ඉස්කෝලේ පුංචි ළමයින් ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඒත්, බෝලයක් නැහැ. ඒ වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ, ධීවර දැල්වලට දාන ප්ලාස්ටික් බෝලයක්. පාපන්දු බූට් තබා, සාමාන්‍ය පාවහන්වත් නැතිව ඒ බෝලයට පයින් පහර දෙන ළමයින්ගෙ මුහුණුවල සතුට. අපි කැමරාවක් ඔසවාගෙන ආ හින්දා, ඒ කැමරාව ඉදිරිපිට තමන්ගේ සෙල්ලම් පෙන්වන්නට මේ පැංචන් දඟලනවා.

මේ එළුවතිවු දූපත මධ්‍යයේ තියෙන ඉස්කෝලය. එළුවතිවු කියන්නේ යාපනයේ තිබෙන දූපත් අතරින් එකක්. අප යාපනයේ දූපත් ගැන දැන් කතා කරන්නේ කච්චතිවු දූපතේ හුටපටය නිසයි. ඒ මදිවාට ඉන්දියාවේ සිට නිතිපතා එන ට්‍රෝලර් යාත්‍රා නිසයි.

එළුවතිවු දූපත හැරුණාම නයිනදීවු, පුන්කුඩදීවු, ඩෙල්ෆ්ට් හෙවත් නැදුන්දීවු, නයිනදීවු හෙවත් නාගදීපය, මන්ඩයිදීවු සහ කයිට්ස් යන දූපත් එහි තිබෙනවා. කයිට්ස් ප්‍රධාන දැවැන්ත දූපතක්. ඒ දූපත දක්වා මහාමාර්ගය පවතිනවා. නැදුන්දීවු, නයිනදීවු, පුන්කුඩදීවු, අනලදීවු ආදියට බෝට්ටුවෙන් යා යුතුයි.

අපි කතාව පටන් ගත්තේ මැදකින්. මේ කතාන්දරයට එක පත්තර පිටුවක් පුංචි වැඩියි. ඒ වගේම, කාලය එක්ක පිළිවෙළට කියන්නට මේ කතාව ලොකු වැඩියි. ඒ නිසා, මේ කතාන්දරය කියන අපි, කාලේ අවකාසේ තැනින් තැනට ලොකු පිමි පනිනවා. දවස් හතරක ගමනක් ගැනයි මේ කියන්නේ. කයිට්ස්වල දූපත් පවා ඇතුළත් වූ කළ දූපත් හයක විතර කතාන්දරයක්. අතරමැද්දේ පපුව පුච්චන්නේ නැති පදමට රස පිරවූ තල් රා කට්ටක්, උගුර කඩාගෙන යන කූල් උගුරක්, කටේ කම්මැලිකමට එකතු කරගත්ත කොට්ටකිලංගු කූරක් සහ මුහුදෙන් ගොඩ ආ විගස මාළුන් හා කකුළුවන් ආදියෙන් සුපෝෂිත යාපනේ ලොකු හාලේ බත් කටක් මුහු වෙච්ච රහබර ගමනක් මේ. ඒ දිව පිනන කෑම මැද්දට සුන්දර මුහුදේ සුන්දර දර්ශනවලින් දෑස් පිනන කතාවක් මේ. ඔය විතරක්ද? රෙහ්මාන් සහ ඉලයරාජා අපේ කන් පිනවන්නට පෙරමුණේ තරග කරද්දී දේවා හෝ සන්තෝෂ් නාරායනන් එයට නොදෙවනි තරගයක් දෙමින් පසුබිම් සංගීතය සැපයූ ගමනක් ඒ. තමන්ගේ දියණිය හමුදාවට භාර වුණාට පස්සේ, රූපවාහිනියෙන් පවා වතාවක් දුව දැක්කාට තවමත් දුවට වෙච්ච දේ නොදන්නා තාත්තා කෙනෙක් හමුවෙච්ච කතාවක් ඒ. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ඇවිත්, තමන් විතරක් නෙවෙයි රටේ ආරක්ෂාවට සිටින නාවික හමුදාවත් දෑස් විවර කරගෙන බලා සිටින අතරේ ධීවර සම්පත් කොල්ලකාගෙන යන හැටි අසන්නට ලැබුණ ගමනක් ඒ. හදිසියේ ලෙඩක් හැදුණොත් රෝහලකට යන්නට බෝට්ටුවක් නොමැතිකමින් පීඩා විඳින හැටි මිනිසුන් කතා කරපු ගමනක් ඒ. තමන්ගේ පාසලේ මූලික පහසුකම් ටිකත් නැතිකම මැද, ගුරුවරුන්ගේ ප්‍රවාහන ප්‍රශ්න නිසා නියමිත වෙලාවට පැයකට පස්සේ පාසල් පටන් ගැනීම ගැන අහන්න ලැබුණ ගමනක් ඒ.

ඒ කතා සියල්ල එක වතාවේ කියා නිම කරන්නට බැහැ. ඒ නිසා අප පෙර කී කිසිවක් ගැන කතා නොකර බෝට්ටු ගැන කතා කරන්නට හිතුවා. මේ බෝට්ටු අපේ හිතේ ලොකු කුතුහලයක් ඇති කළා. කෙනෙකුට මේ දූපත්වලට බෝට්ටුවෙන් යන බව කීවාම තමන් කවදාහරි බෝට්ටුවක ගිය අත්දැකීමක් කැටි කරගෙන, යම්කිසි චිත්‍රයක් හිතේ මවාගන්නවා වෙන්න ඇති. ඒත්, මේ බෝට්ටු එකිනෙකට වෙනස්. ප්‍රමාණයෙන් වෙනස්. පහසුකම් අතින් වෙනස්. වේගය අතින් වෙනස්.

එන්ජිමෙන් නැගෙන හඬ පවා එකිනෙකින් වෙනස්. ඇතැමෙක් ‘ඩක ඩක ඩක ඩක’ ශබ්දයෙන් ගැස්සෙන්නේ එන්ජිමේ පැරණි බව හෝ ශක්තියේ අඩු බව කියා පාමින්. තවත් එකක් කාර්යක්ෂම එන්ජිමකින් නැගෙන නොකැඩෙන ‘බෘම්’ හඬකින් වැඩ කරනවා. ඒ ඒ බෝට්ටුවල සුක්කානමේ හැඩය එකිනෙකින් වෙනස්. බෝට්ටුව තුළ සිටින දෙවිවරුන් එකිනෙකාගෙන් වෙනස්. ඒ ඒ බෝට්ටුව, තමා අයත් වන දූපත ගැන කතාවක් කියනවා. බෝට්ටු සියල්ල අතර අපේ ප්‍රධාන චරිතය සෙන් ඇන්තනීස් බෝට්ටුව.

සෙන් ඇන්තනීස්

කිරි කිරි ගාමින් එළුවදීවූ යන සෙන් ඇන්තනීස්!
සෙන් ඇන්තනීස් බෝට්ටුවෙන් පිටට එන ගුරුවරියක්

ඔය කියන ගමන් බිමන් සියල්ලට ප්‍රවේශ වුණේ යාපනයට ගිය අපි එතැනින් කයිට්ස් දූපත හරහා එහි එක කෙළවරක තියෙන කන්නගි අම්මාන් ජැටිය උඩට ගිහිල්ලායි. එතැන් පටන් දින පහක් දූපත්වල.

ඉතින්, ඔය ඇවිල්ලා එක් උදැහැනක්. අපිත් එක්ක යාපනයේ ධීවර සමාසම් නායක අන්නරාසා තමන්ගේ නිහතමානී හිනාව එක්ක ඉන්නවා. ධීවර සමාසම කියන්නේ, ධීවර සංගම් ගොඩක එකතුවක්. අන්නරාසා අයියා තමයි නායකයා.

ජැටිය උඩ උදේ පාන්දර හරි කලබලයක්. මිනිසුන් මෝටර් සයිකල් ආදිය බෝට්ටුවලට පටවන්නට තදබදය. තව පිරිසක් බෝට්ටු තට්ටුව උඩ යකඩ බට තොගයක් පටවමින්.

ජැටිය අද්දර තියෙනවා පොඩ්ඩක් අපේ අවධානය යොමු වූ භාණ්ඩ ටිකක්. ලොකු බෝට්ටු කිහිපයක්. ‘ආහ්! ඔය ඇවිල්ලා ට්‍රෝලර් බෝට්ටු. ගෙනැත් මෙහේ තමයි මුහුදු යන්නේ. දේශපාලන බලය පාවිච්චි කරලා.’ අන්නරාසා අපේ ගැටලුව පැහැදිලි කළා. ඉන්දීය ට්‍රෝලර් ගැන කියන්නට කලින්, අපේම රටේ බලවතුන්ට අයිති බෝට්ටුවලින් ඔවුන්ගේ සම්පත කොල්ලකන බවත් නොලියා බැහැ. අපි දෑස්වලින්ම මෙරට ට්‍රෝලර් යාත්‍රා දුටුවා.

තව මොහොතකින් පස්සේ, අපි හිටියේ සෙන් ඇන්තනී බෝට්ටුවේ. අන්න ඒවා තමයි බෝට්ටු. මේක පොඩි ප්‍රවාහන බෝට්ටුවක්. ධීවර බෝට්ටුවකට ලෑලිවලින් තට්ටු ගහලා හැදූවක්. කන්නගි අම්මාන් තොටුපළේ සිට එළුවතිවු කියන දූපතට යන්නට තියෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය මෙය. බෝට්ටුවේ ඉඳගෙන යන්නට නම් ඇතුළට බහින්න ඕනෑ. වෛවර්ණ පාටවලින් මේ පැරණි ලී තට්ටුව පාට කරලායි තියෙන්නේ. දෙවියන්, මනුෂ්‍යත්වය සංකේතවත් වූ විවිධ චිත්‍ර අතර මේ බෝට්ටුවේ සාමයේ පරෙවියාත් ඉන්නවා. බෝට්ටුව පදින ජෝර්ජ් අයියා කියපු විදියට එයාට අයිති ඒ බෝට්ටුව අනූ ගණන්වල මුල හැදූවක්. යුද්ධයේ පීඩනයෙන් මිරිකෙමින් හිටපු ඔහුට සාමය ගැන තිබුණ ලොකුම ලොකු හීනය බෝට්ටුවේ ඇන්දාලු.

අපි ගිය වෙලාවේ, හරි හෙමින් ගාටන මේ බෝට්ටුව තිබුණේ පිරී ඉතිරිලා. අප ඉදිරිපිට ඉඳගෙන හිටියේ පාසලේ උගන්වන්නට යන ගුරුවරියන් පිරිසක්.

“පත්තරෙන්? කතා කරන්න කැමතිද?” කැඩිච්ච දෙමළින් අපි විමසුවා. ‘නම ලියන්න එපා.’ පුංචි ගුරුවරියක් ලජ්ජාශීලීව කිව්වා. එළුවතිවුවල ඉස්කෝලේ නම එළුවතිවු මුරුගවේල් විද්‍යාලම්. ඇත්තටම අපි පසුව දැක්ක දෙය තමයි, පාසලේ බෝඩ් ලෑල්ල තුළ සිංහල අකුරු වැරදි විත්තිය. අපේ දෙමළ කතා කරන සහෝදර සහෝදරියන් අපට හැමදාම සිහිපත් කරනවා දකුණේ බෝඩ් ලෑලිවල දෙමළ අකුරු කොපමණ වැරදිද කියා.

කිරි කිරි ගාමින් එළුවදීවූ යන සෙන් ඇන්තනීස්!
සියලු දෙවියන් වැඩ සිටිති

‘වැහි දවසක බෝට්ටුව තෙමෙනවා.’ ඔවුන් මතක් කරපු ප්‍රධානම කාරණයක් තමයි ඒක.

සෙන් ඇන්තනීස් බෝට්ටුවේ මගීන් ඉඳගන්නේ ප්‍රධාන තට්ටුවට යටින්. උඩ තට්ටුවේ බඩු පටවා තියෙනවා. ඒ තට්ටුවේ මඩ ආදිය කකුල්වලින් පෑගී එකතු වෙලා. වැහි දවසට ලී අතරින් වැහි වතුර බේරෙන්නේ ඒ සියල්ල එක්කයි.

“වැරදි දවසක ආවේ. අහු වෙන්න තිබුණේ වැස්ස දවසක්.” මේ බෝට්ටුව ගැන පමණක් නෙවෙයි, හැම බෝට්ටුවක් ගැනම වගේ කතාව ඇදෙනකොට දූපත්වල අය අපට කීවේ එහෙම.

එහෙත්, තෙමි තෙමී වුව කන්නගි අම්මාන් ජැටියට යන කෙනෙකුට, ඇඳුමක් මාරු කරගන්නට තැනක් නැහැ. “අපට ඇඳුම් මාරු කරගන්නවත්, ටොයිලට් එකකට යන්නවත් හැකියාව තොටුපළේ නෑ.” ඔන්න, ඔවුන් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපට කීවා.

යම්කිසි ගමක්, ජනාවාසයක් ශිෂ්ටාචාරය එක්ක සම්බන්ධ කරන්නේ ප්‍රවාහනය විසින්. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සියලු දේවල් ප්‍රවාහනය එක්ක ගැටගැහෙනවා. ප්‍රවාහනය නොමැති තැන, ප්‍රවේශයම කඩා වැටෙනවා. මේ දූපත්, සමාජයෙන් කොපමණ ඈත් වෙලාද? අන්න ඒ ඈත් කර තැබීමෙහි මුල තමයි බෝට්ටු.

කිරි කිරි ගාමින් එළුවදීවූ යන සෙන් ඇන්තනීස්!

මේ දූපතේ පාසලට ගුරුවරුන්ට සෑම දිනකම ප්‍රමාද වෙන්න සිද්ධ වෙනවා. බෝට්ටුවෙන් ඇවිත් දූපතේ තොටුපළේ බැස්සාට පසු පාසල දක්වා ගුරුවරුන් පයින්ම යා යුතුයි. අද කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරමින් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමු හදන මොහොතක, මේ පාසලට පරිගණකයක්වත් හරිහැටි නෑ.

උදේ පාන්දර හතට පිටත් වෙන මේ බෝට්ටුව දවසට වාර තුන බැගින් හය වතාවක් දූපත සහ තොටුපොළ අතර ගමන් කරනවා. එළුවදීවුවල සහ අනලදීවු කියන දූපත් දෙකටම ප්‍රවාහනය අතිශය දුර්වලයි. ඒ දූපත් දෙකේම පොලිස් ස්ථාන නැහැ. නාවික හමුදාවේ කුඩා පිරිසක් පමණක් ඉන්නවා. එම දූපත් දෙකේම රෝහල් තිබුණත් වෛද්‍යවරයෙක් ස්ථිරව පදිංචි නැහැ. ප්‍රවාහන ගැටලුව නිසාම. සතියකට වතාවක් දෙකක්, ඇවිල්ලා යන වෛද්‍යවරුන් පමණයි සිටින්නේ.

දූපත්වල අභ්‍යන්තර කටයුතුවලට මෙය බලපානවා. බඩුභාණ්ඩ සාමාන්‍ය මිලට වඩා සීයක, දෙසීයක මිල අධික බවක් තියෙනවා. ඒ නිසා සියලු පාරිභෝගික භාණ්ඩ දූපතේදී මිල අධික වෙනවා. ජීවන වියදම වැඩි වෙනවා. එම නිසාම, දූපත්වාසීන් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නට තල්ලු වෙලා. ඒ දූපත් හරිම ප්‍රාථමිකයි.

ධීවර සමුපකාර සමිතියේ භාණ්ඩාගාරික පද්මරාජා දූපතේදී අපි එක්ක කතා කළ මොහොතේ මේ කතාව කීවා.

“අපිට ලාම්පුතෙල් මෙහෙට එද්දි රුපියල් 300ක් විතර වෙනවා. යාපනේ 260යි. ෂෙඩ් එකක් තියෙන්නේ කයිට්ස්වල. අපිට තුනක එන්න ඕනා. කයිට්ස්වල තියෙන්නේ සතියට දවස් දෙකයි. අනිත් දවස්වල ලාම්පුතෙල් ගන්න යාපනේට යන්ඩ වෙනවා. කන්නගී අම්මන් ජැටිය ගාවවත් ෂෙඩ් එකක් දැම්මා නම් අපට ලේසියි. මේ දූපත්වල ඉන්නේ ධීවරයන් නිසා, ඉන්ධන අපට හරි වැදගත්.”

පෙට්‍රල්, ඩීසල් පවා සාමාන්‍ය මිලට වඩා ගණන් වැඩියි. කයිට්ස්වලට තමයි තෙල් එන්නේ. එතැනින් දූපත්වලට තෙල් ගේනකොට අවිධිමත් ක්‍රම හරහායි ගෙනෙන්නේ. වැඩි මිලට. ධීවර බෝට්ටුවලට තෙල් ලබාදීම සඳහා ඉන්ධන පිරවුම්හල් පහසුකම් ඕනෑ. සතොස ආදී ආයතනවල වැදගත්කම ගැන විමසන්නේ නම්, මෙවැනි දූපතක වැසියන් වෙනුවෙන් ලාභ නොලබාම සේවය සැපයීමේ හැකියාව සිහිපත් කරන්න පුළුවන්. ඔවුන් ඉල්ලන්නේ සතොසක් හරහා තමන්ට පාරිභෝගික භාණ්ඩ සාමාන්‍ය මිලට ලබා දෙන ලෙසයි.

දූපත්වල අතිශය බරපතල පානීය ජල ගැටලු තිබෙනවා. දූපත් අතර විශාලම දූපත වූ නැදුන්දීවු පවා ජල ප්‍රශ්නයට මුහුණ දෙනවා. දූපත් තුළදී ජල ළිං ආදිය තිබුණත්, ජල පිරිපහදුවට හරි ක්‍රමයක් නැහැ.

මරියතුමී සහ ජේසුස් වහන්සේ බෝට්ටුවේ ඉන්නවා. තනිවම නෙවෙයි. බුදුන්, හින්දු දෙවිවරුන් ආදී සියල්ලන් වැඩ ඉන්නවා. හැම බෝට්ටුවේම පාහේ දැකපු ලක්ෂණයක් තමයි ඒ.

අනලදීවු

අප එළුවතිවු සිට අනලතිවු දක්වා ගමන් කිරීමට ධීවරයන් මැදිහත් වී බෝට්ටුවක් ලෑස්ති කර දී තිබුණා. මේ දූපත් දෙක එකිනෙකට ආසන්නයේ පවතිනවා. ධීවර බෝට්ටුවක්. ඒ බෝට්ටුව පෙර කී එකට වඩා විශාලයි. එහි තට්ටුව ෆයිබර්වලින් හැදූවක්. මගී පහසුකම්වලට පෙර බෝට්ටුවේ වාගේ ලෑලිවලින් සැකසූ සීට් නැහැ. බෝට්ටුව පැද්දේ තරුණයෙක්. ඉතින්, විජේගේ චිත්‍රපටියක ‘ඉන්නිසයි පාදිවරුම්’ ආදී සිංදු ටිකක් සද්දෙට වාදනය කරමින් බෝට්ටුව අනලදීවු දක්වා ඇදුණා. ධීවර බෝට්ටු මුහුදු යද්දී, ලොකුම අභියෝගය වී තිබෙන්නේ ඉන්දීයන් ට්‍රෝලර් යාත්‍රාවලින් ධීවර සම්පත් කොල්ලකෑමේ ප්‍රශ්නය. ඉදිරි සතියක ඒ ගැන විස්තරාත්මකව කියන්නට ඕනෑ නිසා, මෙතැනදී ඒ ගැන වැඩි කතා නෑ.

නයිනතිවු බෝට්ටුව

කන්නගී අම්මාන් තොටුපළේ ඉඳන් අනලදීවු සහ එළුවදීවු ගියාට නයිනදීවු යන්නේ පුලිකට්ටුවාන් ජැටියෙන්. නයිනදීවු නම් බොහෝ අයට හුරුපුරුදු ඇති, ඒ දකුණේ ජනතාව ඒ දූපත නාගදීපය කියා හඳුන්වන නිසා.

නයිනදීවු කියන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි, වෙනත් පැතිවලිනුත් එන සංචාරකයන් යන එන දූපතක්. නාගදීපය හැරුණාම විශාල නාගපූෂානි අම්මන් කෝවිල තියෙන්නේත් ඒ දූපතේයි. නාගපූෂානි අම්මන් කියන්නේ පාර්වතී දේවියගේ අවතාරයක්. මණිමේකල සහ කුණ්ඩලකේසි ආදී දෙමළ පැරණි සාහිත්‍යය තුළ පවා සඳහන් වෙන මේ කෝවිල සාමාන්‍යයෙන් ඇතැම් කෝවිල්වල දකිනවට වඩා සම්පූර්ණයෙන් වෙනස් වතාවත් සහ රටාවන් තිබෙන තැනක්. දැවැන්ත ගව රූප සමග එළිමහනේ සැරිසරන ගවයන් මෙන්ම එළුවන් එහි දකින්න පුළුවන්.

ඉතින්, ඒ දූපතට යන්නට අපි පුලිකට්ටුවාන් ජැටියට යා යුතුයි. නයිනතිවු සහ නැදුන්තිවු දූපත් දෙකටම යන ජැටිය තමයි ඒ.

අප කලින් දා ගිය කන්නගි අම්මාන් ජැටියට වඩා පුලිකට්ටුවාන් සශ්‍රීකයි. ප්‍රමාණයෙනුත් ලොකුයි. ශිෂ්ටාචාරයෙන් අත්හැර දැමූ බවක් කන්නගි අම්මාන් ජැටියේ පෙනෙන්නට තියෙනවා. ඊට වඩා ශිෂ්ටාචාරයේ යම් අවධානයක් පුලිකට්ටුවාන් ජැටියට තියෙනවා.

නයිනදීවු බෝට්ටුව වඩාත් විධිමත්. එහි ෆයිබර්වලින් සැකසූ බඳක් සහිතයි. ඉඳගැනීමට බෝට්ටු තට්ටුවට පහළ මට්ටමේ සහ බෝට්ටු තට්ටුව මත ඉඩ තිබෙනවා බංකු වාගේ අසුන්. එහෙත්, වැස්සට තෙමෙන්නේ නැති ආකාරයේ ෆයිබර් වහලවල් එහි තියෙනවා. මෙවැනි බෝට්ටුවක් අපටත් තිබුණා නම් කියා, අප මුලින්ම කී බෝට්ටුවේ ගමන් කරන කෙනෙක් දුටුවොත් හැඟේවි.

නයිනදීවු සංචාරකයන් යන එන තැනක්. එම නිසා එළුවදීවු හෝ අනලදීවු වාගේ ශිෂ්ටාචාරයෙන් දුරස් වූ ගති ලක්ෂණ එහි නැහැ. ඒ නිසයි, බෝට්ටුවට නගින විට ජැකට් එක පළඳින්නත් ඕනෑ. ශිෂ්ටාචාරයේ අංග ලක්ෂණ, නීතිරීති තියෙන්නේ ඔය විදියට.

පර්ල් ලින්ක් 1144 නැදුන්දීවු

කිරි කිරි ගාමින් එළුවදීවූ යන සෙන් ඇන්තනීස්!

අප අවසන් ගමන ගියේ, නැදුන්දීවු දූපතට. පිටත් වුණේ, පුලිකට්ටුවාන් ජැටියෙන්. නැදුන්දීවු හෙවත් ඩෙල්ෆ්ට් කරා යන මගී බෝට්ටුව අපට මගහැරුණා. නැවත වතාවක් බෝට්ටුවක් වෙනම කුලියට ගන්නට සිද්ධ වුණා. ඩෙල්ෆ්ට් ගැන කතාව හරිම දිග එකක්. අපට ඉදිරි සතිවල ඒ කතාව කියන්නට ඉඩ ලැබේවි. ඩග්ලස් දේවානන්දා වැනි දේශපාලන නායකයකුගේ ආධිපත්‍යයට නතු වූ මේ දූපතේ අනෙක් බල පරාක්‍රමය හිමිව ඇත්තේ නාවික හමුදාවට. දූපත් අතර පොලීසියක් තිබෙන දූපතක් ලෙස මෙය සැලකිය හැකියි.

නැදුන්දීවු සිට නැවත එන විට තමයි, එහි ප්‍රවාහන බෝට්ටුවේ හරිහැටි ඉඳගන්නට අපට ඉඩ ලැබුණේ. බෝට්ටුවේ නම කුමුදුනී. නැදුන්තිවු කියන්නේ ඩග්ලස් දේවානන්දාගේ බලකොටුව. ඉතින්, අනෙක් දූපත්වලට වඩා වැඩි පහසුකම් ටිකක් නැදුන්තිවුවලට ලැබෙන්නේ ඒ නිසයි. ඒත්, ඔය ‘පහසුකම්’ කියා කියන්නේ එළුවතිවු දූපත වගේ එකකට සාපේක්ෂව මිස, අපේ රටේ සාමාන්‍ය තත්ත්වයන්ට සාපේක්ෂව නෙවෙයි. නැදුන්දීවු කියන්නේත් පහසුකම් නැති තැනක්.

පසුදින නැවත පැමිණීමේ ගමනේදී, උදෑසනම අපි නැදුන්තිවු තොටුපොළ වෙත එද්දී, එතැන තත්ත්වය හරිම වෙනස්. නැදුන්තිවුවල පොලිසිය සහ නාවික හමුදාව සම්පූර්ණයෙන් සිවිල් ජන පැවැත්ම පාලනය කරනවා. තොටුපොළට පිවිසෙන්නට නොදී, පෝලිමට සිටගෙන ඉන්නට සිද්ධ වෙනවා. දූපත්වාසීන්ට එක් පෝලිමක්, රජයේ නිලධාරීන්ට තවත් පෝලිමක් සහ නැදුන්තිව් නැරඹීමට පිටින් පැමිණි අයට තවත් පෝලිමක්. එම පෝලිම්වල සිට එකිනෙකාව බෝට්ටුව වෙත යවන්නේ එතැන සිටි පොලිස් නිලධාරියාගේ විධානය අනුව.

ඒ බෝට්ටුව මදක් විශාලයි. ඉඳගැනීමට තිබෙන්නේ තට්ටුවට පහළ. රියදුරු ඉන්නේ ඉහළ. රියදුරු, විශාල සද්දෙට මුහුදේ හඬ සහ එන්ජිමේ හඬ පසාරු කරන අන්දමෙන් සිංදු වාදනය කර ඇත්තේ ලවුඩ්ස්පීකරයකින් වාගෙයි.

ගිලන් රථ බෝට්ටු

බෝට්ටු කතාන්දරය තුළ ගිලන් රථ බෝට්ටු ගැන නොකියාම බැහැ.

අනලදීවු සහ එළුවදීවු දූපත්වල වැසියන් ඉල්ලන ප්‍රධාන දෙයක් වන්නේ ‘ඇම්බියුලන්ස් බෝට්ටුවක්’. දූපතේදී හදිසි ආපදාවක්, හෘදයාබාධයක් හෝ අන් කිසිවක් සිදු වූ මොහොතක රෝහල කරා ගෙනියන්නට බෝට්ටුවක්. නැදුන්දීවුවල එවැනි බෝට්ටුවක් තිබෙනවා. පහසුකම් සහිත ගිලන් රථ බෝට්ටුවක්. එය නාවික හමුදාව විසින් පාලනය කරනවා. අප සිටින මොහොතක,පොළඟෙක් දෂ්ට කිරීම නිසා මේ ගිලන් රථයේ රැගෙන යන්නට රෝගියකු ගෙන එන හැටි අප දුටුවා. එහෙත්, පෙර කී දූපත් දෙකේ යමක් සිදු වුණොත් වැඩි ඉඩක් තියෙන්නේ මරණය අත්දකින්නටයි.

ග්‍රාමීය සංවර්ධන සමිතියේ සභාපති ස්ටැනිස්ලස් එළුවදීවුවල ඔය තත්ත්වය ගැන මෙහෙම කීවා. “ධීවරයන් වෙනුවෙන් රජයෙන් කිසිම දෙයක් කරලා නෑ. ප්‍රමාණවත් ජනගහනයක් මෙහේ නෑ. ප්‍රමාණවත් පහසුකම් නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. හදිසියක් වුණොත් අරං යන්න ඇම්බියුලන්ස් බෝට්ටුවක්වත් නෑ. පේදුරුතුඩුවෙන් 5ට පිටත් වුණොත් තමයි ඩොක්ටර්ට මෙහෙට 9ට විතර එන්න පුළුවන් වෙන්නේ. කට්ටිය සල්ලි එකතු කරලා ඉඩමක් අරං දීලා රජයට හොස්පිටල් එකක් හදන්න. 2011 පස්වැනි මාසයේ රෝහල ඕපන් කළා. ඒත්, ඒකට වෛද්‍යවරයෙක් නෑ. දෙසැම්බර් මාසයේ ඉඳන් මේ දක්වා තුන්දෙනෙක් මැරිලා තියෙනවා. නාවික හමුදාවට හදිසියකට රෝගියෙක් ගෙනියන්නට නම්, කන්කසන්තුරේට කතා කරලා අවසර අරන් තමයි කරන්න ඕනෑ.”

අපට මේ දූපත් ගමනෙන් කියන්නට තව කතාන්දර ගොඩක් තියෙනවා. අපට ඕනෑ වුණේ බෝට්ටුවලින්ම කතාව පටන් ගන්නයි. ඒ ඒ බෝට්ටු දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට ඒ ඒ දූපත්වල කතාවෙන් කොටසක් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

විශේෂයෙන් බෝට්ටු හරහා අපට මතු කරන්නට ඕනෑ වුණේ එළුවදීවු සහ අනලදීවු දූපත්වල කතාව. රජයට ඕනෑ දූපත්වලින් මිනිස්සු පන්නා දමන්නට බව ඔවුන් විශ්වාස කරනවා.

එළුවදීවු ධීවර සමිතියේ සභාපති ජස්ටින් ප්‍රනාන්දුගෙන් අපි ඇහුවේ, මෙතරම් දුෂ්කරතා මැද වුණත් දූපත්වල ඉන්නේ ඇයිද කියායි. “අපි රජයේ රැකියා කරන්නෑ. මෙතන ඉඳන් රැකියාව කරමින් ජීවත් වෙන්නයි අපට ඕනෑ. අපි හැමෝම මූදු යන්න පුරුදු වූ අය. මේ දූපත්වල ඉඳන් යාපනයේ රස්සාවකට යන්න පවා අමාරුයි. මේ දූපතට එන රජයේ සේවකයෙක්ට කාර්යාල වෙලාව පසු වී එන්නට අවසර තිබුණාට, මේ දූපත්වලින් රස්සාවට යන අයට එහෙම අවසරයක් නෑ. ඒ නිසා උපාධි ලැබුවත් දූපතේම ඉඳන් මුහුදු යන අය ඉන්නවා. මේ අපේ පරම්පරාවෙන් ලැබුණ තැන. මේ ජීවිතය පරම්පරාවෙන් අපට ලැබුණ ජීවිතය. ඒක අත්හැරලා යන්න අපට බැහැ. අපි යුද්ධය කාලයේ තල් අල කමින් මේකේ හිටියා. ඒ කාලේ බෝට්ටුවෙන් මුහුදු යන්නටවත් බෑ. රෑට හොරෙන් මුහුදට ඇවිදගෙන ගිහින් මාළු අල්ලගෙන ආපු කාලයක් ඒක. අපි ඉල්ලන්නේ, අපට මූලිකම පහසුකම් ටික දෙන්න. ඉතිරි ටික අපි බලාගන්නම්. මෙහේ හොඳට මාළු ඉන්නවා. මාළු අල්ලාගෙන අපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා.”

මේ දූපතට ඇදෙන සෙන් ඇන්තනීස් බෝට්ටුව වාගේම, මිනිස්සුන්ගේ ජීවිතත් අසීරුවෙන් අල්ලාගෙන බැරි මරගාතේ ඉදිරියට ඇදෙන තැනට පත් කරලායි තියෙන්නේ. ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ආදී මූලිකම අයිතීන්ට ඇතුළු වෙන්නට මේ මිනිස්සුන්ට ඉඩ ලැබෙනතුරු ඔවුන්ගේ ජීවිත එලෙසම ඇදී යාවි.

ඔය විදියට අපි දූපත්වල කතාන්දරවලට ආරම්භයක් ගත්තාට, තවත් කතාන්දර කිහිපයක්ම කියන්නට තිබෙනවා. ඉදිරි සතිවල ඒ කතාන්දර දිගහැරගනිමු.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment