයක් කුමන අයකුට හෝ බදු පදනම මත ලබාදී කීයක් හෝ උපයාගැනීමට ඔවුහු කටයුතු කරති. මෙරට නීතිය අනුව තම දේපළ බදු පදනම මත විදේශිකයකුට වුවද ලබාදීමට ඔහුට හෝ ඇයට නිදහස තිබේ.

උදයංග වීරතුංග මහතාගේ මුහුණු පොතේ සඳහන් වන ආකාරයට රුසියාවේ සිට ඍජු ගුවන් යානා 685 කින් සංචාරකයන් 237,313 ක් මේ වනවිට මෙරටට පැමිණ තිබේ. මේ වනවිට රුසියානු උප සංස්කෘතියක් උණවටුන සංචාරක කලාපය තුළ නිර්මාණය වී ඇත්තේය. කොටින්ම කිවහොත් යුරෝපීය සංචාරකයන් හා රුසියානුවන් අතර ඇත්තේ අහසට පොළව මෙන් මහා වෙනස්කම්ය. රුසියානුවන්ගේ ආදායම යුරෝපීය සංචාරකයන්ට වඩා අඩුය. රුසියානුවන්ට විනයක් නැත. ඔවුන් ඇතැම් අවස්ථාවලදී කලහකාරී ලෙස හැසිරෙති. මෙවන් පසුබිමක් තුළ මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවූවන් සඳහන් කරන්නේ රුසියානු ජාතිකයන් පමණක් මෙරට සංචාරක කටයුතු සඳහා ප්‍රවර්ධනය කිරීම තුළින් යුරෝපීය සංචාරක වෙළෙඳපොළ අපෙන් ඈත්වී යෑමට ඉඩ ඇති බවය. යුරෝපීය ජාතිකයන් ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක්ද සංචාරක සංවර්ධන අධිකාරියට හෝ සංචාරක අමාත්‍යාංශයට ද නොමැත.

උණවටුන සංචාරක සංගමයේ ලේකම් හා උණවටුන රිදීවිලා හෝටලයේ අධිපති සුමිත් උඹේසිරි මහතා අපිට මේ ගැන කීවේ මෙවැනි කථාවකි.

අපට ලෝකයේ කිසිම තැනකට ගොස් වෙළෙඳාම් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඇතැම් සංචාරකයන් සංචාරක වීසා ලබාගෙන වෙළෙඳාම් කිරීමට පෙළඹිලා තිබෙනවා. whatsapp සහ අනෙකුත් සමාජ මාධ්‍ය මාර්ගයෙන් මෙම කරන වෙළෙඳාම් සඳහා සෑම සංචාරකයකුම කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ භාෂාවෙන් වෙළෙඳාම් කිරීම නිසා. මේ අතුරින් රුසියානු සංචාරකයන් ප්‍රමුඛතාවයක් ගෙන තිබෙනවා. ඩොලර් මාරු කිරීම්, ගමන් බිමන්, කෑම බීම, නවාතැන් පහසුකම් සැපයීම සහ අනෙකුත් සේවා නිසා දේශීය සංචාරක කර්මාන්තකරුවන්ට මරු පහරක් එල්ලවී තිබෙනවා. මේ ගැන අප නිතර නිතර කතා කළද රජයට හෝ අදාළ බලධාරීන්ට කිසි වගක් නැහැ. මෙසේ අනීතික වැඩ කරන විදේශිකයන්ට දඩ මුදලක් අයකිරීම හෝ රජයට ආදායමක් ලැබෙන පරිදි සිය ව්‍යාපාර කරගෙන යනවා නම් අපගේ විරුද්ධත්වයක් නැහැ. එහෙත් මෙම අනීතික වෙළෙඳාම සංචාරක ක්ෂේත්‍රයේ සිටින සියලු ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට බලපා තියෙනවා. මෙම තත්ත්වය නිසා සංචාරක මාර්ගෝපදේශක ව්‍යාපාරිකයන් තම සේවා ස්ථාන වසා දමා ඇති බවද සුමිත් උඹේසිරි මහතා පවසන්නේය.

රුසියානුවන් මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරතවීම පිළිබඳ උණවටුණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත මහතා දරන්නේ වෙනත් අදහසකි.

අපිටත් නැති ඉඩම් රුසියන් කොළණියකට?

මෙරටට සංචාරකයන් නොපැමිණෙන අවස්ථාවක උදයංග වීරතුංග මහතා රුසියානු හා යුක්රේන සංචාරකයන් ප්‍රවර්ධනය කළා. ඔවුන් ලංකාව වැළඳ ගත්තා. කොවිඩ් වසංගත කාලයේ අපේ රටට යුරෝපීය සංචාරකයන් ආවේ නැහැ. රුසියානුවන් විතරයි ආවේ. රුසියානු සංචාරකයන්ට අපේ රට තුළ දොර විවර වුණා. ඒ අයට මේක අලුත් තෝතැන්නක් වුණා. නමුත් රුසියානු සංචාරකයන්ගේ පැමිණීම නිසා ඇතිවිය හැකි අනිසි බලපෑම පිළිබඳ කවුරුවත් කථා කළේ නැහැ. අවශ්‍ය වුණේ සංචාරකයන් ගෙන්වා ගැනීම පමණයි. රුසියානු සංචාරකයන්ගේ පැමිණීම හේතුවෙන් අනාගතයේ දී යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ ගැටලුවක් ඇතිවේවි කියලා. අද ඒක සිදුවෙලා තියෙනවා.

රුසියානුවන් වැඩිපුර ගැවසෙන සංචාරක කලාපවලට යුරෝපීය සංචාරකයන් එන්නේ නැහැ. නොර්විජියානුවන් කිසි ලෙසකින්වත් රුසියානු ජාතිකයන් සමග සම්බන්ධ වෙන්න කැමැති නැහැ. මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියේ පවා අවධානය යොමුවුණේ නැහැ. අපි කීවේ මෙරට තිරසර සංචාරක කර්මාන්තයක් ඇතිවිය යුතුයි කියලා. රජය රුසියානු සංචාරකයන්ගෙන් වීසා සඳහා මුදල් අය කළේ නැහැ. නමුත් යුරෝපීය සංචාරකයන්ගෙන් වීසා සඳහා මුදල් අය කළා. මෙවැනි තීන්දු නිසා මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිවුණා. රුසියානු හා යුක්රේන යුද්ධය නිසා එම රටවල ඇතිවිය හැකි ආර්ථික බලපෑම හේතුවෙන් එම රටවල ඇතැම් පිරිස් සොයා බැලුවා අවුරුදු කිහිපයක් ගතකළ හැකි රටවල් පිළිබඳ ලංකාව ඒ අයට හොඳ තෝතැන්නක් වුණා. ලංකාව කියන්නේ අන්ත දූෂිත රටක්. නීති විරෝධීව වීසා අරගෙන හරි ඕනෑම දෙයක් කරන්න පුළුවන් රටක්. නිලධාරීන් ද ඒ සඳහා උදව් කරනවා. මුලින්ම නිවාස බදු දෙන්න පටන් ගත්තා. ඒ අයට අමතර ආදායමක් ලැබුණා. ග්‍රාම නිලධාරි වසම් තුනකට සීමාවෙලා තිබූ උණවටුන සංචාරක කලාපය මේ වනවිට කළහේ, වංචාවල, පිලාන ආදි ප්‍රදේශ දක්වා පුළුල් වෙලා තියෙනවා. එම ප්‍රදේශවල අයත් නිවාස, විලා කාමර, බදු පදනම මත රුසියානුවන්ට දෙන්න පටන් ගත්තා. මේ නිසා රුසියානු යුක්රේන් ජාතිකයන් ගැන බොරු භීතියක් මැවිය යුතු නැහැ. මොවුන් ව්‍යාපාර කරන ක්‍රමවේදය නීත්‍යානුකූල ද නැද්ද කියලා සොයා බැලීම ඒ සඳහා වගකිවයුතු ආයතනවල වගකීමක් බවද රූපසේන කොස්වත්ත මහතා සඳහන් කරන්නේය.

රූමස්සල මවුන්ට් රිච් හෝටලයේ අධිපති කපිල වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.

මෙරටට පැමිණෙන විදේශිකයන් ලොකුවට වියදම් කරන්නේ නැහැ. හෝටලයෙන් ගන්නේ උදේ ආහාරය විතරයි. පොඩි කඩවලින් තමයි කෑම පවා ගන්නේ. පළතුරු පවා මිලදී ගන්නේ වෙනත් කඩවලින්, හෝටලයේ නැවතිලා ඉන්න එක විතරයි කරන්නේ. මේ සංචාරක සමයේ මාස තුනක් තමයි බිස්නස් එක තිබුණේ. විදුලිබිල, ජලබිල සහ අනිකුත් වියදම් දරලා යාන්තම් ෂේප් වෙන්න විතරයි පුළුවන්. ලොකු ආදායමක් ලබා ගන්න බැරිවුණා. ඩොලර් 60ක වගේ මිල ගණන්වලට තමයි කාමරයක් දෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි රුසියානුවන් බදු පදනම මත නිවාස අරගෙන එම නිවාස අලුත්වැඩියා කරලා, නොයෙකුත් වෙනස්කම් කරලා. රුසියානු සංචාරකයන් සඳහා බදු දෙනවා. රුසියානුවන් විශාල පිරිසක් උණවටුන ප්‍රදේශයේ අවන්හල් පවත්වාගෙන යනවා. මේකත් සංචාරක කර්මාන්තයට එල්ලවී ඇති තර්ජනයක් බව කපිල වික්‍රමසිංහ මහතා කීවේය.

අපිටත් නැති ඉඩම් රුසියන් කොළණියකට?

උණවටුණේ සංචාරක කර්මාන්තයේ නිරත චමීර ද සිල්වා පවසන්නේ මෙවැනි කථාවකි.

රුසියානුවන්ගෙන් අපේ අයත් ජීවත් වෙනවා. රුසියානුවන් ව්‍යාපාරික කටයුතුත් කරනවා. රුසියානුවන් පමණක් නෙවෙයි යුරෝපීය සංචාරකයන්ද බිස්නස් සුපිරි විදියට කරනවා. මේකේ වාසි අවාසි දෙපැත්තම තියෙනවා. ඇතැමුන් රුසියානු ජාතිකයන්ට තමන්ගේ හෝටලය බදු දීලා බොරුවට විරුද්ධ වෙනවා රුසියානුවන් එලවන්න ඕන කියලා. දිනකට ඩොලර් 300ක් 400ක් වියදම් කරන විදේශීය සංචාරකයන් ගෙන්වා ගන්නා බව කියනවා. නමුත් එහෙම වියදම් කරන විදේශිකයන් අපේ රටට එන්නේ නැහැ. අපේ රටට හරියන සංචාරක කර්මාන්තයක් තමයි ප්‍රවර්ධනය කරන්න ඕන. යුරෝපීය සංචාරකයන් එනවා නම් හොඳයි. හැබැයි රුසියානු ජාතිකයන් එන එකත් හොඳයි. ඒ අයගෙන් ජීවත්වෙන පිරිසක් ඉන්නවා. රුසියානුවන් මෙරටට නොපැමිණියහොත් අපේ රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති වෙනවා. මගේ අදහස නම් හැම ජාතියකම විදේශිකයන් මෙරටට පැමිණිය යුතුයි.

රොක් පෝටි හෝටලයේ අධිපති ගාමිණී වික්‍රමාරච්චි මහතා සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකි.

රාජ්‍ය බැංකුවලින් සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට කිසිදු සහනයක් නැහැ. ණය පොලී මුදල තවම අඩුකරලා නැහැ. ගිනි පොලියට තමයි ණය අරගන්න වෙලා තියෙන්නේ. ණය ගෙවන්න සහන ක්‍රමයක් අපි ඉල්ලුවා. කිසි සහනයක් නැහැ. බැංකුවලින් උදේ ඉඳන් කරදර කරනවා ණය ගෙවන්න කියලා. කීයක් හරි හම්බකරගෙන ආයෝජනය කරන්න විදියක් නැහැ. දැන් තමයි සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට උදව් කරන්න ඕන. මේ විදියට මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. ඒ විතරක් නෙවෙයි රුසියානුවන් උණවටුණේ හැම තැනම සංචාරක අවන්හල් පවත්වාගෙන යනවා. රුසියානුවන් ඒ අයගේ හෝටල්වලට තමයි යන්නේ. රුසියානු භාෂාවෙන් තමයි හැම තැනම බෝඩ් දමලා තියෙන්නේ. රුසියානුවන් ඔවුන්ගේ ඒජන්තවරුන් හරහා නීති විරෝධී ලෙස ඩොලර් මාරු කරනවා. කාලයක් යනවිට රුසියානුවන්ගේ ළඟ තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. දැනටමත් උණවටුන රුසියානුවන්ගේ රාජධානියක් බවට පත්වෙලා. මිරිස්ස සංචාරක කලාපයේ රාත්‍රි කඩ පවා රුසියානුවන් දමලා තියෙනවා. රුසියානුවන් සියයට 90කට විතර ඉංග්‍රීසි භාෂාව බැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ නිරත සේවකයන් සඳහා රුසියානු භාෂාව පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතු බවද වික්‍රමාරච්චි මහතා කීවේය.

සංචාරක කර්මාන්තය වූ කලී අපේ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන කර්මාන්තයකි. කොටින්ම කිවහොත් අපේ රටට ඩොලර් මළු ඇදී එන්නේ විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙන නිසාවෙනි. එහෙත් පසුගිය කාලයේ මෙරටට පැමිණි ඇතැම් විදේශීය සංචාරකයන්ට මෙරට ඇතැම් ගොබ්බයන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ අඩත්තෙට්ටම්වලට ලක්වීමට සිදුවූහ. මීට දින කිහිපයකට පමණ පෙර එවැනි සිද්ධීන් දෙකක් වාර්තා විය. මින් එක් සිද්ධියක් වාර්තා වන්නේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙනි. කොත්තුවක් මිලදී ගැනීමට පැමිණි විදේශිකයකුට කොත්තු කඩයක් පවත්වාගෙන යනු ලබන ගොබ්බයකු එම විදේශිකයාට රුපියල් 1900 මුදලකට කොත්තුවක් විකිණීමට හැදුවේය. කොත්තුවේ මිල වැඩියි නේද, ඇත්ත මිල කීයද විදේශිකයා ඇසුවේය. විදේශිකයාගේ මේ ප්‍රශ්න කිරීමත් සමග කොත්තු ගොබ්බයාට යකා නැග්ගේය. මොහු මීහරකෙකු ලෙස විදේශිකයාට ඇඟට අත තබා තල්ලුකොට අඩත්තෙට්ටම් කළේය. මෙම අවස්ථාවේ විදේශිකයා මෙරට සමාජ ස්වරූපය පිළිබඳ වීඩියෝවක් සකස් කිරීම සඳහා සජීවී දර්ශන පටිගත කරමින් සිටියේය. මේ කොත්තු ගොබ්බයාගේ අපත ක්‍රියාව මුළුමනින්ම පටිගත වී තිබුණි. කොත්තු ගොබ්බයාගේ මේ අපත ක්‍රියාව නිසා මුළු රටම නිරුවත් විය. ඒ විතරක් නොව මෙය මෙරට සංචාරක කර්මාන්තයට ද කළු පැල්ලමකි. විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් මෙවැනි සූරාකැම්වලට ලක්වන්නේ ත්‍රිරෝද මාපියාවෙනි.

අනික් සිද්ධිය වාර්තා වන්නේ කළුතර ප්‍රදේශයෙනි. මෙකී සිද්ධියට ලක්වන්නේ මෙරට පිළිබඳ සංචාරක වීඩියෝවක් සකස් කරමින් සිටි බෙල්ජියම් ජාතිකයෙකි. හෝටල් හිමියා මොහු රවටා උළුඳු වඩයක් සහ ප්ලේන්ටියක් රුපියල් දහසක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළේය. හෝටල් හිමියා විසින් විදේශිකයා රවටාගෙන හෝටලය තුළට කැඳවාගෙන ගොස් උළුඳු වඩයක් හා ප්ලේන්ටියක් විදේශිකයාට ලබාදී රුපියල් දහසක මිලක් නියම කර පසුව එය 800 දක්වා අඩුකිරීමට කටයුතු කළේය. මෙකී විදේශිකයා තමන් රැවටූ ආකාරය දැක්වෙන මෙකී වීඩියෝව අන්තර්ජාලය හරහා ලෝකය වෙත මුදාහැරීමට කටයුතු කළේය. මෙවැනි සිද්ධීන් නිසා මෙරටට පැමිණෙන රුසියානුවන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙරට ව්‍යාපාරික කටයුතු කරන රුසියානුවන් සොයාගෙන යති. ඒ අපේ ඇතැම් පුද්ගලයන්ගේ අවිනීත ගොබ්බ ක්‍රිය නිසාය. මේ වනවිට උණවටුණ සංචාරක කලාපය රුසියානුවන්ගේ කොළනියක් බවට පත්වෙමින් තිබේ. මේ විදියට ගියහොත් උණවටුණ පමණක් නොව ලංකවේ ඇති අනිකුත් සංචාරක කලාපද විදේශිකයන්ගේ කොළනි බවට පත්වීමට ඉඩ තිබේ. මේ උණවටුණේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් කියන කථාවන්ය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment